WFTW Body: 

ඔබ සැමගේ සහෝදරයාද, යේසුස්වහන්සේ තුළ පීඩා විදීමෙහිත් රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනයද යේසුස්වහන්සේගේ සාක්‍ෂියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. මම ස්වාමීන්වහන්සේගේ දවසේදී ආත්මයාණන්වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි ( එළිදරව්ව1:9,10,11).

යොහන් තමා ගැන සඳහන් කරන්නේ “යේසුස් වහන්සේ තුළ ඇති පීඩාවෙහි හවුල් පංගුකරුවෙකු” ලෙසයි. මුළු හදවතින්ම යේසුස් වහන්සේගේ ගෝලයෙක්ව සිටින සෑම දෙනාම මෙලොව සිටින තාක් කල් “යේසුස් වහන්සේ තුළ ඇති පීඩා” වලට හවුල් වීමට සූදානම් විය යුතුය. සැපපහසු ජීවිතයක් ගත කරමින් සිටියදී යොහාන් මෙම එළිදරව්ව ලබා ගත්තේ නැත. මන්ද ඔහු “දෙවියන් වහන්සේගේ වචනයට සහ යේසුස් වහන්සේගේ සාක්‍ෂියට” විශ්වාසවන්තව සිටි නිසා පත්මෝස් දූපතෙහි පීඩා අත්විඳින අතරතුර ඔහුට එය ලැබුණි, (9 පදය). අන්තිම දවස්වල සාන්තුවරයන් අන්ත ක්‍රිස්තුස්ගෙන් අත්විඳින්නට යන්නාවූ මහත් පීඩාවක් ගැන ලිවීමට පෙර ඔහුටම පීඩා අත්විඳීමට යුතු විය. පීඩා වලට මුහුණ දෙන අන්‍යයන් උදෙසා දේවසේවයක් දීමට පෙර දෙවියන් වහන්සේ අපව පීඩා හා පීඩා මැදින් ගෙන යන සේක. පාවුල් තුමා මෙසේ කීය. අපගේ සෑම පීඩාවල දී දෙවියන් වහන්සේ අපව ධෛර්‍යමත් කරන සේක. එසේ කරන්නේ උන්වහන්සේගෙන් අප ලබන ධෛර්‍යය කරණකොටගෙන සියලු ආකාර පීඩා විඳින අන්අයවද එලෙස ධෛර්‍යමත් කිරීමට අපට ද හැකිවන පිණිසය" [2 කොරින්ති 1:4 - විස්තාරණය(Amplified Bible)].

එමනිසා, මහත් පීඩාවට පෙර, යේසුස් වහන්සේ රහසින් පැමිණ උන්වහන්සේගේ සභාව ලෝකයෙන් පිටතට ඔසවා ගන්නා බවට වූ ඉගැන්වීම, කිතුනුවන් සැපපහසු ජීවිතයක් ගත කළ රටක (එංගලන්තයේ) ඔවුන්ගේ ඇදහිල්ල වෙනුවෙන් කිසිඳු හිංසනයකට මුහුණ නොදෙන අවස්ථාවක දී (19 වන සියවසේ මැද භාගයේදී) පළමු වතාවට මතු වීම පුදුමයක් නොවේ. කිතුනුවන්ට කිසිසේත් හිංසා පීඩා නොකරන රටවල සහ සැනසිල්ලෙන් ජීවත්වන කිතුනුවන් විසින් අද දින මෙම ධර්මය අඛණ්ඩව ප්‍රකාශයට පත් කරනු ලැබේ. බොහෝ කිතුනුවන්ගේ යාච්ඤාවන් මූලික වශයෙන් මෙම පිළිවෙතට අනුව: “ස්වාමීනි මගේ ජීවිතය පොළොව මත වඩාත් සුවපහසු කරන්න” නිසා, සභාව පූර්ව පීඩා ඔසවා ගැනීම පිළිබඳ මෙම ඉගැන්වීම ඔවුන් සතුටින් භාර ගැනීම පුදුමයක් නොවේ. මේ අනුව, කිතුනුවන් බහුතරයකට ව්‍යාජ සැනසීමක් ලබා දීමට සාතන් සමත් වී ඇත. එවිට ඔවුන්ට මහත් පීඩාවක් එල්ල වන විට ඔවුන් සූදානම්ව නොසිටිනු ඇත.

