WFTW Body: 

යේසුස් වහන්සේගේ අවබෝධය තුළ, සියලු ආඥාවලට සමාන වැදගත්කමක් නොතිබුණි. ප්‍රමුඛථා අනුපිළිවෙලක් තිබුණි. සමහර දේවල් අනෙක් ඒවාට වඩා වැදගත් විය. ලෙවී කථාව 11 හි, ඔවුන් විසින් අනුභව නොකළ යුතු ඇතැම් ආහාර වර්ග තිබුණද, ඒවා මිනී නොමැරීම සහ අනාචාරය නොකිරීම තරම් වැදගත් නොවන ඇතැම් විධාන තිබුණි. නමුත් ඒවාද ආඥාවන් වූ අතර, දානියෙල්ව දෙවියන් වහන්සේ විසින් පිළිගත් මිනිසෙකු බවට පත් කළේ එයයි, මන්ද ඔහු පැරණි ගිවිසුමේ එම කුඩා ආඥාවන් පැවැත්වීමට තීරණය කළ බැවිනි.


“නව ගිවිසුමේ ඇති කුඩාම ආඥාවන් කෙරෙහි ඔබේ ආකල්පය පෙන්වන්නේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ රාජ්‍යයේ කොතැනක සිටින්නේ ද යන්නයි”

දානියෙල් 1: 8 හි, “දානියෙල් තමන්ව රජුගේ ප්‍රියතම ආහාර වලින් අපවිත්‍ර නොකරගන්නා බවට සිතා ගත්තේය.” සමහර විට එම මේසය මත ලෙවී කථාව 11 හි දෙවියන් වහන්සේ තහනම් කර තිබූ ඌරු මස් හෝ යම් වර්ගයක පක්ෂියෙකු හෝ තිබෙන්නට ඇත. දෙවියන් වහන්සේ එම දේවල් තහනම් කිරීමට හේතු පිළිබඳව සම්පූර්ණ පැහැදිළි කිරීමක් කිරීමට දානියෙල්ට නොහැකි වන්නට ඇත, නමුත් ඔහු තීරණය කළේ, " එය මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ කොටසක් නම්, එය දස පණතේ කොටසක් නොවුනත්, මම එය රකිමි." ඔහු තමන්ව අපවිත්‍ර කරනොගත් නිසා දෙවියන් වහන්සේ ඔහුට ගෞරව කර බැබිලෝනියේ බලවත් සාක්ෂිකරුවෙකු කළ බව ලියා ඇත. දෙවියන් වහන්සේ දානියෙල් තුළ දුටුවේ, උන්වහන්සේගේ සියලු ආඥා පිළිපැදීමට කැමැත්තෙන් සිටි මිනිසෙකු ලෙසයි. යුග ගණනාවක් පුරාවටම එය එසේවී ඇත. දෙවියන් වහන්සේ සැමවිටම සෙවුවේ උන්වහන්සේගේ ආඥා පිළිපදින අය සහ යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ල කරන අය වන අතර ඔවුන් කැමති ආඥා තෝරා බේරා ගන්නා අය නොවේ ය. මතෙව් 5: 19 හි යේසුස් වහන්සේ පැවසුවේ, "යමෙකු මෙම ආඥාවලින් කුඩාම ආඥාවක් අවලංගු කර, අන් අයටත් එයම කිරීමට උගන්වන්නේ නම්, ඔහු ස්වර්ග රාජ්‍යයෙහි අවමයා වශයෙන් හඳුන්වනු ලබන්නේ ය." යනුවෙනි. යේසුස් වහන්සේ ඔහු අපායට යන බව නොකියයි, නමුත් ස්වර්ගයේ පිළිගැනීම සහ වටිනාකම් අනුව ඔහු අවම තැනැත්තා වනු ඇත. පොළොවෙහි අවමයා වශයෙන් සිටීම කිසිසේත්ම වැදගත් නොවේ. එය ගැටළුවක් නොවේ. නමුත් ස්වර්ග රාජ්‍යයේ අවමයා වශයෙන් සිටීම යනු සර්වබලධාරී දෙවියන් වහන්සේ ඔබ ගැන එතරම් සිතන්නේ නැති බවයි. මට ඒ කාණ්ඩයේ සිටීමට අවශ්‍ය නැත! ලෝකය මා ගැන එතරම් නොසිතුවත් මට කමක් නැත, නමුත් දෙවියන් වහන්සේ අනිවාර‍්‍යයෙන්ම මා ගැන බොහෝ සෙයින් සිතීම මට අවශ්‍යය.

