WFTW Body: 

මුදල් පාවිච්චි කිරීම පිළිබඳ කාරණා සම්බන්ධයෙන්, තමන් වහන්සේට සේවය කරන සියල්ලන් සහ සියලුම සභාවන් විසින් අනුගමනය කළ යුතු ආදර්ශයක්, යේසුස් වහන්සේ අපට දී තිබේ.

යේසුස් වහන්සේ අවුරුදු 30 දක්වා, වඩු කාර්මිකයෙකු ලෙස වැඩ කරන විට, අවංකවම, කිසිවෙකුට වංචා නොකර, කිසි විටෙකත් ණය නොවී, උන්වහන්සේගේ ජීවන වියදම උපයා ගත් සේක.

ඉන්පසු උන්වහන්සේ, ඊළඟ අවුරුදු 3½ පුරාම පූර්ණ කාලීන දේවසේවයේ යෙදී සිටිසේක. මෙම කාල පරිච්ඡේදය තුළ, මූල්‍යමය කාරණා සම්බන්ධයෙන් උන්වහන්සේට දැඩි ප්‍රතිපත්ති කිහිපයක් තිබුණි. උන්වහන්සේගේ ප්‍රේරිතයන් එම මූලධර්ම හරියටම හා තදින් අනුගමනය කළෝය. සභාව යනු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය වන අතර එබැවින් එය ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ශරීරය (යේසුස් වහන්සේම) අනුගමනය කළ මූලධර්ම අනුගමනය කළ යුතුය. සියලුම සභාවන් සහ ක්‍රිස්තියානි කටයුතුවල නියැලී සිටින සියල්ලන්ම එම මූලධර්මම අනුගමනය කළ යුතුය.

එම මූලධර්ම මොනවාද?

පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන් , යේසුස් වහන්සේ තම පියාණන්ගේ සේවකයෙකු වූ බැවින්, උන්වහන්සේගේ සියලු භූමික අවශ්‍යතා සපුරාලීමට උන්වහන්සේ තම පියාණන් කෙරෙහි පමණක් විශ්වාසය තැබූසේක - හරියටම සමාගමක සේවය කරන ඕනෑම අයෙකු එම සමාගම තම මූල්‍ය අවශ්‍යතා සපුරාලනු ඇතැයි අපේක්‍ෂා කරන්නාක්සේ. එබැවින් යේසුස් වහන්සේ කිසි විටෙකත් තම පියාණන් හැර වෙනත් කිසිවෙකුට තම මූල්‍ය අවශ්‍යතා ගැන නොපැවසූ සේක. උන්වහන්සේ කිසි විටෙකත් තම දේවසේවය කොතැනකවත් ප්‍රචාරය නොකළ අතර, කිසිවෙකුගේ සහය ලබා ගැනීම සඳහා උන්වහන්සේ කිසි විටෙකත් උන්වහන්සේගේ සේවය පිළිබඳව කිසිදු වාර්තාවක් ලබා නොදුන්සේක. ස්වේච්ඡාවෙන් යේසුස් වහන්සේට දීමනා දීමට දෙවියන් වහන්සේම සමහර අයව කෙලින්ම පොළඹවූ අතර උන්වහන්සේ එවැනි දීමනා පිළිගත්සේක. තමාට ලැබුණු මුදල් තබා ගැනීම සඳහා යේසුස් වහන්සේ භාණ්ඩාගාරිකයෙකු (යූදස්) පත් කළසේක.

ලූක් 8: 2,3 බලන්න. මග්දලේනා නම් මරියා ද, හෙරෝද්ගේ ගබඩාකාර වූ කූසාගේ භාර්‍යාව වූ යොවන්නාද, සුසානාද, සහ වෙනත් බොහෝ අයද, තමුන්ගේ වස්තුවෙන් යේසුස් වහන්සේ හා ගෝලයන් දොළොස් දෙනාට උපස්ථාන කළහ. යේසුස් වහන්සේ ඔවුන්ගේ දීමනා පිළිගත්සේක.

