WFTW Body: 

සිදු වන කිසිම දෙයකට ඔබව අධෛර්‍යමත් කිරීමට ඉඩ නොදෙන්න, මන්ද ඔබ ස්වාමින් වහන්සේව අල්ලාගෙන සිටින්නේ නම්, සෑම තත්වයක්ම - එය කුමක් වුවත්, ජය ගැනීමට උන්වහන්සේ ඔබට උපකාර කරන සේක. සෑම පරීක්‍ෂාවක්ම උන්වහන්සේ විසින් සැලසුම් කර ඇත්තේ ඔබට උන්වහන්සේව වඩා හොඳින් දැන හඳුනා ගැනීමට හැකි වන පිණිසය. නොඇදහිලිවන්තයන් මෙන්ම ලෞකික ඇදහිලිවන්තයන්ද අසාර්ථක වන්නේ මෙහිදීය. දෙවියන් වහන්සේ වෙත හැරෙනවා වෙනුවට, ඔවුන් ලෝකය දෙසට හැරී, ඔවුන්ගේ අසාර්ථකත්වය හෝ විපත්තිය තුළ විවේකය සහ සාමය ලබා ගැනීම සඳහා තහනම් තත්‍ත්වයන් සමඟ අත්හදා බැලීම් කරති.

ආගමික සෙනග ගොඩනගන්නේ රැස්වීම් වලට එකතු වන පිරිස් පමණි. ආත්මික සෙනග ගොඩනගන්නේ ක්‍රිස්තු ශරීරයයි

පරිපූර්ණත්වය අත්කර ගනු ලබන්නේ කිසි විටෙකත් අසාර්ථක නොවන අය නොව, ඔවුන්ගේ අසාර්ථකත්වය ගැන අවංකව සිටින සහ වැටුණු විගසම නැවත නැගිට පැන ඉදිරියට යන අය විසිනි.

‘ආගමික’ වී ‘ආත්මික’ වීමූ යැයි සිතීමේ අනතුරට අපි නිතරම මුහුණ දෙමු. ආගමික පුද්ගලයන් වැඩි සැලකිල්ල යොමු කරන්නේ බාහිර දේ උදෙසාය - ස්වාමීන් වහන්සේ උදෙසා කරන බාහිර පරිත්‍යාගයන්, ඔවුන්ගේ සභාවේ හොඳ තත්වයක් තබා ගැනීම සඳහා ඔවුන් කළ යුතු අවම දේ පිළිබඳ ඔවුන්ගේ අවබෝධය හා සම්බන්ධ බාහිර චාරිත්‍ර, සභාවේ ක්‍රියාකාරකම්වල, ඔවුන්ගේ ඇඳුම් පිළිබඳ බාහිර විස්තරවල, වචනය පිළිබඳ බුද්ධිමය අධ්‍යයනයේ ( ප්‍රායෝගික භාවිතයකින් තොරව), සහ හැඟීම් පුබුදුවන්නාවූ රැස්වීම් වලදී (එවැනි හැඟීම්බර වීම ශුද්ධාත්මයේ බලය පිළිබඳ සාක්‍ෂි ලෙස සිතීම) යනාදිය. මේ කිසිවක් වැරදි හෝ නොවැදගත් දේවල් නොවේ. නමුත් ආගමික පුද්ගලයින්ට මෙම ක්‍රියාකාරකම් ප්‍රමුක වන අතර ඔවුන් මේවා ආත්මිකත්වයේ සලකුණු ලෙස සිතා මුළාවට පත් වේ.