 යොහාන් බෞතීස්ත ගැන කියා තිබූ පරිදි, ගාබ්‍රියෙල් දේවදූතයා ඔහුගේ පියා වූ සෙකරියාට “ඔබේ පුත් යොහාන් ස්වාමින් වහන්සේ ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ වනු ඇත” කියා පැවසුවේය. ස්වාමින් වහන්සේ ඉදිරියෙහි ශ්‍රේෂ්ඨ වීම සැබවින්ම ආශා කළ යුතු දෙයකි. ස්වාමින් වහන්සේ ඉදිරියෙහි අවමයා වීමට මා කැමති නැති අතර, උන්වහන්සේ එතරම් නොසිතන කෙනාවීමට මා කැමති නොවෙමි. එහෙත් මෙහි සඳහන් වන්නේ ස්වර්ග රාජ්‍යයේ අවමයා ලෙස සැළකෙන පිරිසක් සිටින්ට යන බවත් එසේ වන්නේ ඔවුන් ප්‍රධාන ආඥා නොපැවැත්වූ නිසා නොව, නමුත් සුළු ආඥා නොසළකා හැරිය නිසා බවයි.

අදටත් බොහෝ කිතුණුවන් අතර එම ආකල්පය මම දකිමි. ඔවුන් පවසන්නේ ඔවුන් නව ගිවිසුමේ කිතුණුවන් බවයි, නමුත් ඔවුන් නව ගිවිසුමේ සමහර සුළු ආඥාවන් නොසලකා හරින අතර, "එය වැදගත් නැත, ඔබ එයට කීකරු විය යුතු නැතයි" පවසයි. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ල මම ප්‍රශ්ණ නොකරමි. මා ඉන්නේ ඔවුන් ස්වර්ගයට යනවාද අපායට යනවාද යන්න විනිශ්චය කිරීමට නොවේ. එය මාගේ කැඳවීම නොවෙයි. දෙවියන් වහන්සේ එහි විනිශ්චයකරු වේ, නමුත් මම නිසැකවම විශ්වාස කරන්නේ යේසුස් වහන්සේ පැවසූ දේ, යමෙකු යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ලෙන් (සහ යේසුස් වහන්සේ පසුව උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් තුළින් අපෝස්තුළුවරුන් හරහා, ලිපිවල ඉගැන්වූ සියල්ලෙන්) යමක් අවලංගු කළහොත් ඔහුව එසේ සළකා ස්වර්ග රාජ්‍යයේ කුඩාම තැනැත්තා යයි කියනු ලැබේ. ඊට වෙනස්ව, ස්වර්ග රාජ්‍යයේ ශ්‍රේෂ්ඨ වීමට යන්නේ කවුද? අඩුම ආඥාව රකින සහ අවම ආඥාව රකින ලෙස මිනිසුන්ට උගන්වන තැනැත්තාය. මතෙව් 5: 19 එය මෙයට වඩා පැහැදිළි විය නොහැක. එය ඉතාමත් පැහැදිළිය.

නව ගිවිසුමේ ඇති කුඩාම ආඥාවන් කෙරෙහි ඔබේ ආකල්පය පෙන්වන්නේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියෙහි උන්වහන්සේගේ රාජ්‍යයේ කොතැනක සිටින්නේ ද යන්නයි. “ඔබ මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා පවත්වන්න” කියා යේසුස් වහන්සේ පැවසූසේක. අපගේ ප්‍රේමයේ සංකේතය එයයි. කිසිවෙකුට "මම යේසුස් වහන්සේට ප්‍රේම කරනවා" යැයි පවසා උන්වහන්සේගේ ආඥා නොසළකා හැරීමට නොහැක. ඔබ යේසුස් වහන්සේගේ අවම ආඥා නොසළකා හරින තරමේ මිම්මට, ඔබ උන්වහන්සේට ප්‍රේම නොකරයි. සමහර විට ඔබ ප්‍රධාන ඒවා පවත්වනවා විය හැක, නමුත් දේවරාජ්‍යයේ ඔබගේ තත්වය තීරණය කරන්නේ ඒවායින් කුඩාම ඒවාට ඔබ දක්වන ආකල්පයයි.