WFTW Body: 

" ස්වර්ගයේ සහ පොළොවේ සියලු බලය මට දී ඇත" (මතෙව් 28: 18). අපි පිටතට ගොස් මෙම මහා ආඥාව ඉටු කිරීමට නම් අප මෙය විශ්වාස කළ යුතුය. යේසුස් වහන්සේට සියලු බලය ලබා දී ඇති බව මා විශ්වාස නොකරන්නේ නම්, මම ටික වේලාවකට පසු එය අත්හැර දමන්ට යමි, මන්ද ක්‍රිස්තියානි සේවාව ඉතා අධෛර්යට පත් විය හැකි සේවාවක් වන බැවිනි. ඔබ වහාම ප්‍රතිඵළ දකින්නේ නැත. එවැන්ජලිස්තවරුන් හෝ අනාගතවක්තෘවරුන් හෝ ප්‍රේරිතයින් ක්ෂණිකව ප්‍රතිඵළ දකින්නේ නැත. බොහෝ විට දරුවෙකු වැඩිහිටි වියට ගෙන ඒම වාගේය. මාගේ වසර ගණනක සභා රෝපණය කිරීම සහ ඇදහිළිවන්තයින් ගොඩනඟා ඔවුන්ව දේව භක්තිවන්තකම කරා ගෙන යාමට උත්සාහ කිරීමේ අත්දැකීම් තුළින් මට මෙය සහතික කළ හැකිය. මාව මේ දේවසේවයට යවන්නේ ස්වර්ගයේ සහ පොළොවේ සියලු බලය ලබා දී ඇති තැනැන්වහන්සේ බව අප තේරුම් නොගන්නේ නම් අධෛර්යමත් වීම ඉතා පහසුය. උන්වහන්සේ එම ආධිපත්‍යයෙන් මට සහාය දෙනසේක.

එබැවින් මා මහා ආඥාවේ දෙවන භාගය දෙස බලන්නේ මේ ආකාරයටය: එය යේසුස් වහන්සේ කළ අපූරු ප්‍රකාශ දෙකක් අතර වරහන් කර ඇත. පළමුවැන්න18වන පදය, ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී ඇත" සහ දෙවැන්න20වන පදය, “මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි . මේ කරුණු දෙකෙන් එකක් ගැන හෝ මට සැකයක් ඇත්නම්, මට මහා ආඥාවේ දෙවන භාගය ඉටු කිරීමට නොහැකිවේ. ඔබට එය ඒත්තු ගැන්වෙන්නේ නැතිනම්, අවුරුදු හැටක ක්‍රිස්තියානි දේවසේවයේ දී මම සොයා ගත්තේ, එය ඉතා අධෛර්යමත් විය හැකි බව ය:

- ඔබව යැවූ තැනැන්වහන්සේ, ස්වර්ගයේ (ස්වර්ගීය ස්ථානවල, යක්‍ෂ ආත්ම වාසය කරන දෙවන ස්වර්ගයේ) සහ පොළොවේ (පොළොවේ සිටින සියලුම මිනිසුන් කෙරෙහි) සියලු ආධිපත්‍යය ඇති තැනැන්වහන්සේය. ක්‍රිස්තුස් වහන්සේට මෙම ආධිපත්‍යය ඇත.

- මම මහා ආඥාවේ මෙම කොටස ඉටු කිරීමට උත්සාහ කරන විට, උන්වහන්සේ සැමවිටම මා සමඟ සිටින බවට උන්වහන්සේගෙන් නිශ්චිත පොරොන්දුවක් ඇත.

මෙම අපූරු පොරොන්දු දෙක සම්බන්ධයෙන් එක් විශාල අනතුරක් තිබේ. කොන්දේසි ඉටු නොකර පොරොන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ ඉතා නරක පුරුද්දක් කිතුණුවන්ට ඇත. නිදසුනක් වශයෙන්, "ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න, එවිට ඔබට ගැළවීම ලැබෙණු ඇත" යැයි ඔබට පැවසුවහොත්, "හොඳයි, ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කිරීම යන කොන්දේසිය මම නොකරමියි, එහෙත් මා ගැළවීම ලබන්නෙමියි කියා ඔබ පැවසුවොත්, එය විහිළුවක් යැයි ඔබ සිතන් නැද්ද? එසේම, "අපි අපගේ පාප පාපොච්චාරණය කරන්නේ නම්, උන්වහන්සේ අපගේ පව්වලට සමාව දීමට විශ්වාසව හා ධර්මිෂ්ඨව සිටිනසේක." ඔබේ පාපය පාපොච්චාරණය කිරීමේ කොන්දේසිය ඔබ ඉටු නොකරන්නේ නම්, උන්වහන්සේ ඔබේ පාපයට සමාව දෙන බව ඔබ විශ්වාස කරන්නේ කෙසේද?

දෙවියන් වහන්සේගේ පොරොන්දු කොන්දේසි සහිත ය. දෙවියන් වහන්සේ යහපත් සහ අයහපත් අය මතට හිරු පායන්නට සලස්වන සේක. උන්වහන්සේ ධර්මිෂ්ඨයින් සහ අධර්මිෂ්ඨයින් මත වර්ෂාව එවනසේක, යන ද්‍රව්‍යමය පොරොන්දු උන්වහන්සේ කිසිදු කොන්දේසියකින් තොරව සෑම කෙනෙකුටම ලබා දෙන සේක. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මික පොරොන්දු සම්බන්ධයෙන් ගත් කළ, ඒවා ලැබීමට කොන්දේසි තිබේ. මෙය ආරම්භ වන්නේ පව් කමා කිරීමෙනි. පසුතැවීම සහ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල නොමැතිව කිසිවෙකුට පව් කමාව නොලැබේ. ධර්මිෂ්‍ඨ කිරීම (යුක්ති සහගත කිරීම) ඇදහිල්ලෙන් වන අතර විශුද්ධකිරීමද(වෙන් කරනු ලැබීමද) ඇදහිල්ලෙන් වේ. එසේම, දෙවියන් වහන්සේ කොන්දේසියකින් තොරව සෑම කෙනෙකුටම උන්වහන්සේගේ අනුග්‍රහය ලබා නොදෙන සේක. උන්වහන්සේ තම අනුග්‍රහය ලබා දෙන්නේ යටහත් අයට පමණි. සෑම ආත්මික පොරොන්දුවක් සඳහාම කොන්දේසියක් තිබේ.