දෙවනුව , තමාට ලැබුණු මුදල් වියදම් කළ ආකාරය ගැන යේසුස් වහන්සේ ඉතා සැලකිලිමත් වූසේක. යොහන් 13:29 යේසුස් වහන්සේ තම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ ඇඟවීමක් කරයි. යේසුස් වහන්සේ එහි සිටි යූදස්ට යම් උපදෙසක් දුන් විට, අනෙක් ප්‍රේරිතයන් සිතුවේයේසුස් වහන්සේ, නිතරම තම මුදල් වියදම් කළ ආකාරයටම එම මුදල් වියදම් කරන ලෙස, උන්වහන්සේ යූදස්ට නියම කළ බවයි. එනම්: (1) අවශ්‍ය දේ මිළට ගැනීම; සහ (2) දුප්පතුන්ට දීමට. අපගේ මුදල් වියදම් කරන ආකාරය ගැන මෙය සැමවිටම අපගේ මාර්ගෝපදේශය විය යුතුය.

ප්‍රේරිතයන් යේසුස් වහන්සේගේ ආදර්ශය හරියටම අනුගමනය කළහ. ඔවුන්ගේ සියලු අවශ්‍යතා සපුරාලීමට ඔවුහු තම ස්වර්ගික පියාණන් කෙරෙහි විශ්වාසය තැබූහ. එබැවින් ඔවුන් කිසිවිටෙකත් ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා හෝ දේවසේවයේ අවශ්‍යතා ගැන වාචිකව හෝ ලිපියක් මගින් කිසිවෙකුට පවසා නැත (මක්නිසාදයත්, ඔවුන්ගේ මුදල් අවශ්‍යතාවය ගැන වක්‍රව ඉඟි කිරීමට එය හේතු වනු ඇත). මුදල් එකතු කරන ලෙස ප්‍රේරිතයන් සභාවලින් ඉල්ලා සිටි සෑම අවස්ථාවකම එය දුප්පත් ඇදහිලිවන්තයන්ට බෙදා හැරීම සඳහා වූවක් මිස වෙන කිසිම කටයුත්තක් සඳහා නොවේ ( 2 කොරි. 8 සහ 9 සහ 1 කොරි .16: 1-3 බලන්න).

සමහර අය 1 තිමෝති 5:17,18 වැරදියට උපුටා දක්වමින් දේවගැතිවරුන්ට හා ක්‍රිස්තියානි සේවකයන්ට හොඳ වැටුපක් ලබා දිය යුතු බව උගන්වති. නමුත් එම පද වලින් ඇත්තවශයෙන්ම පවසන්නේ කුමක්ද?

"යහපත්ලෙස ප්‍රධානකම්කරන වැඩිමහල්ලෝ, ප්‍රධානකොට වචනයෙහිත් ඉගැන්වීමෙහිත් වැඩකරන වැඩිමහල්ලෝ, දෙගුණයක් ගෞරව ලබන්ට වටින්නෝයයි ඒත්තුගනු ලබත්වා. මක්නිසාද: ගවයෙක් ගොයම් පාගන විට උගේ කට නොබඳින්න කියාද වැඩකරන්නාට තමාගේ කුලිය ලැබෙන්ට යුතුය කියාද ලියවිල්ලෙහි කියා තිබේ".