කෙසේ වෙතත්, සැබවින්ම ආත්මික පුද්ගලයන් වැඩි සැලකිල්ල යොමු කරන්නේ, දෙවියන් වහන්සේව වඩා හොඳින් දැන හැඳින ගැනීමේ අවශ්‍ය තාවයට, යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි ජ්වලිතව ප්‍රේම කිරීම තුළ තමන්ව ආරක්‍ෂා කර ගැනීමට, දෙවියන් වහන්සේට අවශ්‍යවන්නේ ඔවුන් කුමක් කිරීමද යන්න සොයා දැන ගැනීමට ("දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කරනවාට වඩා"), ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් පිරීමට, ඔවුන්ගේ ක්‍රියාවන්හි ආත්මාර්ථකාමී චේතනාවන් පවිත්‍ර කර ගැනීමට යනාදී දේ උදෙසාය. ආගමික පුද්ගලයින් ගොඩනගන්නේ රැස්වීම් වලට එකතු වන පිරිස් පමණි. ආත්මික පුද්ගලයින් ගොඩනගන්නේ ක්‍රිස්තු ශරීරයයි.

දෙවියන් වහන්සේ ලෝකය පුරා බලා සිටින්නේ උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් සඳහාය; මදුරුවන් පෙරා ඔටුවන් ගිල දැමූ සහ සමානුපාතික නොවන විකෘති වූ සත්‍යයක්‍ තිබුනාවූ පරිසිවරුන් මෙන් අයව නොවේය. දෙවියන් වහන්සේ තම වචනයේ ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් එනම්, එලියා, යොහාන් බෞතිස්ත සහ පාවුල්, මාටින් ලූතර්, ජෝන් වෙස්ලි සහ එරික් ලිඩෙල් වැනි මිනිසුන්, මිල කුමක් වුවත් ඔවුන් විශ්වාස කළ දේ වෙනුවෙන් පෙනී සිටින අය සොයන සේක. එවැනි ප්‍රතිපත්ති ගරුක මිනිසුන්ගෙන් දෙවියන් වහන්සේ ස්වර්ගය පුරවන්නට යයි. ඔබත් එම සංඛ්‍යාවේ සිටිනු ඇතැයි මම යාඤා කරමි. විද්‍යාලයේදී ස්වාමින් වහන්සේ වෙනුවෙන් පෙනී සිටීමට ඔබට ඕනෑ තරම් අවස්ථාව ලැබෙනු ඇත. සෑම අවස්ථාවකදීම ඔබට එසේ කිරීමට හැකි වේවා.

බොහෝ දේවභක්තික මිනිසුන් බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට සහ පසුගිය ශතවර්‍ෂ තුළ ශුභාරංචියේ නිර්මල පණිවිඩය ආරක්‍ෂා කිරීමට තම ජීවිත පරිත්‍යාග කර ඇත. එහෙත් අවාසනාවකට මෙන් අද බොහෝ ඇදහිලිවන්තයන් තම නිවෙස්වලදී බයිබලය කියවීමට විනාඩි පහක්වත් වැය නොකරන අතර එය අධ්‍යයනය කිරීමට ඊට වඩා අඩු කාලයක් ගත කරති. පසුගිය ශතවර්‍ෂවල බොහෝ දේවභක්තික මිනිසුන්ට අද අපට ඇති තරමට ධර්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබෙන්නට ඇත. නමුත් මේ දිනවල කලාතුරකින් දක්නට ලැබෙන ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි දැඩි භක්තියක් ඔවුන්ට තිබුණි - අවසාන විග්‍රහයේ දී වඩාත්ම වැදගත් වන්නේ එයයි - ධර්මයේ නිවැරදි බව පමණක් නොවේ.

අමතක වීම පාපය තරම් බරපතල කාරණයක් නොවේ. නමුත් එය ජය ගැනීමෙන් ඔබට බොහෝ අපහසුතාවයන්ගෙන් ගැලවිය හැකිය. අපි හැමෝම අමතක වන සුලු වෙමු. මගේ අමතක වීම් මඟහරවා ගැනීම සඳහා මා දැන් කරන්නේ, මා නිතරම සාක්කුවක රැගෙන යන කුඩා පොත් පිංචක, කළ යුතු වැදගත් කරුණු ලියා තැබීමයි. ස්වාමීන් වහන්සේ මට කතා කරන දේ ද මම ලියා තබමි. මම ඒවා ලියා නොගත්තොත්, බොහෝ විට ස්වාමින් වහන්සේ පැවසූ දේ අමතක වන බව මට පෙනේ.

©Zac Poonen – [email protected]