WFTW Body: 

අප බෞතීස්මය ලබන විට, අපව වතුරට ගිල්වන පුද්ගලයා අපව ගිලෙන්න නොදී වතුරෙන් උඩට ඔසවණු බවටද අපට විශ්වාසයක් ඇත. ජීවිතයේ සෑම අවස්ථාවකදීම අප දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල (විශ්වාසය) තිබිය යුත්තේ එලෙසය. උන්වහන්සේ, අපගේම සිය-කැමැත්තට මැරීමට හෝ අන් අය විසින් අපව "කුරුසියේ ඇණ ගසනු ලබන" අවස්ථාවක් සකස් කරන විට උන්වහන්සේ භාවිතා කරන මනුෂ්‍ය ක්‍රියාකාරිත්වයෙන් ඔබ්බට අප දෙවියන් වහන්සේව දැකිය යුතුය.

පවිත්‍ර හදවත් (සිත්) ඇත්තන් කිසිදු මනුෂ්‍ය ක්‍රියාකාරිත්වය නොදැක - දෙවියන් වහන්සේව පමණක් දකිණු ඇතැයි යේසුස් වහන්සේ පැවසූසේක (මතෙව් 5: 8) . අපව කුරුසියේ ඇණ ගසන මිනිසුන්ව පමණක් දකින විට, එයින් ඇඟවෙන්නේ අපගේ හදවත් පවිත්‍ර නොවන බවයි. එවිට එම මනුෂ්‍යයින්ට විරුද්ධව අපට පැමිණිලි ඇතිවන්නේ ය.

නමුත් අපගේ හදවත් පවිත්‍ර වූ විට, අපිට දෙවියන් වහන්සේ පමණක් දැක, එවිට (ජල බෞතීස්මයේදී මෙන්) අපව මරණයේ ගිල්වීමට ඉඩ දෙන උන්වහන්සේ අපවද නැඟිටුවනු ඇතැයි අපට විශ්වාසයක් ඇති කර ගත හැකිය. "අපි ක්‍රිස්තුස් වහන්සේ සමඟ මරණයට භාජනය වුවොත්, ක්‍රිස්තුස් වහන්සේව උත්ථාන කෙරුවාක් මෙන් දෙවියන් වහන්සේ විසින් අපවද උත්ථාන කරනු ලබනසේක " (2 තිමෝති 2: 11). එවිට අපි ඇදහිල්ලෙන් (දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්) මිය යමු. එවිට අපට තේජාන්විත උත්ථාන-ජීවිතයකට (නැවත නැඟිටීමට) ඇතුළු විය හැකිය. නොඑසේ නම් අප සැමදා ජීවත් වන්නේ අප සැමදා ජීවත් වූ පැරණි පරාජිත ආදම්ගේ ජීවිතයම ය. අපි තමකමට (සිය-කැමැත්තට) මැරීමට ප්‍රතික්ෂේප කරන විට, එයින් ඇඟවෙන්නේ අපට දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයක් නොමැති බවයි.

අප යාකොබ් 1: 6-8 හි කියවන පරිදි ඇදහිල්ලේ මිනිසා නොවැණෙන (සැක නොමැති) එක සිතක් ඇති මිනිසා වේ. එවැනි මිනිසෙකුට ජීවිතයේ දෙවියන් වහන්සේව සතුටු කිරීම සහ උන්වහන්සේව මහිමයට පත් කිරීමේ - එකම ඉලක්කය ඇත. ඇදහිල්ලෙන් ජීවත් වේ යැයි පැවසිය හැක්කේ එවැනි මිනිසෙකුට පමණි - මන්ද ඔහු නොපෙනෙන දේවල පමණක් සදාකාලික වටිනාකමක් ඇති බව හඳුනාගෙන ජීවත් වේ. වෙනත් වචන වලින් කිවහොත්, දෙවියන් වහන්සේගේ වචනය පවසන දේ ඔහු විශ්වාස කරයි.

බොහෝ "ඇදහිළිවන්තයින්" යේසුස් වහන්සේව විශ්වාස කරන්නේ ඔවුන් නිරයට යාමට අකමැති නිසා පමණි. නමුත් ඔවුන් ඇදහිල්ලෙන් ජීවත් නොවන්නෝය. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනයේ පවසන දේ සත්‍ය බව ඔවුන්ට ඒත්තු ගැන්වෙන්නේ නැත. තමන්ගෙ ජීවිතවල කරපු, කියපු සෑම දේකටම දෙවියන් වහන්සේට ගණන් දිය යුතු බව ඔවුන් විශ්වාස කරන්නේ නැත. තමන් තෘප්තිමත් වීමටත්, මෙළොව සැප සම්පත් විඳීමටත්, මුදල් පසුපස හඹා යාමටත් ඔවුන් ජීවත් වන්නේ නම්, ඔවුන්ට මෙළොව හැර ගිය පසු සදාකාලිකවම දුක් වීමට වන බව ඔවුන් විශ්වාස නොකරයි.

මිය ගොස් නිරයට ගිය ධනවත් මිනිසා (යේසුස් වහන්සේ කථා කළ) ඔහු මිය ගිය විගසම දුක් වූ අතර, ඔහුට අවශ්‍ය වූයේ යමෙකු ගොස් තම සහෝදරයින්ට, තමා, ජීවිතයේ දිනපතා පසුතැවිළි නොවී, තම භූමිකව ජීවත්වූ ආකාරයේ වැරැද්දම නොකරන ලෙස පැවසීමට ය (ලූක් 16: 28,30). අප සැවොම මෙළොව පරිවාසයේ කාලයක සිටින අතර දෙවියන් වහන්සේ අපව පරීක්ෂා කරන්නේ අප සතුන් මෙන් පොළොවේ දූවිල්ලට ජීවත් වනවාද, නැතහොත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෙස - යහපත්කම, ප්‍රේමය, නිරපේක්ෂ පාරිශුද්ධත්වය සහ නිහතමානිකම යනාදිය මගින් සංලක්ෂිත වන, සදාකාලික වටිනාකමක් ඇති ජීවිතයක් සඳහා ජීවත් වනවාද යන්නයි.

සදාකාලික වටිනාකමක් ඇති දේවල් උදෙසා ජීවත් වීමට ස්වාමින් වහන්සේ ඔබට කරුණාව ලබා දෙන සේක්වා.

හිමිකම් -Zac Poonen – [email protected]