එම පදවල මුදල් ගැන කිසිවක් නොකියයි, ඒවායින් උගන්වන්නේ දේශනා කිරීමට වෙහෙස මහන්සි වී වැඩ කරන වැඩිහිටියන්ට ඔවුන්ගේ රැළෙන් දෙගුණයක් ගෞරව කළ යුතු බවයි. මෙම පදය මුදල් ගැන සඳහන් කරන්නේ නම්, එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේ සභාවලට අණ කළේ ඔවුන්ගේ නායකයින්ට සභාවේ අනෙක් අයට ලැබෙන වැටුප මෙන් දෙගුණයක් ගෙවන ලෙසයි !! එය හාස්‍යජනකය! පාවුල් ඇත්ත වශයෙන්ම මෙහි සිටි ඇදහිලිවන්තයන්ට ඔවුන්ගේ සභාවල වැඩිමහල්ලන්ව අගය කිරීමට හා ගරු කිරීමට උගන්වමින් සිටියේය. ඔහු කීවේ, “ඔබේ ගවයාට කමතේ ඇති ධාන්‍ය ආහාරයට ගැනීමට ඉඩ දෙනවා සේම ඔවුන්ටත් යුතු ගෞරව දෙන්න කියාය.” එබැවින් වැඩිමහල්ලෙකුගේ ප්‍රාථමික වැටුප ඔහුගේ රැළෙන් ලැබෙන ගෞරවය (අගය කිරීම සහ කෘතඥතාව) මිස මුදල් නොවේ .

මෙය 1 තෙසලෝනික 5: 12,13 හි පාවුල්තුමා දුන් අවවාදයට සමානය. “ඔබ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන ඔබේ නායකයන්ට ගෞරව කරන්න… .ඔවුන්ව ඉතා ප්‍රබල ලෙස ප්‍රේමයෙන් යුතුව අගය කරන්න” (පණිවිඩ පරාසය).

කෙසේවෙතත්, 1 කොරින්ති 9: 7-18 හි ක්‍රිස්තියානි සේවකයන්ගේ මූල්‍යමය උපකාරය ගැන පාවුල්තුමා කථා කරන්නේය. කොයිකලකවත් තමාගේම වියදමෙන් හේවාකම්කරන්නේ කවුද? මිදිවත්තක් වවා එහි ඵල නොකන්නේ කවුද? නොහොත් ගව රැළක් පෝෂ්‍යකොට උන්ගේ කිරිවලින් නොකන්නේ කවුද? අපි නුඹලාට ආත්මික දේ වපුළෙමු නම්, නුඹලාගේමාංසික දේ කැපීම මහත් දෙයක්ද?

නමුත් පාවුල්තුමා තවදුරටත් මෙසේ පැවසුවේය. " එසේවී නුමුත් අපි මේ බලය නොපවත්වා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කිසි බාධාවක් නොකරන පිණිස සියල්ල දරාගනිමුව.එසේම ශුභාරංචිය ප්‍රකාශකරන්නන් විසින් ශුභාරංචිය කරණකොටගෙන ජීවිකාව ලබන්ට ස්වාමීන්වහන්සේ නියෝගකළසේක. නුමුත් මා මේ දේවලින් කිසිවක් ව්‍යවහාරකළේ නැත. යමෙකු විසින් මාගේ පාරට්ටුව හිස්කිරීමට වඩා මරණය මට හොඳය. මක්නිසාද මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ. මක්නිසාදමේක මාගේ කැමැත්තෙන්ම කරම් නම්, මට විපාකයක් තිබේ. කැමැත්තක් නැතුව කළත් ගබඩාකාරකමක් මට භාරදී තිබේ. එසේවී නම් මාගේ විපාකය (වැටුප) කිමෙක්ද? විපාකය නම් ශුභාරංචිය දේශනාකරන කල, ශුභාරංචිය දේශනා කරන දේශකයෙකු ලෙස මට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකොටශුභාරංචිය නොමිලයේ පිහිටුවීමය".

ඒ නිසා පාවුල්තුමා කිසි විටෙකත් වැටුපක් හෝ දීමනා බලාපොරොත්තුවෙන් දේශනා කළේ නැත. නමුත් “ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමයෙන් ඔහු බැඳී සිටි නිසා” සහ “දෙවියන් වහන්සේ ශුභාරංචියේ ගබඩාකාරකමක් ඔහුට භාර දී තිබූ නිසාය". ශුභාරංචිය ඇසීම සඳහා දෙවියන් වහන්සේ මිනිසුන්ට මුදල් අය කරන බවක් පෙනෙන්නට නොතිබෙන පරිදි, ශුභාරංචිය කිසිදු චෝදනාවකින් තොරව අන් අයට නොමිලයේ ලබා දීමට ඔහුට අවශ්‍ය විය. එමෙන්ම ඔහුගේ ආදර්ශය අනුගමනය කරන ලෙස ඔහු අන් අයගෙන්ද ඉල්ලා සිටියේය ( 1 කොරින්ති 11: 1 සහ පිලිප්පි 3: 17 බලන්න).

