WFTW Body: 

අප සැබවින්ම ශක්තිමත් වන්නේ අප දුර්වල වූ විටය (2 කොරින්ති 12:10).

ආබ්‍රහම් ඔහුගේ ස්වාභාවික ශක්තියේ බලයෙන් ඉෂ්මායෙල්ව බිහි කළේය, නමුත් දෙවියන් වහන්සේ ඉෂ්මායෙල්ව පිළිගන්නේ නැත, ඔහුව පිටත් කර හරින ලෙස ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටිසේක (උත්පත්ති 17:18-21; 21:10-14). ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනයේදී, දෙවියන් වහන්සේ මත රඳා නොසිට අපගේ මානව හැකියාවන් තුළින් නිපදවන ලද අපගේ යහපත් ප්‍රයත්නයන් ඉදිරිපත් කරන විට, ඒවා පිළිගත නොහැකි බව උන්වහන්සේ අපට ද කියනු ඇත. එවිට එම ලී, තෘණ සහ පිදුරු සියල්ල අළු බවට පත් වනු ඇත.

"දෙවියන් වහන්සේ තුළින්" කළ දේ පමණක් ඉතිරි වනු ඇත.

"යේසුස් වහන්සේ ප්‍රාණික බලය යොදාගෙන අන්‍යයන් තමන් වහන්සේගේ සිතීමේ ක්‍රමයට හසුරුවා ගත්තේ නැත. උන්වහන්සේ කිසිවිටෙක තමන් වහන්සේව පිළිගන්නා ලෙස අන් අයට බල කළේ නැත. ඔවුන් කැමති නම්, උන්වහන්සේව ප්‍රතික්‍ෂේප කිරීමට සැමවිටම අන් අයට නිදහස ලබා දුන් සේක"

ආබ්‍රහම් බෙලහීනත්වයේ ස්ථානයට පැමිණි විට - දරුවන් බිහි කිරීමේ ස්වභාවික හැකියාව නතර වූ විට - ඊසාක් උපත ලැබුවේ දිව්‍යමය බලයෙන් වන අතර මෙම පුත්‍රයාව දෙවියන් වහන්සේට පිළිගත හැකි විය.

දෙවියන් වහන්සේ සැලකූ පරිදි එක් ඊසාක් කෙනෙකු ඉෂ්මායෙල්වරුන් දහසකට වඩා වටින්නේය. රත්තරන් ග්‍රෑම් එකක් ලී කිලෝග්‍රෑම් එකකට වඩා වටින්නේය - ගින්නෙන් ඒ දෙවර්ගයම පරීක්‍ෂා කිරීමෙන් පසුව. එමෙන්ම අපගේ ශක්තියෙන් කරන බොහෝ දේට වඩා ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් කරන ලද ස්වල්පයක් වටින්නේය.

අපගේ යහපත් ක්‍රියා සහ ස්වාමින් වහන්සේට සේවය කිරීමට අප දරන ප්‍රයත්නයන් අපගේ නැවත උත්පාදනයට පෙර සහ පසු සෑම විටම කිලිටි වැරහැලිම වේ. නමුත් ඇදහිල්ලෙන් නිපදවන එම ධර්මිෂ්ඨකම සහ ශුද්ධාත්මයාණන් මත යැපෙන එම සේවය - බැටළු පැටවාණන්ගේ විවාහ දිනයේ අපගේ මංගල ඇඳුම සාදනු ඇත (එළිදරව් 19:8). මොනතරම් වෙනසක්ද - එක්කෝ කිලිටි වැරහැලි නැතහොත් ලස්සන මංගල ඇඳුමක්! ඒ සියල්ල රඳා පවතින්නේ අපගේ ජීවිතය ගතකරන්නේ අපගේම ප්‍රාණික-බලයෙන්ද නැතහොත් දෙවියන් වහන්සේගේ බලයෙන්ද යන්න මතය.