මා ඉහත සඳහන් කළ අනෙකුත් සියලුම ක්ෂේත්‍රවල පොරොන්දුව සමඟ බැඳී ඇති කොන්දේසිය ඉටු කිරීමේ වැදගත්කම අවබෝධ කරගත් බොහෝ කිතුණුවන්, මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමි යන මෙම පොරොන්දුවට පැමිණ, කොන්දේසිය සපුරන්නේ නැතිව එයට හිමිකම් පෑමට උත්සාහ කරන්නේ මන්ද? එය මාව මවිතයට පත් කරයි. ඔබ පසුතැවිලි නොවූවද, විශ්වාස කළොත් ඔබට සමාව දිය හැකි බව මා දේශනා කළහොත් ඔවුන් පුදුම වනු ඇත. ඔබේ පාප පාපොච්චාරණය නොකර වූවද ඔබට සමාව දිය හැකි යැයි මම කීවොත්, එය විහිළුවක් බව ඔවුන් පැවසිය හැකිය. බයිබලය පවසන්නේ ඔබ ඔබේ පාප පාපොච්චාරණය කරන්නේ නම්, උන්වහන්සේ ඔබට සමාව දීමට විශ්වාසව හා ධර්මිෂ්ඨව සිටින බව නේද? හොඳයි, ඔබ ගොස් ගෝලයින් බිහි කර , ඔවුන් බෞතීස්ම කර , මා ඔබට අණ කළ සියල්ල කිරීමට ඔවුන්ට ඉගැන්වුවහොත් , ස්වාමීන් වහන්සේ සදාකාලිකවම ලෝකයේ අවසානය දක්වා ඔබ සමඟ සිටින බව එම බයිබලයම පවසයි. ස්වාමීන් වහන්සේ වදාළේ මෙයයි. එවිට උන්වහන්සේ පැවසුවේ, "බලව, මම නිතරම ඔබ සමඟ සිටිමියි" කියාය.

ඒ නිසා යේසුස් වහන්සේ අණ කළ සියල්ල කිරීමට අන් අයට උගන්වන්නට යන අයට එය විශේෂයෙන් දෙන ලද පොරොන්දුවකි. මා එය ඉටු කිරීමට වසර 50ක් ගත කළෙමි, ලෝකයේ බොහෝ ප්‍රදේශවල, සීඩී තැටි, අන්තර්ජාලය සහ පොත්පත් හරහා යේසුස් වහන්සේ අණ කළ සියල්ල කිරීමට මිනිසුන්ට උගන්වමි. ස්වාමීන් වහන්සේගේ අභිමුඛය සහ ආධිපත්‍යය මා සමඟ ඇති බව මම සැබවින්ම අත්දැක ඇති බවට මට සාක්ෂි දිය හැකිය. ඒ නිසා දෙවියන් වහන්සේගේ පොරොන්දු සත්‍ය බව විශ්වාස කරන්න කියා මම ඔබව දිරිමත් කරන්න කැමතියි. යේසුස් වහන්සේ අණ කළ සියල්ල ඔබ විසින්ම පළමුවෙන් කිරීමෙන්, ඉන් අනතුරුව ඒවා කරන ලෙස මිනිසුන්ට ඉගැන්වීමට ඔබ පිටත්ව ගියහොත්, උන්වහන්සේගේ අධිකාරිය ඔබට පිහිට වී, උන්වහන්සේ සැමවිටම ඔබ සමඟ සිටිනු ඇත.

උන්වහන්සේ සැමවිටම අප සමඟ සිටීමේ එක් ප්‍රතිඵළයක් නම්, උන්වහන්සේ අපව, අධෛර්යමත් වීමෙන්, දොම්නසින්, නරක මණෝභාව‍යෙන් සහ එවැනි සියලු ආකාරයේ දේවලින් ගළවා ගැනීමයි. යේසුස් වහන්සේ සැමවිටම මා සමඟ සිටියොත් මට නරක මණෝභාවයක් ඇති වෙන්නේ කෙසේද? යේසුස් වහන්සේ නිතරම මා සමඟ සිටී නම්, මා අධෛර්යමත් හෝ බිය විය හැක්කේ කෙසේද? ක්‍රිස්තුස් වහන්සේ ඔවුන් සමඟ නොමැති විටදීද, බොහෝ අය සිතාගන්නේ, උන්වහන්සේ ඔවුන් සමඟ සිටින ලෙසය! ඔවුන් යේසුස් වහන්සේ අණ කළ සියල්ල කිරීමට උත්සාහ කරන්නේ නැත; ඔවුන් යේසුස් වහන්සේ අණ කළ දේ අන් අයට ඉගැන්වීමට උත්සාහ කරන්නේ නැත. ඒ නිසා, අපි එම පොරොන්දුව ලබා ගැනීමට පෙර ඉටු කළ යුතු කොන්දේසියක් ඇති අතර, එය පැහැදිළිව දැකීමට ඔබව දිරිමත් කිරීමට මට අවශ්‍යය.

©Zac Poonen –

[email protected]