යාකොබ් 4:2 හි අවසාන කොටසේ අප කියවන්නේ, “නුඹලා ඉල්ලන්නේ නැති නිසා නුඹලාට ලැබෙන්නේ නැත” කියාය. දෙවියන්වහන්සේට කිතුනුවන්ට දීමට අවශ්‍ය බොහෝ දේ ඇත, නමුත් ඔවුන් ඉල්ලන්නේ නැති නිසා ඒවා ඔවුන්ට ලැබී නැත. මෙය විශේෂයෙන්ම ආත්මික ආශීර්වාද සම්බන්ධයෙන් සැබෑවකි. ලූක් 11:13 හි ඇති මෙම පදය බලන්න, “එසේ නම් ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට කොපමණ වැඩියෙන් ශුද්ධ ආත්මය දෙනවා නොවේද?” අපව ශුද්ධ කරන ශුද්ධ ආත්මයාණන්වහන්සේව අප අපේක්ෂා කරන්නේ නැත්නම්, යේසුස්වහන්සේගේ ප්‍රමිතියට අනුව ජීවත් වීමට අපට කිසිදා හැකියාවක් ලැබෙන්නේ නැත. මතෙව් 7:7 හි යේසුස්වහන්සේ, “ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ” යයි පැවසුවේ එබැවිනි.
දෙවියන්වහන්සේ අප උන්වහන්සේගෙන් ඉල්ලන තුරු බලා සිටින්නේ මන්ද? මන්ද උන්වහන්සේ අපට දෙන දේ අප අගය කරනවාට උන්වහන්සේ කැමති බැවිනි. අප නොඉල්ලාම උන්වහන්සේ අපට දෙන දේ, අපි සාමාන්‍යයෙන් අගය නොකරමු. පව් කමාව, ඒ සියල්ලටම වඩා වැදගත්ම දෙයයි. ඔබ එය ලබාගත්තේ ඒ ගැන ඉල්ලීමෙන් නොවේද? ඔබ ඉල්ලුවේ නැත්නම් ඔබට එය ලැබෙනවාද? ඔබ ගැළවීම නොඉල්ලුවේ නම් ඔබට එය ලැබෙනවාද? පොළොවෙහි මිලියන සංඛ්‍යාත ජනයා නොගැළවී සිටින්නේ ඔවුන් ඒ සඳහා නොඉල්ලන බැවිනි. තමන්ට එය අවශ්‍ය බව පිළිගැනීමට ඔවුහු යටහත් නොවෙති.
දෙවියන්වහන්සේගේ උතුම්ම ආත්මික ආශීර්වාද ලැබීම සඳහා ඇති අනෙකුත් සුදුසුකම් මොනවාද? පළමුවෙන්ම, අප තුළ ඒවා කෙරෙහි ආශාවක්, පිපාසයක් තිබිය යුතුය. පසුව, අප ඇදහිල්ලෙන් ඉල්ලිය යුතුය. ඉල්ලීමෙන් ප්‍රකාශ වන්නේ එම ආශාවයි, තවද යේසුස්වහන්සේ ඇදහිල්ල ගැන තවත් පද කිහිපයකට පහළින්, මතෙව් 7:11 හි සඳහන් කරන සේක. උන්වහන්සේ පවසන්නේ, “එබැවින් නපුරු වූ නුඹලා නුඹලාගේ දරුවන්ට yහපත් තෑගි දෙන්න දන්නවා නම්, ස්වර්ගයෙහි වැඩසිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට කොපමණ වැඩියෙන් යහපත් දේ දෙනවා නොවේද?” කියාය.
ඔබ ඉල්ලන්නේ නැත්නම්, ඔබට ලැබෙන්නේ නැත. ඔබ සොයන්නේ නම්, ඔබට සම්බ වේ. ඔබට සත්‍යය දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබ එය සෙවිය යුතුය. දෙවියන්වහන්සේගේ වචනයෙහි නිදන් තිබේ. මතුපිටින් සැමට ලබාගත හැකි සමහර දේවල් ඇත, නමුත් එහි ගැඹුරුම නිදන් පවතින්නේ ඇතුළතය, ඔබ ඒවා සෙවිය යුතුය. පොළොව ගැන සිතන්න. අඹ, පොල් සහ වෙනත් බොහෝ හොඳ පලතුරු වැනි වටිනා දේවල් මතුපිට බොහෝ ඇත, නමුත් ඔබට රන් සහ දියමන්ති වැනි සැබවින්ම වටිනා නිදන් අවශ්‍ය නම්, ඔබට පොළොව යටට අඩි දහස් ගණනක් හෑරීමට සිදුවේ. එලෙසම, බයිබලයේ මතුපිටින් ඔබට ලැබෙන ඇතැම් දේවල් තිබේ, එනම් අපගේ පව් කමා කරනු ලබන්නේ කෙසේද (ක්‍රිස්තුස්වහන්සේ ඒ උදෙසා මියගිය නිසා) වැනි දේය. නමුත් ඔබට ශුද්ධ ලියවිල්ලේ ගැඹුරුම සත්‍යයන් සොයා ගැනීමට අවශ්‍ය නම්—එනම් ආත්මයෙන් පිරුණු ජීවිතයක් ගත කරන්නේ කෙසේද, දෙවියන්වහන්සේගේ ස්වභාවයට හවුල් වන්නේ කෙසේද, සියලු පාපයන් ජය ගන්නේ කෙසේද, කෝපය, තිත්තකම, කමා නොකිරීම, ඊර්ෂ්‍යාව, කාමුක තෘෂ්ණාව ජය ගන්නේ කෙසේද යන්න—එවිට ඔබ ගැඹුරට හෑරිය යුතුය. යම් පුද්ගලයෙකු ගැඹුරට හාරන්නේ නැත්නම්, ඔහු සැබවින්ම උනන්දු නොවන බව දෙවියන්වහන්සේ දකින සේක. “ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ. නුඹලාගේ මුළු හදවතින්ම සොයන්න, එවිට නුඹලාට සම්බ වේ.”
