WFTW Body: 

තමා ඉපදීමට නියමිත පවුල තෝරා ගැනීමට අවස්ථාව තිබූ එකම පුද්ගලයා යේසුස් වහන්සේය. අපි කාටවත් එහෙම තේරීමක් තිබුණේ නැත.

“යේසුස් වහන්සේ හැමවිටම සැළකුවේ තමන් මිනිසෙකු ලෙස තම පියා ඉදිරියේ කිසිවකුත් නොවන බවයි”.

යේසුස් වහන්සේ තෝරාගත්තේ කුමන පවුලද? "එතැනින් කිසිදු යහපතක් සිදු විය හැකි දැයි මිනිසුන් පැවසූ, නාසරෙත් නම් ප්‍රදේශයේ සිටි නාඳුනන වඩු පවුලක්” (යොහාන් 1: 46). යෝසෙප් සහ මරියා කොතරම් දුප්පත්ද යත්, ඔවුන්ට දෙවියන් වහන්සේට දවන පූජාවක් ලෙස බැටළු පැටවෙකු පූජා කිරීමට පවා නොහැකි විය (ලූක් 2: 22-24 සමඟ ලෙවී කථාව 12: 8 සසඳන්න).

තවද, උන්වහන්සේ ඉපදෙන්නේ කොතැනද යන්න නිවැරදිව තෝරාගත හැකිවූ එකම පුද්ගලයා යේසුස් වහන්සේය. උන්වහන්සේ උපන් ස්ථානය තීරණය කිරීමට අවස්ථාව ලැබීමෙන්, උන්වහන්සේ තෝරාගත් ස්ථානය කුමක්ද? පහත් ගව හළක්!

තවදුරටත් සැළකිල්ලට ගන්න, යේසුස් වහන්සේ තමන් වෙනුවෙන් තෝරාගත් පවුල් පෙළපත. මතෙව් 1: 3-6 හි සඳහන් යේසුස් වහන්සේගේ පවුල්-ගසෙහි කාන්තාවන් හතර දෙනෙකු නම් කර ඇත. පළමුවැන්නා තාමාර්ට තම මාමණ්ඩිය වූ යූදා සමඟ කාමමිථ්‍යාචාරය කිරීමෙන් තාමාර්ට පුතෙකු ලැබුණි (උත්පත්ති 38: 14-19). දෙවැන්නා, රාහබ් යෙරිකෝවේ ප්‍රසිද්ධ ගණිකාවකි (යෝෂුවා 2: 1). තුන්වැන්නා, රූත්, ලොත් තමන්ගේම දුව සමඟ අනාචාරයේ හැසිරීම නිසා ඉපදුණු මෝවබ්ගෙන් පැවතෙන්නෙකි (උප්පත්ති 19: 31-38 ; රෑත් 4: 12-22). සිව්වැන්නා සිව්වැන්නා දාවිත් සමඟ අනාචාරයේ යෙදුණු උරියාගේ භාර‍්‍යයාව වූ බැත්ෂෙබාය (2 සාමුවෙල් 11: 2-5).

යේසුස් වහන්සේ එවැනි නින්දිත පවුල්-පෙළපතක් තෝරාගත්තේ ඇයි? ආදම්ගේ වැටුණු වංශය සමඟ තමාව සම්පූර්ණයෙන්ම හඳුනා ගැනීමට උන්වහන්සේට හැකි වන පිණිසය. එහිදී උන්වහන්සේගේ යටහත් බව අපට පෙණේ. පවුල හෝ වංශ-පරම්පරාව ගැන කිසිදු උඬඟුකමකට උන්වහන්සේ ආශා නොකළසේක.

යේසුස් වහන්සේ සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයා සමඟ තමාව හඳුනාගත් සේක. වංශය, පවුල, ජීවිතයේ තත්වය ආදී භේදයකින් තොරව සියලු මනුෂ්‍යයින්ගේ අත්‍යවශ්‍ය සමානාත්මතාවය විශ්වාස කළ උන්වහන්සේ සමාජ මට්ටමේ අඩුම හා පහත් අය සමඟ එක් විය. උන්වහන්සේ සියල්ලන්ටම වඩා පහතින් පැමිණියේ, උන්වහන්සේ සියල්ලන්ගේ සේවකයා වන පිණිසය. අන් අයව ඔසවා තැබිය හැක්කේ ඔවුන්ගෙනුත් පහළට යන තැනැත්තාට පමණි. යේසුස් වහන්සේ පැමිණියේ එලෙසය.

