WFTW Body: 

යෝබ්ගේ කථාවේදී, දෙවියන් වහන්සේ ඔහුගේ දේපළ, ඔහුගේ දරුවන් සහ ඔහුගේ ශරීර සෞඛ්‍යය නැතිවී යාමට ඉඩ හැරීම තුළින් ඔහුව ඉතාම පහත මට්ටමකට ගෙන ආ ආකාරය අපට පෙණේ. එක් අතකින් ඔහුට ඔහුගේ බිරිඳ (නිතරම ඔහුව විවේචනය කළ) සහ ඔහුගේ හොඳ මිතුරන් තිදෙනා (ඔහුව වරදවා වටහාගෙන ඔහුව විවේචනය කළ) පවා අහිමි විය. ඔහුගේ මිතුරන්, "ඔහු බිම වැටී සිටියදී පවා පයින් ගැසීමෙන්" සතුට ලබන්නාවූ තම-ධර්මිෂ්ඨකමේ දේශකයන් බවට පත්වූවන්‍ ය. දෙවියන් වහන්සේම උන්වහන්සේගේ අනුකම්පාවෙන් එය නවත්වන තුරු ඔවුන් ඔහුට "පයින්" දිගටම පහර දීගෙන ගියහ. මේ සියලු බලපෑම් මධ්‍යයේ යෝබ් නැවත නැවතත් තමාව සාධාරණීකරණය කළේය. ස්වාමීන් වහන්සේ අවසානයේ ඔහුට කථා කළ විට, යෝබ් ඔහුගේ තම-ධර්මිෂ්ඨකමේ දුෂ්ඨකම දුටුවේය - එවිට ඔහු පසුතැවිලි විය. ඔහු ධර්මිෂ්ඨ මිනිසෙක් ව සිටියේ ය. එය යහපත් වුවත්, තම-ධර්මිෂ්ඨකම ගැන උඬඟු වීම අහිතකරය. නමුත් දෙවියන් වහන්සේ ඔහු සමඟ කටයුතු කළ පසු ඔහු කැඬුණු බිඳුණු මිනිසෙක් විය. එතැන් සිට ඔහු දෙවියන් වහන්සේ ගේ මහිමය පමණක් සෙවුවේ ය. මෙසේ යෝබ් සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ අරමුණ ඉටු විය.

 

“මේ ලෝකයෙන් අපට ප්‍රධානය කරන සියල්ල කෙරෙහි ඇති ආශාවෙන් මිදීමට, එක් වතාවක් ස්වාමීන් වහන්සේගේ මුහුණ දර්ශනය වීම සෑහේ”.

 

යෝබ් බිඳුණු මිනිසෙකු වූ විට, ඔහු දෙවියන් වහන්සේට පැවසූ දේ සැළකිල්ලට ගන්න: "මෙතෙක් මම ඔබ ගැන අසා තිබුණේ මේ සියලු දේශකයන්ගෙන් පමණි. නමුත් දැන් මම ඔබවහන්සේව මුහුණට මුහුණ දකිමි" (යෝබ් 42: 5). ඔහු දෙවියන් වහන්සේගේ මුහුණ දුටු අතර ඔහුගේ ජීවිතය ආරක්‍ෂා විය. එහි ප්‍රතිඵළය වූයේ කුමක්ද? ඔහු දූවිලි හා අළුවල පසුතැවිලි විය (යෝබ් 42: 6). එම දේශකයන් සතරදෙනාට දින ගණනාවක් දේශනා කිරීමෙන් පසු ඉටු කිරීමට නොහැකි වූ දේ, දෙවියන් වහන්සේ යෝබ් තුළ මොහොතකින්, උන්වහන්සේගේ කරුණාව හෙළිදරව් කිරීම තුළින් ඉටු කළේය. යෝබ්ව කඬළා බිඳළා පසුතැවිලි වීමට මඟ පෑදුවේ දෙවියන් වහන්සේගේ කරුණාවයි.

