WFTW Body: 

පැරණි ගිවිසුම යටතේ ඊශ්‍රායෙල්වරුන්ට අනුගමනය කළ හැකිවූයේ මෝසෙස් සහ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ට දුන් ලිඛිත වචනය පමණි. මෝසෙස් හෝ එලියා හෝ යොහාන් බව්තීස්ත වැනි ශ්‍රේෂ්ඨතම අනාගතවක්තෘවරුන්ට පවා "මාව අනුගමනය කරන්න" යැයි කිසිවෙකුට පැවසිය නොහැකි විය. දේව වචනය පමණක් ඔවුන්ගේ මාවතට ආලෝකය විය (ගීතාවලිය 119:105).

සැබෑ නව-ගිවිසුම් සේවකයෙකු ලිඛිත වචනයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රමිතිය ප්‍රකාශ කරනවා පමණක් නොව,පාවුල් තුමා පැවසූ පරිදි, "මා ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නාක් මෙන් මා අනුගමනය කරන්න" යනුවෙන්ද පවසනු ඇත.

නමුත් යේසුස් වහන්සේ පැමිණ අලුත් ගිවිසුමක් ආරම්භ කළසේක. තවද උන්වහන්සේ අපට දෙවියන් වහන්සේගේ වචනය පමණක් නොව, උන්වහන්සේගේම ජීවිතයෙන් අනුගමනය කිරීමට ආදර්ශයක් ලබා දුන්‍සේක. "මාව අනුගමනය කරන්න" යනුවෙන් බයිබලයෙහි පැවසූ පළමු පුද්ගලයා උන්වහන්සේය(මතෙව් 4:19; යොහාන් 21:19; ලූක් 9:23). එබැවින් නව ගිවිසුම තුළ, ලිඛිත වචනය සහ මාංශවත් වූ වාක්‍යානෝ එනම් යේසුස් වහන්සේ - නැතහොත් වෙනත් වචන වලින් පවසන්නෙ නම්, මිනිස් ජීවිතයක් තුළ දෘශ්‍යමාන කරන ලද ලිඛිත වචනය - යන දෙකම අපට මඟ පෙන්වීම සඳහා ඇත.

හුදෙක් දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කළ නමුත් උන් වහන්සේ වෙත නොපැමිණීම ගැන යේසුස් වහන්සේ පරිසිවරුන්ට තරවටු කළසේක. "ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්‍ෂිදෙයි; නුමුත් නුඹලා ජීවනය ලබන පිණිස මා ළඟට එන්ට කැමැති නැත" (යොහාන් 5:39,40).

යේසුස් වහන්සේගේ ජීවිතය දැන් අපගේ මාවතට ආලෝකය වේ (යොහන් 1:4) - ලිඛිත වචනය පමණක් නොවේ. යම් කරුණක් සම්බන්ධයෙන් අපට දේවවචනයේ පැහැදිලි මඟ පෙන්වීමක් සොයාගත නොහැකි නම්, අපට යේසුස් වහන්සේගේ ජීවිතය දෙස බැලිය හැකිය (ශුද්ධාත්මයාණන් විසින් අපගේ හදවත්වලට හෙළි කළ පරිදි) එවිට අපට සැමවිටම පිළිතුරක් සොයාගත හැකිය.

තව දුරටත්: නව ගිවිසුමේ දී, ශුද්ධාත්මයාණන් වහන්සේ පාවුල් වැනි දේව භක්තිකයෙකුට "මා අනුගමනය කරන්න - මම ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නාක් මෙන් " ලෙස කීමට දේවානුභාවය දුන් සේක. ඒ වගේම ශුද්ධාත්මයාණන් වහන්සේ ඔහුට තුන් වරක් එසේ කීමට සැලැස්සුසේක - ඒ අපිත් ක්‍රිස්තුස් වහන්සේගේ අඩිපාරේ යන සැබෑ දේව භක්තික මිනිසුන්ගේ ආදර්ශය අනුගමනය කළ යුතු බව අවධාරණය කිරීමටය. (1 කොරින්ති 4:16; 1 කොරින්ති11:1; පිලිප්පි 3:17).