එම නිසා ස්වාමින්ගේ සේවකයෙකුට ඔහුගේ උපකාරය සඳහා දීමනා ලැබිය හැකි බව අළුත් ගිවිසුමේ උගන්වන බව අපට පෙනේ (යේසුස් වහන්සේම කළ පරිදි). නමුත් ඒ සමඟම, අපි මෙයද දකිමු:

(1) කිසිම කිතුනු සේවකයෙකුට මාසික වැටුපක් ලැබුණේ නැත. යේසුස් වහන්සේ කිසි විටෙකත් තම ගෝලයන්ට වැටුපක් පොරොන්දු වූයේද නැත. ප්‍රේරිතයන්ට කිසි දිනෙක වැටුපක් නොලැබුණි. ඔවුන් මූල්‍යමය වශයෙන් උපකාර ලබන පිණිස මිනිසුන්ගේ හදවත් වලට කතා කිරීමට තම ස්වර්ගික පියාණන් කෙරෙහි විශ්වාසය තැබුවෝය (යේසුස් වහන්සේගේ කාලයේදී මෙන්). ඔවුන්ගේ දේවසේවයේ බලය ලැබීමට නම් එවැනි ඇදහිල්ලෙන් යුත් ජීවිතයක් ඔවුන්ට අත්‍යවශ්‍ය විය. එය ඔවුන්ව තණ්හාවෙන්ද ආරක්‍ෂා කළේය.

(2) මෙම උපකාරය දේශනාකරුවන් විසින් අනිසි ලෙස භාවිතා කරනු ලබන බව පාවුල් දුටු අවස්ථාවලදී, ඔහු දේශනා කළ ශුභාරංචියේ සාක්‍ෂිය ආරක්‍ෂා කර ගැනීම සඳහා කිසිවෙකුගෙන් මුදල් නොගෙන තමාම වැඩ කර උපයාගැනීමට තීරණය කළේය. ඔහු 2 කොරි 11: 7-13 (ජීවමාන බයිබල් පරිවර්තනය) හි මෙසේ පවසයි. “මම ඔබෙන් කිසිවක් අය නොකර දෙවියන් වහන්සේගේ ශුභාරංචිය දේශනා කළෙමි. මම ඔබෙන් කිසිවක් ඉල්ලා සිටියේ නැත, මන්ද මැසිඩෝනියාවේ කිතුනුවන් මට තවත් දීමනාවක් ගෙනාවෝය. මම තවමත්, කවදාවත් ඔබෙන් සතයක්වත් ඉල්ලුවේ නැහැ. ඉදිරියේදී ඉල්ලන්ට යන්නෙත් නැහැ. මම ගැන හැමෝටම කියන්නෙමි! මා එසේ කරන්නේ දෙවියන් වහන්සේගේ වැඩ කරන්නේ අප මෙන් යැයි පුරසාරම් දොඩන අයගේ පාද යටින් බිම කපා දැමීමට මට අවශ්‍ය නිසා . දෙවියන් වහන්සේ කිසි විටෙකත් එම මිනිසුන්ව එව්වේ නැත. ඔවුන් “ව්‍යාජ” අය වන අතර ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන් යැයි ඔබ සිතන ලෙසට ඔබව රවටා ඇත. ”

පාවුල්ට ඉඳහිට දීමනා ලැබුණු බව අපට පෙනේ - මැසිඩෝනියාවේ ( පිලිපී) කිතුනුවන් ස්වේච්ඡාවෙන් ඔහුට යම් මුදලක් එවූ විට. නමුත් ඔහු කිසි විටෙකත් කොරින්තියේ කිතුනුවන්ගෙන් මුදල් ලබා ගත්තේ නැත (අප ඉහත දකින පරිදි), මන්ද ඔහු එම ස්ථානයේ සිටි ව්‍යාජ ක්‍රිස්තියානි දේශකයන්ට වඩා වෙනස් බව ඔවුන්ට පෙන්වීමට ඔහුට අවශ්‍ය වූ බැවිනි. පාවුල් කිසි විටෙකත් කිසිවෙකුගෙන් මූල්‍ය ආධාර ඉල්ලා සිටියේ නැත - ඔහු කිසි විටෙකත් ඔහුගේ මූල්‍ය අවශ්‍යතා ගැන ඉඟි කළේවත් නැත.

