WFTW Body: 

දෙවියන් වහන්සේ විශ්වයේ උත්තරීතර බලධාරියා වනසේක. ඒ ගැන කිසිම සැකයක් නැත. එලෙසම, දෙවියන් වහන්සේ එම අධිකාරිය අන් අයටද පවරන සේක. රාජ්‍ය පාලකයින්ට, දෙමාපියන්ට සහ සභාවන්හි නායකයින්ට, සමාජයේ, නිවාසවල සහ සභාවල අධිකාරිය ඇත.

තම ජීවිතයේ කිසිම අවස්ථාවක අන් අයට යටත් වීම නොදැන සිටි කිසිවෙකුට දෙවියන් වහන්සේට ඵළදායී ලෙස සේවය කිරීමට හෝ ආත්මික නායකයෙකු වීමට නොහැකිය.

සභාව, සමහරුන් සලකන පරිදි, සෑම කෙනෙකුම දෙවියන් වහන්සේට පමණක් සෘජුවම වගකිව යුතු ප්‍රජාතන්ත්‍රවාදී ස්ථානයක් නොවේ. නැත. ස්වාමින් වහන්සේ විසින් පත් කරන ලද නායකයින් ශරීරයෙහි (සභාවෙහි) සිටිති, ඔවුන්ට අප යටත් විය යුතු අතර කීකරුද විය යුතුය. මෙය දෙවියන් වහන්සේගේ කැමැත්ත වන අතර ශුද්ධ ලියවිල්ලේ මෙය පැහැදිළිව උගන්වා ඇත.

දේව වචනය ජනතාව පාලකයින්ටද, භාර‍්‍යයාවන් ස්වාමිපුරුෂයන්ටද, දරුවන් දෙමාපියන්ටද, සේවකයින් ස්වාමිවරුන්ටද යටත් වන ලෙස අණ කරන්නා සේම, එය සභාව තුළ යටත් වීම ගැනද අණ කරන්නේය.

සෑම ප්‍රදේශයකම සභාවන්ට නායකත්වය දීමට දෙවියන් වහන්සේ වැඩිමහල්ලන් පත්කර ඇත. සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද වැඩිමහල්ලන් සිටින සභාවක, ඔවුන් ස්වාමින් වහන්සේගේ නියෝජිතයින් වන අතර උන්වහන්සේගේ අධිකාරියේ යම් බලයක් ක්‍රියාත්මක කරන්නෝය. ස්වාමීන් වහන්සේ තමන් විසින් යවන ලද තම ගෝලයින්ට පැවසුවේ “ඔබට සවන් දෙන තැනැත්තා මට සවන් දෙන්නේය, ඔබව ප්‍රතික්‍ෂේප කරන්නා මා ප්‍රතික්‍ෂේප කරන්නේය” කියාය (ලූක් 10: 16).

දේව වචනයෙහි මෙයාකාර ආඥා ඇත්තේය : නුඹලාගේ ප්‍රධානියෝ ගණන්දෙන්ට සිටින්නන් මෙන් නුඹලාගේ ආත්ම ගැන රැකබලා සිටිති. ඔවුන් සුසුම්ලමින් එසේ කළොත් නුඹලාට අළාභ බැවින්, සුසුම්ලමින් නොව ප්‍රීතියෙන් එසේ කරන පිණිස ඔවුන්ට කීකරුව යටත්වෙන්න (හෙබ්‍රෙව් 13: 17).

දෙවියන් වහන්සේ අපව ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයින් ලෙස සහභාගිත්වයේ කණ්ඩායම් (සභාවන් හෝ ක්‍රිස්තියානි සේවකයින්ගේ කණ්ඩායම්) තුළ තබන සේක. එහිදී, දෙවියන් වහන්සේ විසින් අප කෙරෙහි පත් කරන ආත්මික නායකයින්ට යටත් වීමට සහ ඔවුන් සමඟ කණ්ඩායමක් ලෙස ගමන් කිරීමට අපව කැඳවනු ලැබේ. තනි පුද්ගල කාරණාවලදී එය අප වෙත පැමිණෙන්නේ අපගේ ආත්මික නායකයින් හරහාය.

දෙවියන් වහන්සේ අපව යම් සභා සහභාගිත්වයක හෝ ක්‍රිස්තියානි සේවක කණ්ඩායමක තබා ඇත්නම්, දෙවියන් වහන්සේ අප කෙරෙහි තබා ඇති නායකත්වයට යටත් වීමටත් කණ්ඩායම් කාරණාවලදී ඔවුන් අනුගමනය කිරීමටත් අපි බැඳී සිටිමු. අපට සහතික විය යුතු එකම කරුණ නම් දෙවියන් වහන්සේ අපව එම කණ්ඩායමේ තැබූ සේක්ද යන්න පමණි. එම කාරණය සමථයකට පත් වූ පසු, අපගේ නායකයින්ට යටත් වී කීකරු වීම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වන බව හැර වෙන කිසි ප්‍රශ්ණ කිරීමක් නැත. මෙම ශුද්ධ ලියවිලිමය මූලධර්මය අවබෝධ කරගත් පසු ක්‍රිස්තියානි සේවාවල බොහෝ ගැටළු විසඳෙනු ඇත.

දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේම ආදර්ශය සලකා බලන්න. තරුණ පිරිමි ළමයෙකු ලෙස, උන්වහන්සේ යෝසෙප්ට සහ මරියාට යටත්ව ජීවත් වූ බව අපි කියවන්නෙමු (ලූක් 2: 51). යේසුස් වහන්සේ සර්ව සම්පූර්ණ වූ සේක. නමුත් යෝසෙප් සහ මරියා එසේ සම්පූර්ණව සිටියේ නැත. එහෙත් පරිපූර්ණ තැණැන්වහන්සේ අසම්පූර්ණ මිනිසුන්ට යටත්ව වසර ගණනාවක් ජීවත් වූ සේක, මන්ද එය උන්වහන්සේ සඳහා දෙවියන් වහන්සේගේ කැමැත්ත වූ බැවිනි. පියාණන්ගේ කැමැත්ත යේසුස් වහන්සේ වෙනුවෙන් සියලු කාරණා වල අවසානය වනු ඇත. උන්වහන්සේ යෝසෙප්ට සහ මරියාට යටත්ව ජීවත් වීමට උන්වහන්සේගේ පියාණන්ට අවශ්‍ය නම්, උන්වහන්සේ එය කරනු ඇත - එයද, උන්වහන්සේගේ පියාණන්ට අවශ්‍ය තාක් කල් පමණි.

එම නිසා, පරිපූර්ණ දේව පුත්‍රයාණන්ගේ ආදර්ශයෙන් ද පවා අපට පෙණෙන්නේ, එකම වැදගත් ප්‍රශ්ණය වන්නේ, "මම මෙම සහභාගිත්වයේ සිටීම දෙවියන් වහන්සේගේ කැමැත්තද?" යන්නයි. පිළිතුර 'ඔව්' නම්, දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද නායකත්වයට යටත් වීම අපගේ යුතුකම බවට පත්වේ.

දේවදූතයින්ගේ ප්‍රධානියා වූ ලුසිෆර් තමා කෙරෙහි දෙවියන් වහන්සේගේ අධිකාරියට එරෙහිව කැරළි ගැසූ විට, අධිකාරයට එරෙහි කැරැල්ල, විශ්වයේ සිදු කළ පළමු පාපය විය.

අද ලෝකයේ, ආත්මයන් දෙකක් ක්‍රියාත්මක වේ - ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය දිව්‍යමය වශයෙන් පිහිටුවා ඇති අධිකාරියට යටත් වීමට මිනිසුන්ව මෙහෙයවන අතර, සාතන්ගේ ආත්මය එවැනි අධිකාරියට එරෙහිව කැරළි ගැසීමට මිනිසුන්ට මඟ පෙන්වයි.

කැරළිකාර ආත්මය අද සමාජයේ, නිවස තුළ සහ සභාව තුළ ද බහුලව පැතිරී ඇත. මෙය ලෝකය, වේගයෙන් දෙවියන් වහන්සේගෙන් ඈත් වන බවටත්, සාතන් විසින් වැඩි වැඩියෙන් පාලනය වන බවටත් පැහැදිළි ඇඟවීමකි. මෙම සාතන්ගේ මූලධර්මයට එරෙහිව නැගී සිටීමට සහ යටත් වීමේ ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කිරීමට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සාමාජිකයින් ලෙස අපව කැඳවනු ලැබේ.

දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද නායකත්වයට යටත් වීමෙන් අපට කිසිදා කිසිවක් අහිමි විය නොහැක. අනෙක් අතට කැරළිකාරකමෙන් අපට අහිමි වීමට බොහෝ දේ ඇත.

දිව්‍යමය වශයෙන් පත් කරන ලද නායකත්වයට යටත් වීම යනු අපව ආත්මික පරිණතභාවය කරා ගෙන යාමේ දෙවියන් වහන්සේගේ ක්‍රමයයි. දෙවියන් වහන්සේ අපව කැඳවන තැනට අප යටත් නොවන්නේ නම් අපි ආත්මික වශයෙන් අඩපණ (කුරු) වනු ඇත.

බොහෝ ඇදහිළිවන්තයින් තම ආත්මික නායකයින්ට නිහතමානීව යටත් වීමේ ප්‍රතිඵළයක් ලෙස, ඔවුන්ගේ සැලසුම් තුළ පරීක්‍ෂා කර වළක්වා ගත යුත්තේ කුමක්දැයි කිසිවිටෙක දැන නොසිටි නිසා, ඔවුන්, දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යයේ යථාර්ථය, අත්දැකීමෙන් ඉගෙන ගෙන නැත. තම ජීවිතයේ කිසිම අවස්ථාවක අන් අයට යටත් වීම නොදැන සිටි කිසිවෙකුට දෙවියන් වහන්සේට ඵළදායී ලෙස සේවය කිරීමට හෝ ආත්මික නායකයෙකු වීමට නොහැකිය.

යක්‍ෂයා අපගේ කණ්වලට කොඳුරන පරිදි යටහත්වීම නින්දිත වූ හා පීඩාකාරී දෙයක් නොවේ. ඊට පටහැනිව, එය දෙවියන් වහන්සේ අපව ආත්මිකව ආරක්‍ෂා කරන මාර්ගයයි. අපගේ කිතුණු ජීවිතයේ මුල් වසරවලදී, අප තවමත් දෙවියන් වහන්සේගේ මාර්ඟ නොදැන සිටින විට, අප අපගේ ආත්මික නායකයින්ට යටත් වුවහොත්, අප විසින්ම බොහෝ උගුල්වල වැටීමෙන් ගැළවිය හැකි අතර අපගේ තරුණ ජ්වලිතයෙන් අන් අයව නොමඟ යැවීමෙන්ද ආරක්‍ෂා විය හැක. යටහත්පහත්ව ගත කළ එම වසර ගණන, දෙවියන් වහන්සේ අපට උන්වහන්සේගේ රාජ්‍යයේ නීති උගන්වා, එමගින් අපව ආත්මිකව ධනවත් කරන කාලයද විය හැක, එමගින් අපට අන්‍යයින්ට සේවයක් කළ හැක.

අපි යටත් වීමේ මාවත මගහරින විට අපට කොපමණ පාඩුද!