සැබෑ නව-ගිවිසුම් සේවකයෙකු ලිඛිත වචනයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රමිතිය ප්‍රකාශ කරනවා පමණක් නොව, පාවුල් තුමා පැවසූ පරිදි, "මා ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නාක් මෙන් මා අනුගමනය කරන්න" යනුවෙන්ද පවසනු ඇත.

සමහර කිතුනුවන් පවසන්නේ "අපි කිසිම මිනිසෙකු අනුගමනය නොකළ යුතුයි. අපි යේසුස් වහන්සේව පමණක් අනුගමනය කළ යුතුයි" කියාය. ඒක ආත්මික ප්‍රකාශනයක් ලෙස හැඟෙන නමුත් එය සම්පූර්ණයෙන්ම දේව වචනයට පටහැනිය. මන්ද, අප දැන් දැක ඇති පරිදි, පාවුල් (ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන්) අපට ඔහුව අනුගමනය කරන ලෙස පැවසූ බැවිනි.

පාවුල් තුමා කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට තමන්ව අනුගමනය කරන ලෙසත් ඔහුව අනුකරණය කරන ලෙසත් පැවසීමට හේතුව ඔහු ඔවුන්ගේ අධ්‍යාත්මික පියා වීමයි. ඔහු පැවසුවේ "මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ තුළ නුඹලාට දසදහසක් ගුරුවරු ඇතත් නුඹලාට බොහෝ පියවරු නැත. මක්නිසාද ශුභාරංචිය කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ මම නුඹලා ජනිතකෙළෙමි. එහෙයින් නුඹලා මා ආදර්ශයට ගන්නන් වන ලෙස නුඹලාගෙන් ඉල්ලමි (1 කොරින්ති 4:15,16). කෙනෙකුට බයිබල් ගුරුවරයෙකු අනුගමනය කළ නොහැක - මන්ද ඔහුගේ ඉගැන්වීම හොඳ සහ නිවැරදි වුවද, ඔහු තම ජීවිතයෙන් හොඳ ආදර්ශයක් නොවිය හැකිය. ඉහත සඳහන් පදයට අනුව, එක් ආත්මික පියෙකු බයිබල් ගුරුවරුන් 10,000කට වඩා හොඳය. එබැවින් පාවුල් වැනි ආත්මික පියෙකු සිටීම සියලුම ක්‍රිස්තියානීන්ට යහපත්‍ වේ, ඔහුගේ ආදර්ශය අනුගමනය කළ හැකිය. එවැනි අධ්‍යාත්මික පියෙකු අනුගමනය කිරීමෙන් අපව පාපයෙන් සහ බොරු ඉගැන්වීම්වලින් ගලවා ගත හැකිය.

පාවුල් තුමා කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියේ ඔහු කරමින් සිටි ආකාරයටම "ක්‍රිස්තුස්ගේ ආදර්ශය අනුගමනය කරන" වෙනත් දේවභක්තික මිනිසුන්ද අනුගමනය කරන ලෙසයි. ඔහු පැවසුවේ, "ඔබේ ජීවිතය මගේ ජීවිතයට අනුව හැඩගස්වා ගන්න, අපගේ ආදර්ශය අනුගමනය කරන අන් අයගෙන්ද ඉගෙන ගන්න" (පිලිප්පි 3:17- NLT පරිවර්තනය ) කියාය.

අපගේ නායකයන්ට කීකරු වීමටත් ඔවුන්ගේ ඇදහිල්ල අනුකරණය කිරීමටත් දේව වචනය අපට අණ කරයි.

"ඔබේ නායකයන්ට කීකරු වී ඔවුන්ට යටත් වන්න" (හෙබ්‍රෙව් 13:17).

"දෙවියන්වහන්සේගේ වචනය නුඹලාට කියාදුන්නාවූ නුඹලාගේ ප්‍රධානීන් සිහිකරන්න;ඔවුන්ගේ හැසිරීමේ කෙළවර බලමින් ඔවුන්ගේ ඇදහිල්ල අනුවයන්නෝ වෙන්න ." (හෙබ්‍රෙව් 13:7).