පාවුල් තෙසලෝනික කිතුනුවන්ගෙන්ද කිසිම මුදලක් ගත්තේ නැත. ඔහු 2 තෙස 3: 8-10: හි පවසන්නේ අපි ඔබෙන් කිසිවෙකුගෙන් ආහාර නොමිලේ ලබා නොගතිමු. අපි ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස, අපට ජීවත් වීමට අවශ්‍ය මුදල් වෙනුවෙන් දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කළෙමු. අපව පෝෂණය කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටීමට අපට අයිතියක් නැති බව නොවේ, නමුත් අපට අවශ්‍ය වූයේ ඔබ ඔබේ ජීවනෝපාය සඳහා වැඩ කළ යුතු ආකාරය ගැන ඔබට ආදර්ශයක්වී පෙන්වීමටයකියාය.

පාවුල් එපීසයේ කිතුනුවන්ගෙන්ද කිසිම මුදලක් ගත්තේ නැත. ඔහු ක්‍රියා 20: 31-35: හි මෙසේ “මේ අවුරුදු තුන පුරාම මම ඔබ සමඟ සිටියත් මම කාගේවත් මුදල් හෝ ඇඳුම් වලට ආශා නොවීමි. මටත් මා සමඟ සිටියවුන්ටත් වුවමනාවූ දේ සපයාගැනීමට මේ අත්වලින් වැඩකළ බව නුඹලාම දන්නහුය. මෙසේ වැඩකරමින් නුඹලා දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී නුඹලාට ආදර්ශයක් වූයෙමියි" කීවේය.

ස්වාමින් වහන්සේගේ සෑම සේවකයෙක්ම පාවුල් තුමා කළාක් මෙන් මුදල් සම්බන්ධයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ ආකල්පය විදහා දැක්වීමට වගබලා ගත යුතුය.

දෙවියන් වහන්සේ විසින් රෝපණය කරන ලද අපගේ සෑම CFC සභාවකම, නායකයින් / වැඩිමහල්ලන් 150 කට වැඩි පිරිසක් ඔවුන්ගේ අවශ්‍යතාවයන් උදෙසා ඔවුන්ම වැඩ කරමින් සපයා ගනිති. ඔවුන්ගෙන් කිසිවෙකුට අප සභාවෙන් වැටුපක් ලැබී නැත. මෙම නව ගිවිසුම් රටාව වසර 45 ක් තිස්සේ (1975 සිට පළමු CFC සභාව ආරම්භ කළ දින සිට මේ දක්වා - 2020 දක්වා) අප වෙනුවෙන් පරිපූර්ණව ක්‍රියාත්මක වී ඇත - ලොව පුරා විශාල නගරවල මෙන්ම ඉන්දියාවේ දුප්පත්ම ගම්මානවල පවා. අපගේ මෙම ස්ථාවරය නිසා ශුද්ධ ලියවිල්ල උපුටා දක්වමින් මිනිසුන්ගේ මුදල් සූරාකන තණ්හාවෙන් යුත් දේශකයන් අප වෙතට රිංගා ගැනීමෙන් අපව බේරී ඇත.

