WFTW Body: 

දෙවියන් වහන්සේ අපගේ ශක්තිය සහ උඩඟුකම බිඳ දමන තවත් ක්‍රමයක් නම් අපගේ නායකයින් හරහා අපව නිවැරදි කිරීමයි. සියලුම ඇදහිළිවන්තයින්ට පාහේ නිවැරදි කිරීම භාර ගැනීමට ඉතා අපහසු වේ. අවුරුදු දෙකක දරුවෙකුට පවා නිවැරදි කිරීම පහසු නැත - විශේෂයෙන්ම එය ප්‍රසිද්ධියේ ලබා දෙන්නේ නම්.

“නිවැරදි කිරීම්වලට පේදුරු තුමා යටහත් පහත් වූ නිසා, දෙවියන් වහන්සේ ඔහුව උසස් කළසේක”.

ඔබ අවසන් වරට ප්‍රසිද්ධියේ නිවැරදි කිරීමක් සතුටින් භාරගත්තේ කවදාද? ඔබේ ජීවිතයේ එක් වරක්වත් ඔබ එය භාරගෙන තිබේද? එසේ නොවේ නම්, ඔබට ආත්මික ආධිපත්‍යයක් නොමැති වීම පුදුමයක් නොවේ.

මෙය පේදුරු තුමා සහ යූදාස් ඉස්කාරියොත් අතර ඇති එක් විශාල වෙනසක් විය. පේදුරු තුමා ස්වාමීන් වහන්සේට කුරුසියට යෑමෙන් වළකින්න යැයි අඥානව පැවසූ විට, ස්වාමීන් වහන්සේ ඔහුට දැඩි ලෙස තරවටු කළේ "සාතන්, මා පසුපසට පලයන්න" කියා පවසමිනි. යේසුස් වහන්සේ ඕනෑම මිනිසෙකුට දුන් දරුණුම තරවටුව එයයි. පරිසිවරුන්ව පවා හැඳින්වූයේ "පොළොන් වංශය" ලෙස පමණි. නමුත් පේදුරු තුමාව හැඳින්වූයේ "සාතන්" යනුවෙනි. යේසුස් වහන්සේගේ දරුණුම තරවටු වෙන් කර තිබුණේ උන්වහන්සේට සමීපතම වන අය උදෙසා ය. උන්වහන්සේ වැඩිපුරම ප්‍රේම කරන අයට උන්වහන්සේ වැඩිපුර තරවටු කරනසේක (එළිදරව් 3: 19).

ඉක්බිති බොහෝ ගෝලයෝ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් අමනාප වී උන්වහන්සේ හැර යද්දී, ස්වාමීන් වහන්සේ ඔවුන්ටත් හැර යන්නට කැමති දැයි ගෝලයින්ගෙන් ඇසූ සේක. එවිට පේදුරු තුමා පිළිතුරු දුන්නේ, "ස්වාමීනි, අපි කා වෙතට යන්නද, සදාකාල ජීවනයේ වචන ඇත්තේ ඔබවහන්සේටය" (යොහාන් 6: 60, 66-68). පේදුරු තුමා අසා තිබූ සදාකාල ජීවනයේ වචන මොනවාද? "මා පසුපසට පලයන්න සාතන්"!

නිවැරදි කිරීමේ වචන අපව සදාකාල ජීවනයට මඟ පෙන්වීමට අදහස් කරන වචන ලෙස අප දකින්නෙමුද?

පේදුරු තුමා නිවැරදි කිරීම් දුටුවේ ඒ ආකාරයෙන් වූ බැවින්, ඔහුව පත් වූ පුද්ගලයා බවට පත් කෙරුවේ එයයි.

පේදුරු තුමා ස්වාමීන් වහන්සේගෙන් නිවැරදි කිරීම් පිළිගත් තවත් අවස්ථාවක්ද විය. පේදුරු තුමා අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහයේදී ස්වාමින් වහන්සේට පවසා තිබුණේ අනෙකුත් සියලුම ගෝලයින් ස්වාමීන් වහන්සේව ප්‍රතික්ෂේප කළත් ඔහු එසේ නොකරන බවයි. ස්වාමීන් වහන්සේ වහාම පේදුරු තුමාට පිළිතුරු දුන්නේ ඉදිරි පැය 12 තුළ ඔහු තුන් වතාවක් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන බවයි. නමුත් පේදුරු තුමා ඒ පිළිතුරෙන් අමනාපයට පත් වූයේ නැත. ස්වාමීන් වහන්සේ අවසානයේ පෙන්තකොස්ත දිනයේ දී තම ප්‍රධාන අපොස්තුළුවරයා සහ ප්‍රකාශකයා බවට පත් කළේ එවැනි මිනිසෙකු ය.

