WFTW Body: 

1 රාජාවලිය පොත, දෙවියන් වහන්සේගේ හදවතට එකඟ වූ මිනිසා වන දාවිත්ගෙන් ආරම්භ වන අතර එය අවසන් වන්නේ ඊශ්‍රායෙලය පාලනය කිරීම සඳහා මෙතෙක් සිටි නපුරුම රජ වූ ආහබ් සමඟය. ඊශ්‍රායෙලය බලවත් ජාතියක් ලෙස ආරම්භ වී බෙදී ගිය ජාතියක් ලෙස අවසන් වන අතර බොහෝ නපුරු රජවරුන් රාජධානි දෙකම පාලනය කළහ - විශේෂයෙන් ඊශ්‍රායෙලය කෙරෙහි.

දෙවියන් වහන්සේගේ සෙනඟගේ තත්වය බොහෝ සෙයින් රඳා පවතින්නේ ඔවුන්ගේ නායකයින්ගේ ආත්මිකභාවය හෝ එහි ඌනතාවය මතය. ඊශ්‍රායෙල්වරුන්ට දේවභක්තික නායකයෙක් සිටි සෑම අවස්ථාවකම ඔවුහු දේවභක්තිකව ඉදිරියට ගියහ. ඔවුන්ට ලෞකික නායකයෙකු සිටිය විට, ඔවුන් දෙවියන් වහන්සේගෙන් ඈත් වී ලෞකිකත්වයට ගියහ. දේවභක්තික නායකයන්‍ උදෙසා දෙවියන් වහන්සේගේ සෙනඟ අතර මහත්වූ අවශ්‍යතාවයක් නිතරම ඇත්තේ ය.

යේසුස් වහන්සේ තම කාලයේ සිටි සමූහයා දෙස බලා ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් දුටු සේක. තම සෙනඟ අතරට එඬේරුන්ව එවන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤා කරන්න කියා යේසුස් වහන්සේ තම ගෝලයන්ට පැවසුසේක ( මතෙ. 9: 36-38 ). දෙවියන් වහන්සේ අද සභාවන් දෙස බලන විට, එම අවශ්‍යතාවයම වන දේවභක්තික නායකයින්ගේ අවශ්‍යතාවය උන්වහන්සේ දකින සේක. එවිට අපට ඇති අභියෝගය නම් දෙවියන් වහන්සේ අපේ පරම්පරාව තුළ සොයන්නා වූ මනුෂ්‍යයන් සහ ස්ත්‍රීන් වීමෙන් දෙවියන් වහන්සේගේ හදවත තෘප්තිමත් කිරීමය.

සෑම පරම්පරාවකම දෙවියන් වහන්සේට දේව භක්තික නායකයන් අවශ්‍යය. පෙර පරම්පරාවල නායකයන්ගේ ප්‍රඥාව මත අපට යැපීමට නොහැකිය. දාවිත්ට සදහටම ඊශ්‍රායෙලය පාලනය කිරීමට නොහැකි විය. ඔහු මිය යනු ඇත, එවිට තවත් කෙනෙකුට එය භාර ගැනීමට සිදුවනු ඇත. ඊශ්‍රායෙලයට කුමක් සිදුවේද යන්න රඳා පවතින්නේ ඊළඟ රජු කෙබඳු පුද්ගලයෙක්ද යන්න මතය.

එක් පරම්පරාවක වැඩක් ආරම්භ කිරීම සඳහා දෙවියන් වහන්සේ දේවභක්තික මිනිසෙකුව නැගිටුවන සේක. ඔහු වයසට ගොස් මිය යන්නේය. ඊළඟ පරම්පරාවේ නායකයින්ට ඇත්තේ ආරම්භකයාගේ දේවභක්තිය සහ ඔහු දෙවියන්වහන්සේව හැඳිනගෙන තිබූ ආකාරය නොව නමුත් ඔහුගේ දැනුම සහ ඉගැන්වීම් පමණක්මද? එවිට ජනතාව නිසැකවම නොමඟ යති. අපේ කාලයේ දෙවියන් වහන්සේට දාවිත් ලා සහ දෙබොරා ලා අවශ්‍යය.