WFTW Body: 

කිතුණු ධර්මයේ පළමු අවුරුදු 300 තුළ, සෑම කිතුණුවෙකුම පාහේ ක්‍රිස්තු විරෝධී පාලකයන් යටතේ ජීවත් වූ අතර ඔවුහු බොහෝ විට ඔවුන්ට පීඩා කර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ඝාතනය කළහ. දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා උන්වහන්සේගේ මහත් ප්‍රඥාවෙන් තම දරුවන්ට පීඩා කිරීමට මිනිසුන්ට අවසර දුන් සේක. අදටත් දෙවියන් වහන්සේ තම හොඳම දරුවන්ගෙන් සමහරෙකුට, පීඩා කරන ආණ්ඩු යටතේ ජීවත්වීමට අවසර දී තිබේ. සභාව සෑමවිටම හොඳින්ම සමෘධිමත් වී ඇත්තේ පීඩා යටතේදීය. නමුත් සභාව පහසු, සැණසිල්ල සහ ද්‍රව්‍යමය සමෘද්ධිය අත්විඳින ඕනෑම තැනක බොහෝ විට එය ලෞකික බවට පත්වේ. අප ලෝකයේ සිටින තාක් කල් අපට පීඩා, වද හිංසා සහ පරික්ෂාවලට මුහුණ දීමට සිදුවේ. එබැවින් අප මෙම යුගයේ අවසානය කරා ළඟා වෙත්ම - අපගේ සේවා ස්ථානයේ හෝ අපගේ පෞද්ගලික ජීවිතයේ - පහසු කාලයක් අපේක්ෂා නොකළ යුතුය.

ආර්ථික අපහසුකම් ඉදිරියට අනිවාර‍්‍යයෙන්ම පැමිණෙන බැවින් අප ඉතා සරලව ජීවත්වීමට දැන් වුවද පුරුදු විය යුතුය. සුඛෝපභෝගී ජීවතයක් ගත කරන අයට පැවතී සිටීමට ඉදිරි දිනවලදී බොහෝ දේ තුළ ඉතා අපහසුථාවයක් දැනෙණු ඇත. අන් අය මත යැපීමට සිදු නොවන පිණිස, අනාගතය උදෙසා මුදල් ඉතිරි කිරීමෙහි අප ප්‍රඥාවන්ත විය යුතුය. එහෙත් අපගේ විශ්වාසය අපගේ ඉතිරිය මත නොව, නමුත් ස්වාමින් වහන්සේ තුළම විය යුතුය. දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ දරුවන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් සිටින දෙවි කෙනෙක් වූ බැවින් මැවූ කිසිවක් කෙරෙහි විශ්වාසය තැබීමට උන්වහන්සේ කිසි විටෙකත් අපට ඉඩ නොදෙන සේක. දෙවියන් වහන්සේ ලෝකයේ මූල්‍ය පද්ධති සොලවන සේක. එවිට මැවූ දේවල් කෙරෙහි විශ්වාසය තබන අය සෙළවෙනු ඇත. යේසුස් වහන්සේ කියූ පරිදි, සහෝදරයන් සහෝදරයන්ව පාවා දෙන අතර අපගේ පවුලේ-සාමාජිකයින් අපගේ සතුරන් බවට පත්වීම අපි දකින්නෙමු( මතෙව් 10 : 21 ). කාර‍්‍යයාලවල හා කර්මාන්ත ශාලාවල ඇදහිළිවන්තයින්ට සක්‍රීයව පීඩා කරණු ඇත. මේ සියල්ලම අපව පවිත්‍ර කර වඩාත් යහපත් කිතුණුවන් බවට පත් කරණු ඇත. 1 පේත්‍රැස් 3: 13 හි පවසන්නේ අප සැමවිටම යහපත කිරීමට උත්සාහ කළහොත් කිසිවෙකුට අපට හානියක් කළ නොහැකි බවයි. එබැවින් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන, සියල්ලන්ටම යහපත කිරීමට අප අධිෂ්ඨාන කළ යුතුය. අපට වෛර කරන අයට අප ප්‍රේම කළ යුතුය, අපට ශාප කරන අයට ආශීර්වාද කළ යුතුය, අපට පීඩා කරන අයට සමාව ඉල්ලා යාච්ඤා කළ යුතුය. එවිට කිසිවෙකුට අපට හානි කිරීමට නොහැකි වනු ඇත. සාතන් සහ ඌගේ නියෝජිතයන් අපව රවටා, අපට කරදර කිරීමට, අපට හිරිහැර කිරීමට, කොල්ලකෑමට, තුවාළ කිරීමට, අපව සිරගත කිරීමට හා අපගේ ශරීර මරා දැමීමට පවා ඉඩ තිබේ. නමුත් ඔවුන්ට කිසි විටෙකත් අපට ආත්මිකව හානි කිරීමට නොහැකි වනු ඇත.