අපි බොහෝ දෙනෙක් දෙවියන් වහන්සේ ගැන අහන්නේ රැස්වීම්වලදී දේශකයන් තුළිනි. අපට අවශ්‍ය වන්නේ අප කෙරෙහි උන්වහන්සේගේ කරුණාව දැක එයින් කැඬී බිඳී යන පිණිස, දෙවියන් වහන්සේ සමඟ මුහුණට මුහුණලා හමුවීමයි. පේදුරුටද සිදුවුයේ එයමය. පේදුරු ස්වාමීන් වහන්සේව ප්‍රතික්‍ෂේප කර කුකුළා දෙවරක් හැඬළූ පසු ඊළඟට සිදු වූ දෙය ඔබට මතකද? ඔහු ස්වාමීන් වහන්සේගේ මුහුණ දුටුවේය. පේදුරුටත් ඔහුගේ පෙනියෙල් අත්දැකීම අත්දැකිය හැකි විය! "ස්වාමීන් වහන්සේ හැරී පේදුරු දෙස බැලූ" බව අපි කියවන්නෙමු (ලූක් 22: 61). එහි ප්‍රතිඵළය වූයේ කුමක්ද: "පේදුරු පිටතට ගොස් දැඩි ලෙස හඬා වැළපීම යි" (62 පදය). යේසුස් වහන්සේගේ කරුණාවේ සහ සමාව දීමේ එම බැල්ම එම රළු ධීවරයාගේ හදවත බිඳ දැමීය. පැරණි ගිවිසුම යටතේ, දෙවියන් වහන්සේ ඉශ්‍රායෙල් සෙනඟට සුවය, ධනය සහ බොහෝ ද්‍රව්‍යමය ආශීර්වාද පොරොන්දු වී තිබූසේක. නමුත් ඒ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වූ එක් ආශීර්වාදයක් තිබුණි - එය ගණන් කථාව 6: 22 සිට 26 දක්වා විස්තර කර ඇත. මිනිසුන්ට මෙසේ ආශීර්වාද කරන ලෙස ආරොන්ට අණ කළ බව එහි අප කියවන්නෙමු : "ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරන සේක්වා. ස්වාමීන් වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා".

ස්වාමීන් වහන්සේ සමඟ මුහුණට මුහුණ හමුවීමක් - ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි සියල්ලටම වඩා උතුම්ම ආශීර්වාදය සොයනවා වෙනුවට අද බොහෝ ඇදහිළිවන්තයන් සුවය සහ ධනය යන බාල ආශිර්වාද (නොඇදහිළිවන්තයන් ද යාච්ඤාවකින් තොරව ඒවා ලබා ගනී) සහ චිත්තවේගීය අත්දැකීම් (බොහෝ ඒවා ව්‍යාජ ය) සඳහා සොයමින් සිටීම කණගාටුවට කරුණක් නොවේද? අපි කිසිදා ධනවත් නොවුණත්, කිසිදා සුවයක් නොලැබුණත්, අපි ස්වාමින් වහන්සේගේ මුහුණ දුටුවහොත්, එය අපගේ සියලු අවශ්‍යථා සපුරාලනු ඇත.