යේසුස්වහන්සේ තම දේවසේවය සඳහාද ආත්මයාණන්වහන්සේගේ බලය මත රඳා සිටිසේක. උන්වහන්සේ මුලින්ම ශුද්ධාත්මයාණන්ගෙන් අභිෂේක නොලබා දේශනා සේවයට යාමට එඩිතර වූයේ නැත. "මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාණෝ මොහු කෙරෙහි මම ප්‍රසන්නව සිටිමි" (මතෙව් 3:17) යනුවෙන් පියාණන් වහන්සේට සාක්‍ෂි දැරීමට හැකි වන පරිදි, උන්වහන්සේ ඒ වන විටත් ආත්මයේ බලය කරණකොටගෙන සම්පූර්ණ ශුද්ධකමෙන් වසර තිහක් ජීවත්ව සිටි සේක. එහෙත් සේවය සඳහා උන්වහන්සේව ආත්මයෙන් ආලේප කිරීම අවශ්‍ය විය. ඒ නිසා උන්වහන්සේ ආලේපය ලබන පිණිස යාච්ඤා කළ සේක (ලූක් 3:21). තවද උන්වහන්සේ මෙතෙක් ජීවත් වූ ඕනෑම මිනිසෙකුට වඩා ධර්මිෂ්ඨකමට ප්‍රේම කළ නිසාත් පාපයට ද්වේෂ කළ නිසාත් උන්වහන්සේව වෙනත් ඕනෑම මිනිසෙකුට වඩා බහුල ලෙස ආලේප කරන ලදී (හෙබ්‍රෙව් 1:9). එහි ප්‍රතිඵලයක් වශයෙන්, මිනිසුන් සාතන්ගේ වහල්භාවයෙන්, උන්වහන්සේගේ දේවසේවය තුළින් මුදා ගන්නා ලදී. ආලේප කිරීමේ ප්‍රධාන අරමුණ සහ මූලික ප්‍රකාශ වීම මෙය විය (ලූක් 4:18 සහ ක්‍රියා 10:38 බලන්න).

දෙවියන්වහන්සේගේ සේවය මනුෂ්‍ය කුසලතා සහ හැකියාවන් තුළින් සිදු නොවේ. ස්වභාවයෙන්ම ඉහළ දක්‍ෂතා ඇති මනුෂ්‍යයින්, නැවත උත්පාදනය ලැබූ විට, බොහෝ විට සිතන්නේ ඔවුන්ට දැන් ඔවුන්ගේ බුද්ධිමය සහ චිත්තවේගීය බලයන් දෙවියන් වහන්සේ වෙනුවෙන් අන් අයට බලපෑම් කිරීම සඳහා යොදා ගත හැකි බවයි.

බොහෝ කිතුනුවන් ශුද්ධාත්මයාණන්ගේ බලය ලෙස ඔවුන්ගේ කථිකත්වය, තර්කනය සහ උච්චාරණයේ පැහැදිලි බව පවා වරදවා වටහා ගනිති. නමුත් මේවා ප්‍රාණීක බලයන් පමණක් වන අතර, ඒවා මත යැපීමක් ඇත්නම්, දෙවියන් වහන්සේගේ සේවයට බාධාවක් වනු ඇත. මිනිස් ප්‍රාණික බලයෙන් කරන සේවය කිසිදා සදාකාලික විය නොහැක. එය කාලයාගේ ඇවෑමෙන් නොවේ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චයාසනයේදී විනාශ වනු ඇත.

මිනිසුන්ව දෙවියන් වහන්සේ වෙතට යොමු කිරීමට යේසුස් වහන්සේ යැපුණේ කථිකත්වයේ හෝ හැඟීම්වල බලය මත නොවේ. එවැනි ප්‍රානික බලයක් හරහා කරන ඕනෑම සේවයක් උන්වහන්සේගේ ප්‍රේක්‍ෂකයන්ගේ ප්‍රාණයට පමණක් ළඟා වන බවත්, ඔවුන්ට කිසි විටෙකත් ආත්මිකව උදව් නොකරන බවත් උන්වහන්සේ දැන සිටි සේක. එම හේතුව නිසාම උන්වහන්සේ මිනිසුන්ව දෙවියන් වහන්සේ වෙතට ඇද ගැනීමට කිසිම ආකාරයක සංගීතමයම රඟදැක්වීමක් යොදාගත්තේ නැත.