ඉදිරි දිනවලදී ඇදහිල්ල නිසා පීඩාවලට මුහුණ දීමට අප ලොව පුරා සිටින කිතුණුවන් සූදානම් කළ යුතුයි. එවැනි දවස් උදෙසා අපගේ ස්වාමින් වහන්සේ අපට දී ඇති ආඥා හතරක් ඇත:

1. සර්පයන් මෙන් ප්‍රඥාවන්ත වන්න එමෙන්ම පරෙවියන් මෙන් අහිංසක වන්න” ( මතෙව් 10 : 16 ).


අප සාක්ෂි දැරීමේදී අඥානයන් නොවී, නමුත් ප්‍රඥාවන්ත විය යුතුය. අප ජීවත්වන ස්ථානයෙහි සහ අප වැඩ කරන ස්ථානයෙහි අපගේ ජීවිත, ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කථා කළ යුතුය. ස්වාමින් වහන්සේ උදෙසා අපගේ සාක්ෂියේදී, අප කථා කරන්නේ පුද්ගලයෙකු ගැන - යේසුස් ක්‍රිස්තුස් වහන්සේ - මිස ක්‍රිස්තියානි ආගම වෙනත් ආගම්වලට වඩා උසස් යැයි නොපැවසීම බව අප පැහැදිලි කළ යුතුය. යේසුස් වහන්සේව ඔසවන විට, උන්වහන්සේ මිනිසුන් උන්වහන්සේ වෙතට ආකර්ෂණය කරන සේක ( යොහාන් 12 : 32 ). ක්‍රිස්තියානි ධර්මය ගැන උනන්දුවක් දක්වන ලෙස පෙනී සිටින ක්‍රිස්තියානි නොවන ඔත්තුකරුවන්, අප “බලහත්කාරයෙන් ඔවුන් හැරවීමට උත්සාහ කරන බවට” අපව උසාවියට ​​ගෙන යාම සඳහා අප භාවිතා කරන යම් වචනයක් ගැන අපට චෝදනා කිරීම ඔවුන්ගේ සැබෑ අභිප්‍රාය විය හැක. එවැනි අය හඳුනා ගැනීමට ද අප ආත්ම විමසීමේ දීමනාවෙන් අවදිව සිටිය යුතුය - ඒ නිසා අපි යේසුස් වහන්සේ මෙන් ප්‍රඥාවන්ත මෙන්ම ප්‍රේමණීයද විය යුතුයි : (අ) යේසුස් වහන්සේ සමහර මිනිසුන් කවුරුන් දැයි කියා දැන සිටි නිසා, ඔවුන් වෙත උන්වහන්සේ ව භාර නොකළ සේක” ( යොහාන් 2: 23-25 ). සෑම කෙනෙකුවම ආත්ම විමසීමේ දීමනාවෙන් හඳුනා ගැනීම (ආ) “යේසුස් වහන්සේ යුදයේ ඇවිදීමට අකමැති වූයේ එහි සිටි යුදෙව්වන් උන්වහන්සේව මරා දැමීමට උත්සහ කළ නිසාය” ( යොහාන් 7: 1 ). අනවශ්‍ය අනතුරුවලින් වැළකෙන්න. (ඇ) “ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න” ( මතෙව් 5: 44). යහපත් කෙනෙකු

වන්න - අනෙක් අය නපුරු වූ බැවින් නපුරට පත් නොවන්න.

2. “දෙවියන් වහන්සේගේ මුවින් පිටවන සෑම වචනයක් තුළම ජීවත්වන්න” ( මතෙව් 4 : 4 ).