පුද්ගලයෙකුගේ සේවය අනුගමනය කිරීමට අපව කැඳවනු නොලැබේ, මන්ද දෙවියන් වහන්සේ තම සෑම දරුවෙකුටම අන් අයට කළ නොහැකි අද්විතීය සේවාවක් ලබා දෙන බැවිනි. අපගේ මිනිස් සිරුරට ඇති ආකාරයටම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයට විවිධ ක්‍රියාකාරකම් සහිත සාමාජිකයන් ඇත. යේසුස් වහන්සේ තමන්ව අනුගමනය කරන ලෙස මිනිසුන්ට ආරාධනා කළ විට, ඔවුන් ප්‍රාතිහාර්‍යයන් කරයි කියා හෝ තමන් කළාක් මෙන් දේශනා කරනු ඇතැයි උන්වහන්සේ අපේක්‍ෂා කළේ නැත. ඒ උන්වහන්සේගේ සේවයයි. උන්වහන්සේ මිනිසුන්ට ආරාධනා කළේ උන්වහන්සේගේ ජීවිතය ආදර්ශයට ගැනීමටය - එනම්, උන්වහන්සේ ජීවත් වූ ප්‍රතිපත්ති අනුව ජීවත් වීමට ය. ඒ හා සමානව, පාවුල් තුමා ඇදහිලිවන්තයන්ව තමන්ව අනුකරණය කර තමන් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන ලෙස ඔහුව අනුගමනය කරන මෙන් ඉල්ලා සිටි විට, ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රේරිතයන් වීමට හෝ රෝගීන් සුව කිරීමට නොව, ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වූ ප්‍රතිපත්ති අනුව තමන් ජීවත් වන ලෙස ඔවුහුද ජීවත් වන ලෙසය.

දේවභක්තික මිනිසුන්ගේ ආදර්ශයන් අනුගමනය කරන ලෙස ඉහත සඳහන් පදවල අපට අණ කර ඇත්තේ ශුද්ධාත්මයාණන් වහන්සේ ය. දේවභක්තික මිනිසුන්ගේ ආදර්ශ අනුගමනය කිරීමට තරම් ආඩම්බර වන අය සාමාන්‍යයෙන් අවසානයේ ලෞකික මිනිසුන් අනුගමනය කරයි, නැතහොත් ඔවුන්ගේම ස්වකැමැත්තේ-ජීවිතයේ පෙළඹවීම් අනුගමනය කරයි. එවිට ප්‍රතිඵල විනාශකාරී විය හැකිය.

තමාගේම ආදර්ශය සහ අනෙකුත් දේවභක්තික මිනිසුන්ගේ ආදර්ශය අනුගමනය කරන ලෙස පිලිප්පියේ ක්‍රිස්තියානීන්ට වසූ වහාම (පිලිප්පි 3:17), තවත් සමහරෙකුගේ ආදර්ශය අනුගමනය නොකරන ලෙස පාවුල් තුමා ඔවුන්ට අනතුරු ඇඟවීය: "මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති (පිලිප්පි 3:18,19).

කෙසේවෙතත්, ඔවුන් පාවුල්ගේ ආදර්ශය අනුගමනය කළේ නම්, එම වෙනත් අභක්තික මිනිසුන්ගේ රැවටීමෙන් ඔවුන්ව ගලවා ගනු ඇත.

මිනිසෙකු අනුගමනය කිරීමට සුදුසු සැබෑ දේව භක්තික මිනිසෙක්ද යන්න ඔබට ඇගයීමට හැකි පරීක්‍ෂණ හතක් මෙන්න:

1. ඔහු යටහත් මිනිසෙක්ද - පහසුවෙන් ළඟා විය හැකි සහ ලඟට ගොස් කතා කිරීමට පහසු කෙනෙකුද? යේසුස්වහන්සේ අපට පැවසුවේ උන්වහන්සේගෙන් යටහත්කම ඉගෙන ගන්නා ලෙසය (මතෙව්.11:29). දේවභක්තික මිනිසෙක් යනු යේසුස් වහන්සේගෙන් යටහත්කම ඉගෙනගත් අයෙකි.