උන්වහන්සේ තමන් ඉදිරියේ අසා සිටින පිරිසගේ හැඟීම් මත ක්‍රියා කර ඔවුන් දෙවියන් වහන්සේට යටත් කර ගැනීම සඳහා ඔවුන්ව උද්දීපනයෙන් පෙළඹවීමට කටයුතු නොකළ සේක. ඇත්ත වශයෙන්ම, අද දින එවැන්ජලිස්තවරුන් සහ දේශකයන් අතර බහුලව දක්නට ලැබෙන මෙම සහ වෙනත් ප්‍රාණීය ක්‍රම කිසිවක් උන්වහන්සේ භාවිතා නොකළ සේක. උන්වහන්සේ මිනිසුන්ට බලපෑම් කිරීමට හැඟීම් ඇවිස්සීම සහ ප්‍රාණික උද්දීපනය භාවිතා නොකළ සේක. මේවා දේශපාලනඥයින්ගේ සහ විකුණුම්කරුන්ගේ ක්‍රම වන අතර උන්වහන්සේ ඒ දෙගොල්ලන්ගෙන් එක්කෙනෙක්වත් නොවූ සේක.

යෙහෝවඃවහන්සේගේ සේවකයා වශයෙන්, යේසුස්වහන්සේ උන්වහන්සේගේ සියලු සේවාවලදී සම්පූර්ණයෙන්ම රඳා සිටියේ ශුද්ධාත්මයාණන් මතය. එහි ප්‍රතිඵලය වූයේ උන් වහන්සේ අනුගමනය කළ අය දෙවියන් වහන්සේ තුළම ගැඹුරු ජීවිතයකට පැමිණීමයි.

යේසුස් වහන්සේ ප්‍රාණික බලය යොදාගෙන අන්‍යයන් තමන් වහන්සේගේ සිතීමේ ක්‍රමයට හසුරුවා ගත්තේ නැත. උන්වහන්සේ කිසිවිටෙක තමන් වහන්සේව පිළිගන්නා ලෙස අන් අයට බල කළේ නැත. ඔවුන් කැමති නම්, උන්වහන්සේව ප්‍රතික්‍ෂේප කිරීමට සැමවිටම අන් අයට නිදහස ලබා දුන් සේක. ප්‍රාණික ක්‍රිස්තියානි නායකයන් ඔවුන්ගේ ශක්තිමත් පෞරුෂය මගින් ඔවුන්ගේ රැළ සහ ඔවුන්ගේ සම-සේවකයින් මත ආධිපත්‍යය දරති. මිනිසුන් එවැනි නායකයින්ට යටත් වන අතර ඔවුන්ට ආදරය කරන අතර ඔවුන්ගේ සෑම වචනයකටම කීකරු වෙති.

එවැනි නායකයෙකු වටා බහුජන සමූහයක් රොක් විය හැකි අතර, ඔවුන් සියල්ලන්ම එක්සත් වුවද, එය නායකයා කෙරෙහි ඇති භක්තියේ එකමුතුවක් පමණි. එවැනි නායකයින් ප්‍රාණය සහ ආත්මය අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි නිසා ඔවුන් සතුව ඇත්තේ ශුද්ධාත්මයාණන්ගේ බලය යැයි සිතීමට පවා මුළා විය හැකිය. ඔවුන්ගේ අනුගාමිකයෝ ද එලෙසම රැවටෙති. නමුත් විනිශ්චයාසනයේ පැහැදිලි ආලෝකයෙන් හෙළි වනුයේ ඒ සියල්ල මිනිස් ප්‍රාණික බලය බවත් එය දෙවියන් වහන්සේගේ කාර්‍යයට බාධාවක් වූ බවත්‍ ය.

යේසුස් වහන්සේ එවැනි නායකයෙක් නොවීය. කිසි කිතුනුවකුද එසේ නොවිය යුතුය. අපගේ ප්‍රාණික බලය භාවිතා කිරීමට අප බිය විය යුතුය, මන්ද එය මිනිසා සඳහා දෙවියන් වහන්සේගේ නීති උල්ලංඝනය කිරීමක් වන අතර උන්වහන්සේගේ සේවයට බාධාවක් වෙනවා පමණි.

සැබෑ ආත්මික සේවාවක් මිනිස් ප්‍රාණික බලයෙන් කිසිදාක කළ නොහැකි වන අතර එය කළ හැකි වන්නේ ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් පමණි. යේසුස් වහන්සේ මෙය දැන සිටි සේක; ඒ නිසා උන්වහන්සේ නිතරම තම ප්‍රාණික බලය මරණයට පත් කළ සේක. මෙසේ ඉතා කෙටි කාලයකදී තමන්ව අනුගමනය කරන්නන් තුළ ගැඹුරු සහ ස්ථිර සේවාවක් කිරීමට උන්වහන්සේට හැකි විය.

©Zac Poonen – [email protected]