ඉහත දැක්වෙන්නේ ස්වාමින් වහන්සේගේ සියලු සේවකයන් නව ගිවිසුමේ කාලවලදී ගත් ස්ථාවරයයි. නමුත් ක්‍රිස්තියානි ලෝකය සියවස් ගණනාවක් පුරා මෙම ප්‍රමිතියෙන් ඉවතට හැරී ඇත. අද, බොහෝ දේවගැතිවරු සහ දේශකයෝ වැඩි වැඩියෙන් මූල්‍යමය ආධාර අපේක්‍ෂා කරමින් මුදල් ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අනුග්‍රාහකයන්ට සැලෙන ලිපි ලිවීමටත් (බොහෝ විට නැවත උත්පාදනය වූවන් පිළිබඳ ව්‍යාජ සංඛ්‍යාලේඛන සහිතව) පුරුදු වී සිටිති.

ක්‍රිස්තියානි නායකයන් අතර ඇති මුදල් පිළිබඳ මෙම වැරදි ආකල්පය නිසා, දෙවියන් වහන්සේගේ ආලේපය අද බොහෝ ක්‍රිස්තියානි දේවසේවයන් තුළ දක්නට නැති අතර බොහෝ දේශකයන්ගේ දේවසේවයේ ස්වර්ගීක එළිදරව් කිරීමක් නොමැත. කිසිවෙකුට දෙවියන් වහන්සේට හා මුදලට සේවය කළ නොහැක ( ලූක් 16:13 ).

ස්වාමින් වහන්සේ පැවසුවේ මුදල් කාරණා කෙරෙහි විශ්වාසවන්තව සිටින කෙනෙකුට පමණක් සැබෑ ධනය ලබා දෙන බවයි ( ලූක් 16:11 ) - දිව්‍යමය එළිදරව් කිරීමේ ධනය හා ආත්මයාණන්ගේ ආලේප කිරීම.

අප මතක තබා ගත යුතු තවත් වැදගත් මූලධර්මයක් තිබේ: ස්වාමීන් වහන්සේගේ සේවකයෙකු කිසි විටෙකත් නොඇදහිලිවන්තයන්ගෙන් හෝ ඔහුට වඩා දුප්පතුන්ගෙන් දීමනාවක් ලෙස මුදල් ලබා නොගත යුතුය. දුප්පත් පුද්ගලයෙකු විසින් දෙන ඕනෑම දීමනාවක් සැමවිටම සභාවේ මුදල් පෙට්ටියට දැමිය යුතු අතර එය කිසි විටෙකත් තමා වෙනුවෙන් භාවිතා නොකර යුතුය.

CFC බැංගලෝර් හි අපගේ මුදල් දැමීමේ පෙට්ටි මත අප තබා ඇති පිරික්සුම් ලැයිස්තුවක් මෙන්න:

ඔබ ඔබේ මුදල් දැමීමට පෙර, කරුණාකර පරීක්‍ෂා කර බලන්න:

1. ඔබ නැවත උත්පාදනය ලැබූ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද?

2. ඔබගේ පවුලේ අවශ්‍යතා සඳහා ඔබට ප්‍රමාණවත්ලෙස තිබේද?

3. ඔබ ණයෙන් නිදහස්ද (නිවාස ණය හැර)?

4. ඔබ සියලු මිනිසුන් සමඟ සමාදාන වී සිටිනවාද?

5. ඔබ සතුටු සිතින් දෙනවාද?

ඉහත ප්‍රමිතීන් සඳහා ශුද්ධ ලියවිල්ලේ පදනම බැලීමට ඔබට පහත සබැඳිය වෙත යා හැකිය:


http://www.cfcindia.com/our-financial-policy

මෙම ක්ෂේත්‍රය තුළ අපට වඩා වෙනස් දේ කරන වෙනත් සභා හෝ දේශකයන් අපි විනිශ්චය නොකරමු. එය අපව ඵරිසිවරුන් බවට පත් කරයි. නමුත් යේසුස්ගේ ජීවිතයේ සහ ප්‍රේරිතයන්ගේ ජීවිත තුළ අප දකින ප්‍රමිතීන් දැඩි ලෙස ආරක්‍ෂා කිරීමට අපි උත්සාහ කරමු.

ඇසීමට කන් ඇත්තේ අසත්වා.

ආමෙන්