2. ඔහු මුදලට ඇති ඇල්මෙන් නිදහස්ද සහ කිසිවිටෙක කාගෙන්වත් මුදල් නොඉල්ලන (ඔබ දන්නා පරිදි) කෙනෙක්ද? දේවභක්තික මිනිසෙක් යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරනු ඇත, උන්වහන්සේගේ දේවසේවය සඳහා පවා කිසිවෙකුගෙන් මුදල් ඉල්ලා නොසිටියසේක. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නාට මුදලට ප්‍රේම කළ නොහැකි බවත් දෙවියන් වහන්සේව අල්ලාගෙන සිටින්නා මුදල් හෙළා දකින බවත් යේසුස් වහන්සේ වදාළ සේක (ලූක් 16:13).

3. ඔහු තම ජීවිතයෙන් - විශේෂයෙන්ම කාන්තාවන් සමඟ ගනුදෙනු කිරීමේදී (ඔබ දන්නා පරිදි) පිරිසිදුද? දේවභක්තික මිනිසෙක් ලිංගික තෘෂ්ණාවට ඇති පෙළඹවීමෙන් වැළකී සිටිනවා පමණක් නොව නමුත් එයින් පලා යයි (2 තිමෝති 2:20-22).

4. ඔහු විවාහක නම් සහ දරුවන් සිටී නම්, ඔහු තම දරුවන් ඇති දැඩි කර ඇත්තේ දේව භක්තික මාර්ගවලින්ද? දේවභක්තික, විවාහක පුරුෂයෙකු යනු විනයානුකූලව හැදී වැඩුණු ඇදහිලිවන්ත දරුවන් සිටින අයෙකි (1 තිමෝති 3:4,5; තීතස් 1:6).

5. ඔහුගේ සමීපතම හවුල් සේවකයන් ඔහු සමඟ ඇසුරු කිරීමෙන් දේවභක්තික මිනිසුන් වී තිබේද? දේවභක්තික මිනිසුන් වෙනත් දේවභක්තික මිනිසුන් බිහිකරනු ඇත. තිමෝති දේවභක්තික මිනිසෙකු බවට පත් වූයේ ඔහුගේ අධ්‍යාත්මික පියා වන පාවුල් සමඟ සිටීමෙනි (පිලිප්පි 2:19-22).

6. ඔහු දේශීය නව-ගිවිසුම් සභාවක් ගොඩනඟා තිබේද? (නැතහොත් වෙනත් අය සමඟ ගොඩ නැගීමෙහි ක්‍රියාශීලීව නිරත වන්නේ ද?). යේසුස් වහන්සේ පොළොවට පැමිණියේ උන්වහන්සේගේ සභාව ගොඩනැගීමටය (මතෙව්. 16:18). සභාව ගොඩනැගීම සඳහා තමන්වම දුන් සේක (එෆීස 5:25). දේවභක්තික මිනිසුන් සෙනගව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන ඒම පමණක් නොව, ඉන්පසුව ඔවුන්ව එම ප්‍රදේශයේ සභාවක් ලෙස ගොඩනඟනු ඇත.

7. ඔහු ඔබව සම්බන්ධ කරන්නේ ඔහුට නොව ක්‍රිස්තුස් වහන්සේටද? දේවභක්තික මිනිසෙක් ඔබව ක්‍රිස්තුස් වහන්සේට සම්බන්ධ කරයි, එවිට පෙරලා ඔබට අන් අයට දේවභක්තික ආදර්ශයක් විය හැකිය (එපීස 4:15; 2 කොරින්ති 4:5).

අපට බොහෝ ක්‍රිස්තියානි නායකයින් අනුගමනය කළ නොහැක, මන්ද ඔවුන් ඉහත සඳහන් ක්‍ෂේත්‍රවලින් එකක් හෝ කිහිපයකින් අසමත් වේ.

කෙසේ වෙතත්, ඉහත ගුණාංග ඇති දේවභක්තික නායකයෙකු ඔබ සොයා ගන්නේ නම්, ඔහුව ආත්මික පියෙකු ලෙස අනුගමනය කිරීම ඔබට යහපත් වනු ඇත, මන්ද ඔහු ඔබට ස්වාමින් වහන්සේ වෙතට ළං වීමටත් පාපයෙන් හා බොරු ඉගැන්වීම්වලින් ගැලවීමටත් උපකාර කරන බැවිනි.

ඇසීමට කන් ඇත්තා අසත්වා.

©Zac Poonen – [email protected]