යෝබ් දෙවියන් වහන්සේව මුණගැසෙන විට ඔහුගේ ශරීරය පුරා බිබිලි දමා තිබුණු නමුත් ඔහු දෙවියන් වහන්සේගෙන් සුවය ඉල්ලා සිටියේ නැත. “මම ස්වාමීන් වහන්සේගේ මුහුණ දුටුවෙමි, මට එය ප්‍රමාණවත් ය” යි ඔහු කීවේය. "ආත්ම විමසීමේ දීමනාව" සහ "දෙවියන් වහන්සේගෙන් වචනයක්" ඇති බව බොරුවට අඟවමින් පෙනී සිටි දේශකයන් තිදෙනා යෝබ්ට පවසා ඇත්තේ ඔහුගේ ජීවිතයේ සමහර රහස් පව්වලට ඔහු දඬුවම් ලබන බවයි. දෙවියන් වහන්සේගේ සෙනඟව හෙළා දකින "ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක්" යන ඔවුන්ගේ ව්‍යාජ පණිවිඩ සමඟ තමන්ම පත් කරගත් අනාගතවක්තෘවරුන් අදද සිටිති. නමුත් එම දේශකයන් තිදෙනා මෙන් දෙවියන් වහන්සේ යෝබ්ට විනිශ්චය ගැන තර්ජනය කළේ නැත.

දෙවියන් වහන්සේ යෝබ් සමඟ ඔහුගේ අසාර්ථකත්වය ගැන කථා කළේවත්, ඔහු පීඩනයට පත් වූ විට (දෙවියන් වහන්සේට එරෙහිව) කළ පැමිණිළි ගැන ඔහුට මතක් කර දුන්නේවත් නැත. දෙවියන් වහන්සේ යෝබ්ට ඔහුගේ කරුණාව පමණක්ම හෙළි කළසේක - මිනිසාගේ රසවින්දනය සඳහා උන්වහන්සේ මැවූ සුන්දර විශ්වය තුළත් මිනිසාට යටත් වීමට මැවූ සතුන් තුළත් උන්වහන්සේගේ කරුණාව දක්නට ලැබේ. යෝබ්ගේ පසුතැවිලි වීමට හේතු වූයේ දෙවියන් වහන්සේගේ කරුණාව පිළිබඳ එම හෙළිදරව්වයි. බොහෝ අය දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ප්‍රයෝජන ගෙන එය අනිසි ලෙස භාවිතා කරති. නමුත් යෝබ් හට එය ඔහුගේ පසුතැවිලි වීමට මඟපෙන්විය. ඉන්පසු ස්වාමීන් වහන්සේ යෝබ්ට ආරම්භයේ දී තිබූ දෙයට වඩා දෙගුණයක් ආශීර්වාද කළ සේක.

අප යාකොබ් 5: 11 හි කියවන පරිදි - අපව කඬා බිඳ දැමීමේ දෙවියන් වහන්සේගේ අවසාන අරමුණ වන්නේ අපට බහුල ලෙස ආශීර්වාද කිරීමයි. ස්වාමීන් වහන්සේ යෝබ් ගැන සිතූ ඉලක්කය වූයේ ඔහුගේ තම-ධර්මිෂ්ඨකම සහ ඔහුගේ උඬඟුකම බිඳ දමා ඔහුව බිඳුණු මිනිසෙකු බවට පත් කිරීමයි - එවිට ස්වාමීන් වහන්සේ හට ඔහුට තමන්වහන්සේගේ මුහුණ පෙන්වා බොහෝ සෙයින් ආශීර්වාද කළ හැකිය. දෙවියන් වහන්සේ අපට ලබා දෙන ද්‍රව්‍යමය හා භෞතික ආශිර්වාදයන් පවා ඒ සියල්ල පිටුපසින් උන්වහන්සේගේ මුහුණ අපට නොපෙනේ නම්, ඒවා අපව උන්වහන්සේගෙන් දුරස්ථ කිරීමෙන් අපව විනාශ කළ හැකිය. ද්‍රව්‍යමය සමෘද්ධිය තුළින් දෙවියන් වහන්සේගෙන් ඈත් වූ ඇදහිළිවන්තයන් කී දෙනෙක් අද සිටිනවාද?

මේ ලෝකයෙන් අපට ප්‍රධානය කරන සියල්ල කෙරෙහි ඇති ආශාවෙන් මිදීමට, එක් වතාවක් ස්වාමීන් වහන්සේගේ මුහුණ දර්ශනය වීම සෑහේ.