යේසුස් වහන්සේගේ වදන් ඉතා පැහැදිලිය "ලෝකයෙහි ඔබ සැමට පීඩා තිබේ. නුමුත් ධෛර්‍යවත්වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි" ( ශු:යොහාන් 16:33). යේසුස් වහන්සේ කීසේක. ඒවා කුඩා පීඩා හෝ මහත් ඒවා වුනත් - අප පීඩා වලින් ගැලවෙනු ඇතැයි උන්වහන්සේ කිසිසේත් නොපැවසූ සේක. නමුත් උන්වහන්සේ ජයගත් සේම අපටද ජයගත හැකිබව එකහෙලා කීසේක. පීඩා වලින් අපව ගලවා ගැනීමට වඩා උන්වහන්සේ අපව ජය ගන්නන් බවට පත් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි මක්නිසාදයත් උන්වහන්සේ අපගේ සැනසීමට වඩා අපගේ චරිතය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බැවිනි. සමහරුන් උගන්වන පරිදි, මහත් පීඩාවෙන් බේරීම විශ්වාසවන්තකමේ විපාකයක් යැයි යේසුස් වහන්සේ කවදාවත් කීවේ නැත. එසේම ඊට පටහැනිව උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අනුගමනය කිරීම පිණිස සියල්ල අත්හැරී අයට උන්වහන්සේව අනුගමනය නොකළාවූ අයට වඩා පීඩා ඇති බවයි( ශු: මාර්ක් 10:30). උන්වහන්සේගේ ගෝලයන් ගැන උන්වහන්සේ පියාණන්ට යාඤා කළ මොහොතේ"ලෝකයෙන් ඔවුන් අහක් කරන පිණිස නොව, නමුත් නපුරෙන් ඔවුන් ආරක්‍ෂා කරන පිණිස යාඤා කරමි" යි පැවසූ සේක ( ශු: යොහාන් 17:15). මක්නිසාද උන්වහන්සේගේ ගෝලයන් පීඩාවට මුහුණ දීමට යාමේ හේතුවෙන් එම වේලාවේදී ඔවුන්ව පොළොවෙන් ඔසවා ගැණීම උන්වහන්සේට අවශ්‍ය නොවුණි.

3 වන ශතවර්‍ෂයේදී කිතුනුවන් රෝම රංග භූමීන් තුළ සිංහයන් වෙතට ඇද දමා රෝම අධිරාජ්‍යයේ විවිධ ප්‍රදේශවල කණුවක පුළුස්සා දමනු ලැබූ විට, ස්වාමීන් වහන්සේ එවැනි පීඩා වලින් ඔවුන්ව ගලවා ගත්තේ නැත. දානියෙල්ගේ දවස් වලදී ගිනි උදුනේ බලය ඉවත් කළ සහ සිංහයින්ගේ මුඛයන් වැසූ දෙවියන්වහන්සේ යේසුස්වහන්සේගේ මෙම ගෝලයන් උදෙසා එවැනි ප්‍රාතිහාර්‍යය නොකළ සේක, මන්ද මෙම අය මරණයෙන් පවා දෙවියන්වහන්සේව ගෞරවයට පත් කරන්නට යන්නාවු අලුත් ගිවිසුම් ක්‍රිස්තියාණින් වූහ. ඔවුන්ගේ ස්වාමියා වන යේසුස් වහන්සේ මෙන්ම ඔවුන්ද දේවදූතයන් ලෙගියොන දොලොසක් පැමිණ ඔවුන්ගේ සතුරන්ගෙන් ඔවුන්ව ආරක්‍ෂා කරනු ඇතැයි අපේක්‍ෂා කළේවත් නැත. දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට තම පුත්‍රයාගේ මනාලිය සිංහයන් විසින් කෑලිවලට ඉරා දමා අළු වනතුරු පුළුස්සා දමනු දුටුසේක. ඔවුන්ගේ සාක්‍ෂියෙන් උන්වහන්සේ මහිමයට පත් වූ සේක. - මක්නිසාද "ඔව්හු බැටළුපැටවාණන් වහන්සේ ගිය සෑම තැනකදීම - දරුණු ශාරීරික මරණයක් දක්වා - උන්වහන්සේව අනුගමණය කර තිබුණි" ( එළි 14: 4). ස්වාමින්වහන්සේ ඔවුනට කතා කළාවූ එකම වචනය නම් "මරණය දක්වා විශ්වාසවන්තව සිටපන්න, මම නුඹලාට ජීවනයේ ඔටුන්නක් දෙමි" ( එළි 2:10). අද පවා, යේසුස්වහන්සේගේ ගෝලයින් උන්වහන්සේගේ නාමය නිසා බොහෝ දේශයන් වල හිංසාවට පත්කොට වදබන්‍ධනයන්ට ලක්කරන විට ස්වාමින්වහන්සේ ඔවුන්ව ලෝකයෙන් ඉවතට ගෙන නොයයි. එබැවින් උන්වහන්සේ අපවද මහා පීඩා කාලයට පෙර ස්වර්ගයට ඔසවන්නේ නැත. උන්වහන්සේ ඊට වඩා හොඳ දෙයක් කරන සේක. මහා පීඩා කාළය මධ්‍යයේ උන්වහන්සේ අපව ජයගන්නන් බවට පත්කරනු ඇත.