නිවැරදි කිරීම්වලට පේදුරු තුමා යටහත් පහත් වූ නිසා, දෙවියන් වහන්සේ ඔහුව උසස් කළසේක. ඔහුගේම අද්දැකීමෙන් ඉගෙනගත් පේදුරු තුමා දැන් 1 පේදුරු 5: 5, 6 හි අප සැමට අවවාද කරන්නේ නිතරම යටහත් පහත් වන ලෙසයි. අපව යටහත් පහත් කර ගැනීමෙන් අපට කිසිවිටෙකත් කිසිවක් අහිමි නොවනු ඇත. යම්-දිනක දෙවියන් වහන්සේ අපව උසස් කරනු ඇත.

නිවැරදි කිරීමට පේදුරු තුමා දැක්වූ ආකල්පයට වෙනස්ව, නිවැරදි කිරීමට යූදාස් ඉස්කාරියොත්ගේ ආකල්පය දෙස බලන්න. කාන්තාවක් මිළ අධික සුවඳ විලවුන් වර්ගයකින් යේසුස් වහන්සේව ආළේප කළ විට, යූදාස් පැවසුවේ දිළිඳුන්ට ලබා දිය හැකි මුදල් මෙළෙස වියදම් කිරීම නාස්තියක් බවයි (යොහාන් 12: 5; මතෙව් 26: 10-13). යේසුස් වහන්සේ ඉතා මෘදු ලෙස යූදාස්ව නිවැරදි කළ අතර, එම කාන්තාව හොඳ කාර‍්‍යයක් කළ නිසා ඇයට වධ නොකරන ලෙස ඉල්ලා සිටිසේක. නමුත් යූදාස් අමනාප විය.

ඊළඟ පදයේම (මතෙව් 26: 14), යූදාස් වහාම උත්තම පූජකයින් වෙත ගොස් යේසුස් වහන්සේව පාවා දීමට එකඟ වූ බව අපි කියවන්නෙමු. මෙය සිදුවන කාලය ඉතා වැදගත් වේ. එය, යේසුස් වහන්සේ ප්‍රසිද්ධියේ ඔහුව නිවැරදි කළ හේතුව කරණකොටගෙන යූදාස් අමනාප වූ මොහොතේ දීය.

යේසුස් වහන්සේ යූදාස්ට පවසා තිබුණේ ස්ත්‍රියගේ ක්‍රියාව පිළිබඳ ඔහුගේ තක්සේරුව නිවැරදි නොවන බව පමණි. නමුත් ඔහු කලබලයට පත් කිරීමට එය ප්‍රමාණවත් විය. ඔබ නොකැඩී සිටින විට, ඔබ අමනාප වීමට එක් කුඩා දෙයක් වුවද ප්‍රමාණවත් ය.

නමුත් යූදාස්ගේ ප්‍රතික්‍රියාවේ සදාකාලික ප්‍රතිවිපාක දෙස බලන්න. එලෙසම පේදුරු තුමාගේ ප්‍රතිචාරයේ සදාකාලික ප්‍රතිඵළ දෙස බලන්න. ඔවුන් දෙදෙනාවම නිවැරදි කිරීමෙන් පරීක්ෂා කරන ලදී - කෙනෙකු අසමත් වූ අතර අනෙකා සමත් විය.

අද අපත් එම අකාරයටම පරීක්‍ෂාවට ලක් වෙන්නෙමු.

ප්‍රසිද්ධියේ නිවැරදි කිරීම් අපව අමනාපයට පත් කරන්නේ නම්, එයින් ඔප්පු වන්නේ අප සොයන්නේ මිනිසුන්ගේ ගෞරවය බව පමණි. එසේ නම්, දැන්වත් එය දැන ගැනීම හොඳය, එවිට අපට එවැනි ගෞරව-සෙවීමෙන් අපව පවිත්‍ර කර ගත හැකිය. අප මිනිසුන්ගේ මතවලට කොතරම් වහල්ද කියා පෙන්වීමට දෙවියන් වහන්සේ එවැනි තත්වයකට ඉඩ දෙන්නට ඇත. දැන් අපට අපව පවිත්‍ර කර නිදහස් විය හැකිය.

එබැවින්, සෑම විටම නිවැරදි කිරීම කෙරෙහි පේදුරු තුමාගේ ආකල්පය ඇතුව සිටිමු - ස්වාමින් වහන්සේ අපව නිවැරදි කරන්නේ සෘජුවම උන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන හෝ වෙනත් කෙනෙකු මාර්ගයෙන් වේවා. මෙය අප සැමගේ සදාකාල ජීවනයේ මාර්ගයයි. අප අපවම යටහත් පහත් කරගන්නේ නම්, අපට දෙවියන් වහන්සේගෙන් අනුග්‍රහය ලැබෙන අතර උන්වහන්සේ නිසි වේලාවට අපව උසස් කරනු ඇත.