WFTW Body: 

යහපත් හෘදසාක්‍ෂියක් සහ අවංක ඇදහිල්ලක් යනු ඔබේ ජීවිතය නැමැති නෞකාව යා යුතු ආරක්‍ෂිත මූදු මාර්‍ගයේ දෙපැත්ත සලකුණු කරන බෝයාවන් දෙකය. මෙම බෝයාවන්ගෙන් එකක්වත් නොසලකා හරින අය ඔවුන්ගේ ජීවිතය නැමැති නෞකාව මූදුබත් කර ගනිති ( 1 තිමෝ.1:19, 20 ).

එබැවින් ඔබේ හෘදසාක්‍ෂියේ සංවේදීතාව සෑම විටම ආරක්‍ෂා කර ගැනීමට වග බලා ගන්න. ඔබේ හෘදසාක්‍ෂිය කැළඹෙන සෑම අවස්ථාවකම, ඔබ ආරක්‍ෂිත ප්‍රවාහයෙන් ඉවත් වී අනතුරුදායක මුහුදේ සිටින බව ඔබට සහතික විය හැකිය. හෘදසාක්‍ෂියේ අනතුරු ඇඟවීමේ සීනුව නොසලකා හරිමින් ඔබ දිගටම ඒ ආකාරයෙන් ගියහොත්, ඔබේ ජීවිතය නමැති නෞකාව මුහුදුබත් වීමේ විශාල අනතුරක් ඔබට සිදුවනු ඇත. ඒ නිසා මේ කාරණයේ දී ඉතා පරෙස්සම් වන්න.

ඇදහිල්ල යනු ආරක්‍ෂිත මූදු මාර්‍ගය පෙන්වන අනෙක් බෝයාවයි. ඇදහිල්ල යනු දෙවියන්වහන්සේගේ නොවෙනස්වන ප්‍රේමය, උන්වහන්සේගේ සර්වබලධාරී බලය සහ උන්වහන්සේගේ පරිපුර්ණ ප්‍රඥාව කෙරෙහි පරම විශ්වාසය තුලින් අපගේ පෞරුෂය දෙවියන්වහන්සේ කෙරෙහි මුළුමනින්ම නැඹුරු වීමයි.

දෙවියන්වහන්සේගේ වෙනස් නොවන ප්‍රේමය උන්වහන්සේ අපගේ ජීවිතය උදෙසා ඉඩ හරින සෑම දෙයක්ම තීරණය කරයි. ප්‍රතික්‍ෂේප කරන ලද යාඥා ඉල්ලීම් පවා එම පරිපූර්ණ දිව්‍ය ප්‍රේමය විසින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.

දෙවියන්වහන්සේගේ සර්වබලධාරී බලය අපට ඉසිලිය නොහැකි පරීක්‍ෂාවක් කිසිදා අප වෙත පැමිණීමෙන් වලක්වනු ඇත ( 1 කොරි. 10:13 ); තවද එය අප වෙත පැමිණෙන සෑම පරීක්‍ෂාවකින්ම ජය ගැනීමට අපට උපකාර වනු ඇත ( හෙබ්‍රෙව් 4:16 ); තවද එය අප හට පැමිණෙන සෑම දෙයක්ම අපගේ උපරිම යහපත සඳහා ක්‍රියා කරයි ( රෝම 8:28 ).

දෙවියන්වහන්සේගේ පරිපූර්ණ ප්‍රඥාව උන්වහන්සේ අපගේ ජීවිතයට සිදුවීමට ඉඩ හරින කිසිම දෙයකදී කිසි අත්වැරදීමක් නොකරන සේක - තවද අපගේ සදාකාලික යහපත සඳහා වන්නේ කුමක්දැයි උන්වහන්සේ පමණක්ම දන්නාසේක.

දෙවියන් වහන්සේගේ මෙම ගුණාංග තුන කෙරෙහි ඔබේ සම්පූර්ණ විශ්වාසය කිසි විටෙකත් නැති කර නොගත යුතුය. ඇදහිල්ලෙන් ජීවත් වෙනවා යන්නෙන් අදහස් වන්නේ මෙයයි. අවාසනාවකට මෙන්, "ඇදහිල්ලෙන් ජීවත් වීම" යන වාක්‍ය ඛණ්ඩය පූර්ණ කාලීන දේව සේවකයන් විසින් "ඔවුන්ගේ අවශ්‍යතා සඳහා මුදල් සපයන දෙවියන් වහන්සේ වෙත යොමු වීම" යන්නට වෙනස් කර ඇත. නමුත් එය වචන වැරදිව භාවිතා කිරීමකි. බයිබලය පවසන්නේ "සියලු ධර්මිෂ්ඨයන් ඇදහිල්ලෙන් ජීවත් වන්නේය" ( රෝම 1:17) කියාය. බයිබලයේ සෑම විටම භාවිතා කරන ආකාරයටම අපි බයිබල් වචන භාවිතා කළ යුතුයි.

ඇදහිල්ල සහ යහපත් හෘදසාක්‍ෂිය පිළිබඳ කාරණාවලදී අප නොසැලකිලිමත් වන්නේනම්, අපට ක්‍රමක්‍රමයෙන් නපුරු හදවතක් (නරක හෘදසාක්‍ෂියක්) සහ නොඇදහිලිකාර හදවතක් (ඇදහිල්ල නැති වූ එකක්) වර්ධනය විය හැකිය. මේවාට පුළුවන් අපිව දෙවියන්ගෙන් ඈත් කරන්නට ( හෙබ්‍රෙව් 3:12 ).

එවැනි වැටීයාමකින් අපව ආරක්‍ෂා කර ගැනීම සඳහා, සෑම දිනකම එකිනෙකාට අනුශාසනා කිරීමට සහ දිරිගැන්වීමට අපහට කියනු ලැබේ (ඊළඟ පදය, හෙබ්‍රෙව් 3:13 බලන්න). එමනිසා, සෑම දිනකම ශුද්ධ ලියවිල්ලෙන් යම් අනුශාසනාවකට සවන් දීම ඔබට හොඳය - ශුද්ධ ලියවිල්ල කියවීමෙන් සහ මෙනෙහි කිරීමෙන්, හෝ හොඳ ක්‍රිස්තියානි පොත් කියවීමෙන් හෝ සභා රැස්වීම්වලදී සහ යූටියුබ් නාලිකා වලින් හොඳ පණිවිඩවලට සවන් දීමෙන්.