පීඩා කාලවලදී, වැදගත්ම අවශ්‍යතාවය වන්නේ දෙවියන් වහන්සේ අපගේ හදවත්වලට කථා කරන වචනයට සංවේදී වීමයි. දවස පුරා දෙවියන් වහන්සේට සවන් දීමේ ආකල්පයක පුරුද්දක් අප විසින් වර්ධනය කර ගත යුතුය. දෙවියන් වහන්සේගෙන් අප අසන වචනය ඉන්පසු විශ්වාස කර කීකරු විය යුතුය. එසේ නොමැතිනම් එයට කිසිදු වටිනාකමක් නැත. එබැවින් අප දේව වචනය (විශේෂයෙන් අළුත් ගිවිසුම) මත වැඩියෙන් මෙණෙහි කළ යුතුය - මක්නිසාදයත් අපට ආත්ම විමසීමේ දීමනාවෙන් දෙවියන් වහන්සේගේ හඬ හඳුනා ගත හැකි වනුයේ එළෙස පමණි. එවිට අපි එය"විශ්වාස කර කීකරු විය යුතුය".

3. “ මා ඔබට ප්‍රේම කළාක් මෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ එකිනෙකාට ප්‍රේම කරන විට ඔබ මාගේ ගෝලයන් බව සියලු මිනිසුන් දැනගනු ඇත” ( යොහාන් 13: 34, 35 ).

අපගේ නිවසේ මෙන්ම අපගේ සභාවලද, එකිනෙකාව විනිශ්චය කිරීම, අනුන් ගැන ද්වේෂ සහගතව කථා, එකිනෙකා සමඟ සියළුම රණ්ඩු දබර, එකිනෙකා අතර සියළුම සැකයන් මුළුමණින්ම නතර කළ යුතුය. ආත්ම විමසීමේ දීමනාව දෙවියන් වහන්සේගේ දිව්‍යමය ගුණාංගයකි, නමුත් සැක සහිතවීම සාතන්ගේ ගුණාංගයකි. අපගේ ජීවිත තුළ පාපයට හා සාතන්ට එරෙහිව සටන් කිරීමට අවධානය යොමු කළ යුතු කාලය දැන් එළඹ ඇත. අපගේ විවාහ සහකරුවන්ට ආදරය කිරීම සහ සෙසු- ඇදහිළිවන්තයන්ට ප්‍රේම කිරීම සඳහා ක්‍රියාශීලීව නොකඩවා කළ යුතු කාලය මෙයයි.

4. " ලෝකයේ ඔබට පීඩා තිබෙණු ඇත. නමුත් නිර්භීත වන්න. මම ලෝකය ජය ගත්තෙමි" ( යොහාන් 16: 33 ).

දෙවියන් වහන්සේ සිංහාසනයෙහි සිටින බැවින්, උන්වහන්සේ කිසිවිටෙකත් උන්වහන්සේගේම කෙනෙකුව අත් නොහරින සේක. අවුරුදු 2000 ට පෙර සාතන්ව පරාජය කර හමාරය. අපි දෙවියන් වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවය, එහෙයින් උන්වහන්සේ අප වටා ගිනිමය පවුරක් වන සේක ( සෙකරියා 2: 5, 8 ). අපට විරුද්ධව සාදන ලද කිසිම ආයුධයක් කිසි දිනෙක සඵල වන්නේ නැත ( යෙසායා 54:17 ). එබැවින් අප “අපිට ඇති දෙයින් සෑහීමකට පත් වෙමු. මක්නිසාද දෙවියන් වහන්සේම පවසා ඇත්තේ මම කිසිවිටෙකත් ඔබව අත් නොහරින්නෙමි, මම කිසිවිටෙකත් ඔබව හැර නොයන්නෙමි යන්නයි. එවිට ස්වාමින් වහන්සේ මාගේ උපකාරයාණෝය. මම බිය නොවෙමි. මිනිසා මට කුමක් කරම් ද? යැයි අපිට නිර්භීතව පැවසිය හැකිය ( හෙබ්‍රෙව් 13: 5, 6 ).

“විගසින් පැමිණෙන්න, යේසුස් ස්වාමිනී” යැයි අප යාච්ඤා කරමු ( එළිදරව් 22: 20 ).