පීඩා වලින් අපව ගලවා ගැනීමට වඩා යේසුස්වහන්සේ අපව නපුරෙන් ගලවා ගැනීමට උනන්දුවන සේක. උන්වහන්සේ අපට පීඩා මැද ගමන් කිරීමට ඉඩහරිනු ඇත. මක්නිසාද එය අප ආත්මිකව වර්ධනය කිරීමට ඇති එකම මාර්ගය බව උන්වහන්සේ දන්නා සේක.

මෙවැනි පණිවුඩයක්, වසර ගණනක් පුරාවට සෑම ඉරු දිනකම කන් පිනවන දේශකයන් වෙතින් තම පල්ලියේ ආසනමත නැලවුනු, පහසුවට ප්‍රිය කරන කිතුනු ප්‍රජාවට, ඇත්තෙන්ම අමුතු ඉගැන්වීමකි. නමුත් අපෝස්තුළුවරු ආදි සභාවට දේශනා කල පණිවිඩය මෙයයි. "ඔවුන්( පාවුළු සහ බර්නබස් යන අපෝස්තුළු වරුන්) අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑයයි කියා ගෝලයන්ගේ සිත් සවිකොට, ඇදහිල්ලේ පවතින්ට ඔවුන්ට අවවාදකළෝය. ( ක්‍රියා 14:22).

දැන් නිවසේ සහ වැඩපලේ අප මුහුණ දෙන කුඩා පරික්‍ෂා යනු ඉදිරි කාලයේ එන්නට යන්නාවූ මහා පීඩාවන් වලට සූදානම් වීමක් වේ. අප දැන් විශ්වාසවන්තව සිටීම අත්‍යාවශ්‍යය වන්නේ එනිසාය. මන්ද දෙවියන්වහන්සේ පවසනුයේ, "පයින් යන්නන් සමග නුඹ දුවන විට ඔවූහු නුඹ වෙහෙසවූවෝ නම්, නුඹ අශ්වයන් සමග දුවන්නේ කොහොමද? ( යෙරමියා 12:5). එළි 1:9,10 හි යොහාන් තමන්ගැන පවසන්නේ "යේසුස්වහන්සේ තුළ පීඩාවිඳීමේදී හවුල් කරුවෙකු"ලෙසය. යේසුස්වහන්සේගේ සෑම පූර්‍ණ හදැති ගෝලයෙකුම තමන් මේ ලෝකයේ සිටින තුරු "යේසුස්වහන්සේ තුළ තිබෙන පීඩාවට" පංගුකාරයන් වීමට සූදානම් විය යුතුය. මෙම එළිදරව්ව යොහාන් පහසුවෙන් සිටි කාලයේදී නොලැබුවේය. ඔහු එය ලැබූවේ පත්මෝස් දූපතේ පීඩාව තුල සිටියදීය, මක්නිසාද ඔහු "දෙවියන්වහන්සේගේ වචනයටත් යේසුස්වහන්සේගේ සාක්‍ෂියටත්" කීකරුව සිට ඇත ( එළි.1:9). ශුද්ධවන්තයන් අන්තිම කාලයේදී අන්ත ක්‍රිස්තුගෙන් මහත් පීඩා විඳීම ගැන ඔවුනට ලියන්නට පෙර ඔහුට තමන් විසින්ම පීඩාව අත්දැකිය යුතුව තිබුණි. පීඩා විඳින අනෙක් අය උදෙසා අපට සේවයක් දීමට පෙර දෙවියන්වහන්සේ අපව පරීක්‍ෂා සහ පීඩා තුලින් ගෙන යනු ලබයි. නොපසුබට උත්සාහය යනු අළුත් ගිවිසුම පුරාම අවධාරණය කෙරෙන විශිෂ්ට ගුණාංගයකි. "ඔවුන් ඔබව පීඩාවට පත් කරනු ඇත. නමුත් අවසානය තෙක් ඉවසන්නාම ගැලවෙනු ඇත" කියා යේසුස්වහන්සේම පැවසූ සේක ( ශු.මතෙව්24:13).