එය යෙරෙමියා 29:13 හි අපට හමුවන පොරොන්දුවකි: “නුඹලා නුඹලාගේ මුළු සිතින් මා සොයන කල නුඹලාට මා සම්බවෙනවා ඇත.” යම් පුද්ගලයෙකුට දෙවියන්වහන්සේව සහ උන්වහන්සේ තුළ ඇති පොහොසත්කම හමු වී නැත්නම්, මට කිසිදු පැකිලීමකින් තොරව කිව හැක්කේ, මෙම මිනිසා තම මුළු හදවතින්ම දෙවියන්වහන්සේව සොයා නැති බවයි. ඔහු සොයා ඇත්තේ අර්ධ hදවතකිනි, ශුද්ධ ලියවිල්ලෙහි අර්ධ හදවතක් ඇත්තන් සඳහා කිසිදු පොරොන්දුවක් නැත. මුළු හදවතින්ම නොව තුන්කාලක හදවතකින් සොයන්නන් සඳහාද පොරොන්දු නැත, නමුත් මුළු හදවතින්ම සොයන්නන් උදෙසා අතිමහත් පොරොන්දු ඇත. ඔබට ඉතා ආසන්නව සිටිය හැක; ඔබෙන් 90%ක් දෙවියන්වහන්සේට දී, උන්වහන්සේට 10%ක් දුන් පුද්ගලයාට වඩා වැඩි යමක් නොලබා සිටිය හැක. නමුත්, ඔබ දෙවියන්වහන්සේට 100%ක් දෙන විට, ඔබට සියල්ල ලැබෙන්නේය. ඔබ 90%ක් දුන්නද, ඔබ සිටින්නේ 10%ක් දුන් පුද්ගලයාගේ එම ගණයෙහිමය. කිතුනුවන් වටහා නොගන්නේ එයයි. ඔබේ හදවතින් 10%කින් දෙවියන්වහන්සේව සොයන්න, එවිට ඔබට උන්වහන්සේ සම්බ නොවන්නේය. ඔබේ hදවතින් 90%කින් උන්වහන්සේව සොයන්න, එවිට ඔබට උන්වහන්සේ සම්බ නොවන්නේය. ඔබේ මුළු හදවතින්ම දෙවියන්වහන්සේව සොයන්න, එවිට ඔබට උන්වහන්සේ සම්බ වන්නේය.
සොයන්න, එවිට නුඹලාට සම්බවේ. තට්ටුකරන්න, එවිට නුඹලාට හරිනු ලැබේ. මේවා පොරොන්දුය. දෙවියන්වහන්සේ කිසිවිටෙකත් තමන්ගේ පොරොන්දු කඩ නොකරන සේක. “මක්නිසාද ඉල්ලන සෑම අයෙකුම ලබාගන්නේය.” ඔබට නොලැබී ඇත්තේ මන්ද? පැහැදිලිවම ඔබ ඉල්ලන්නේ දෙවියන්වහන්සේ ඔබ ඉල්ලිය යුතුයැයි බලාපොරොත්තුවන ආකාරයට නොවිය හැක. “සොයන්නාට සම්බවේ.” සමහරවිට ඔබ සොයා ඇත්තේ දෙවියන්වහන්සේ ට අවශ්‍ය ආකාරයට නොවිය හැක. “තට්ටුකරන්නාට හරිනු ලැබේ.” සමහරවිට ඔබ ප්‍රමාණවත් ලෙස තට්ටු කර නැතුවා විය හැක.
කිතුනුවන්ට දෙවියන්වහන්සේගෙන් නොඉල්ලූ නිසාම මගහැරී ඇති දේවල් මිලියන ගණනක් ඇත. යාකොබ් 4:2 හි අවසානයේ ඇති මෙම කුඩා වාක්‍යය මතක තබාගන්න: “නුඹලා ඉල්ලන්නේ නැති නිසා නුඹලාට ලැබෙන්නේ නැත.”