ශුද්ධාත්මයාණන් අපගේ මණස අලුත් කිරීම තුළින් අපව පරිවර්ථනය කරයි (රෝම 12: 2). සැබෑ ක්‍රිස්තුස් වහන්සේගේ වැනි යටහත්කමේ බීජය වපුරණු ලබන්නේ අපගේ සිතුවිලි තුළ ය. අපගේ ක්‍රියාවෙන් හෝ අන් අය ඉදිරියේ අපගේ හැසිරීමෙන් නොව අපගේ සිතුවිලි වලින් (අප හුදකලාවේ සිටින විට) මෙම ක්ෂේත්‍රයෙහි අප ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට පරිවර්ථනය වන්නේද නැද්ද යන්න අපට දැනගත හැකිය - අප ගැන අපගේ සිතුවිලි සහ අන් අය සමඟ අපව සසඳන ආකාරයෙන්.

අප අපගේම සිතුවිලි වලින් සැබවින්ම කුඩා වූ විට පමණක්, අපට අව්‍යාජ ලෙස "අපට වඩා අන් අයව වැදගත් ලෙස සැළකිය හැකිය" (පිලිප්පි 2: 3), සහ අපව "සියලු ශුද්ධවන්තයින්ගෙන් ඉතාමත්ම සුළු" ලෙස සැලකීමට හැකි වේ (එපීස 3: 8)

යේසුස් වහන්සේ හැමවිටම සැළකුවේ තමන් මිනිසෙකු ලෙස තම පියා ඉදිරියේ කිසිවකුත් නොවන බවයි. එමනිසා, පියාණන්ගේ මහිමය එහි සම්පූර්ණත්වයෙන් උන්වහන්සේ තුළින් ප්‍රකාශ විය.

අවුරුදු තිහක් තිස්සේ යේසුස් වහන්සේ අසම්පූර්ණ හදා වඩා ගත්-පියෙකුට සහ මවකට යටත් විය - මක්නිසාදයත්‍ මෙය උන්වහන්සේගේ පියාගේ කැමැත්ත වූ බැවිනි. උන්වහන්සේ යෝසෙප් සහ මරියාට වඩා බොහෝ දේ දැන සිටිසේක. ඔවුන් මෙන් නොව පව් රහිත විය. එහෙත් උන්වහන්සේ ඔවුන්ට යටත් විය.

බුද්ධිමය හෝ ආත්මික වශයෙන් තමාට වඩා පහත් අයට යටත් වීම මිනිසාට පහසු නැත. නමුත් අව්‍යාජ යටහත්කමට මෙහි ගැටළුවක් නැත - මන්ද දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ තමාව කිසිවකු නොවන බව සැබවින්ම දුටු කෙනෙකුට, දෙවියන් වහන්සේ තමාට ඉහළින් පත් කරන ඕනෑම කෙනෙකුට යටත් වීමට අපහසු නැත.

යේසුස් වහන්සේ තේරා ගත්තේ තරමක් ආකර්ශනීය නොවන වෘත්තියක්ය - වඩු කාර්මිකයෙකු වීම. තවද උන්වහන්සේ තම ප්‍රසිද්ධ දේවසේවයට ඇතුල් වූ විට උන්වහන්සේගේ නමට මුළින් හෝ අගින් පදවි නාම නොතිබුණි. උන්වහන්සේ 'පාස්ටර් යේසුස්' නොවූසේක. උන්වහන්සේ, කවුරුත් ප්‍රියකරන ගෞරවණීය ආචාර්ය යේසුස් පදවියට, 'පාස්ටර් යේසුස්' පදවියට තරම්වත් නොතැකූසේක!' තමන් සේවය කිරීමට පැමිණි සාමාන්‍ය ජනතාවට වඩා තමන්ව උසස් කරන කිසිදු භූමික තණතුරක් හෝ පදවි නාමයක් උන්වහන්සේ කිසිවිටෙක සෙව්වේ හෝ අපේක්ෂා කළේ නැත.

මක්නිසාද යේසුස් වහන්සේ පියාණන් වහන්සේ ඉදිරියෙහි මෙම කිසිවකු නොවන ස්ථාවරය ගත් බැවින්, පියාණන් වහන්සේ තම ජීවිතය සඳහා අණ කළ ඕනෑම දෙයකට ප්‍රීතියෙන් යටත් විය හැකි අතර, පියාණන් වහන්සේගේ සියලු ආඥාවලට මුළු හදවතින්ම කීකරු විය.

උන්වහන්සේ තමන්වම යටහත් පහත් කරගනිමින් මරණය දක්වාම කීකරු විය (පිලිප්පි 2: 8).

දෙවියන් වහන්සේට එවන් සම්පූර්ණ කීකරුකම සැබෑ යටහත්කමේ නොවරදින ළකුණයි. මෙයට වඩා පැහැදිළි පරීක්ෂණයක් නොමැත.

 

අසන්නට කණ් ඇත්තා, අසත්වා.