WFTW Body: 

යෙසායා 50: 4 හි යේසු සමිඳුන් පිළිබඳ අනාවැකිමය සඳහනක, අපි කියවන්නේ, "උදයක් පාසා, උන්වහන්සේ (පියාණන්) මා අවදි කර, මාගේ අවබෝධය උන්වහන්සේගේ කැමැත්තට විවෘත කරන සේක." එය යේසුස් වහන්සේගේ පුරුද්දක් විය. උන්වහන්සේ උදේ පාන්දර සිට සහ දවස පුරා තම පියාණන්ගේ හඬට සවන් දුන් අතර, උන්වහන්සේගේ පියාණන් උන්වහන්සේට කළ යුතු වූ දේ එයාකාරයෙන්ම කළසේක. කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට උන්වහන්සේ මිනිසුන් සමඟ සාකච්ඡා කළේ නැත, නමුත් උන්වහන්සේගේ පියාණන් සමඟ යාච්ඤා-රැස්වීම් පැවැත්වූ සේක. ප්‍රාණික කිතුණුවන් මිනිසුන් සමඟ සාකච්ඡා කිරීමෙන් සැළසුම් කරති. ආත්මික කිතුණුවන් දෙවියන් වහන්සේගෙන් අසන්නට බලා සිටිති.

යේසුස් වහන්සේ තම ජීවිතයේ දී යාච්ඤාවට ප්‍රමුඛත්වය දුන් සේක. උන්වහන්සේ බොහෝ විට වනාත්තර ස්ථානවලට අහක්ව ගොස් යාච්ඤාකළසේක. (ලූක් 5:16) වරක් උන්වහන්සේ ගෝලයින් දොළොස් දෙනාගේ තේරීම සම්බන්ධයෙන් පියාණන්ගේ කැමැත්ත දැනගැනීම සඳහා මුළු රාත්‍රියක්ම යාච්ඤාවේ යෙදී සිටිසේක (ලූක් 6: 12, 13). ප්‍රාණික කිතුණුවා දෙවියන් වහන්සේ කෙරෙහි බලා සිටීමට ගත කරන කාලය නාස්ති කරන ලද කාලය ලෙස සලකයි, ඔහුගේ හෘදසාක්ෂිය සැහැල්ලු කිරීමට පමණක් යාච්ඤා කරයි. යාච්ඤාව ඔහුගේ ජීවිතයේ දරුණු අවශ්‍යථාවයක් නොවේ, මන්ද ඔහු තමා ගැනම විශ්වාසය තබයි. කෙසේ වෙතත්, ආත්මික මිනිසා සෑම දෙයක් සඳහාම දෙවියන් වහන්සේ මත නිරන්තරයෙන් රඳා පවතින අතර, ඒ හේතුවෙන්, අව්‍යාජ අවශ්‍යතාවයෙන් යුතුව, යාච්ඤාවට එළඹේ.

යේසුස් වහන්සේ ජීවත් වූයේ උන්වහන්සේගේ පියාණන් වහන්සේ නිසාය (යොහාන් 6: 57). යේසුස් වහන්සේට දෙවියන් වහන්සේගේ වචනය ආහාර වලට වඩා වැදගත් විය (මතෙව් 4: 4). උන්වහන්සේට එය දිනකට බොහෝ වාරයක් පියාණන්ගෙන් ලබා ගැනීමට සිදුවිය එය ලැබුණු පසු උන්වහන්සේ එයට කීකරු විය. කීකරුකමද උන්වහන්සේගේ දෛනික ආහාරයට වඩා උන්වහන්සේට වැදගත් විය (යොහාන් 4: 34). යේසුස් වහන්සේ, පියා මත යැපී ජීවත් විය. දවස පුරාම උන්වහන්සේගේ ආකල්පය වූයේ "කථා කළ මැනව, පියාණෙනි, මම සවන් දෙමි" යන්නය.

උන්වහන්සේ මුදල් හුවමාරු කරන්නන් දේවමාළිගාවෙන් එළවා දැමීම සළකා බලන්න. යේසුස් වහන්සේ මුදල් හුවමාරු කරන්නන් සමඟ දේවමාළිගාවේ සිටියදී, ඔවුන්ව එළවා නොදැමූ අවස්ථා බොහොමයක් තිබිය යුතුය. උන්වහන්සේ එසේ කළේ, උන්වහන්සේගේ පියා විසින් එසේ කිරීමට මඟ පෙන්වූ විට පමණි. ප්‍රාණික කිතුණුවා මුදල් හුවමාරු කරන්නන් නිරන්තරයෙන්ම පන්නා දමනු ඇත, එසේ නොමැතිනම් කිසිවිටෙකත් පළවා නොහරිණු ඇත. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ විසින් මගපෙන්වනු ලබන තැනැත්තා, ක්‍රියා කළ යුත්තේ කවදාද, කොතැනද සහ කෙසේද යන්න දනී.

යේසුස් වහන්සේට කළ හැකිව තිබූ නමුත් උන්වහන්සේ කිසිදා නොකළ බොහෝ යහපත් දේවල් තිබුණි. මක්නිසාදයත් ඒවා උන්වහන්සේ උදෙසා උන්වහන්සේගේ පියාණන්ගේ කැමැත්තට පිටින් වූ නිසාය. උන්වහන්සේ සෑම විටම කාර්යබහුල වූයේ හොඳම දේ කිරීමටය. එමෙන්ම ඒවා ප්‍රමාණවත් විය. උන්වහන්සේ පොළොවට පැමිණියේ යහපත් දේ කිරීමට නොව, තම පියාණන්ගේ කැමැත්ත කිරීමටය.

"මා මාගේ පියාණන්ගේ කාරණාවල යෙදී සිටිය යුතු බව ඔබ නොදැන සිටියාද" කියා උන්වහන්සේ වයස අවුරුදු දොළහේදී යෝසෙප් සහ මරියාගෙන් ඇසු සේක (ලූක් 2: 49 - YLT). උන්වහන්සේ ඉටු කිරීමට උනන්දු වූයේ ඒවා පමණි. උන්වහන්සේ මිහිපිට වසර 33½ ක් ගතකර අවසන් වූ විට, "පියාණෙනි,ඔබ මට කරන්ට දුන් වැඩ මම අවසන් කළෙමි"(යොහාන් 17: 4) කියා සැබෑ තෘප්තියෙන් යුතුව පැවසීමට උන්වහන්සේට හැකි විය.

උන්වහන්සේ ලොව පුරා සංචාරය කර නැත, උන්වහන්සේ කිසිම පොතක් ලියා නැත, උන්වහන්සේගේ අනුගාමිකයන් ස්වල්ප දෙනෙකි, ලෝකයේ බොහෝ රටවල තවමත් ඉෂඨ නොවූ අවශ්‍යථා රාශියක් ඇත, යනාදිය යනාදිය, නමුත් උන්වහන්සේ පියාණන් විසින් නියම කළ කාර‍්‍යයන් අවසන් කර ඇත. අවසානයේදී වැදගත් වන්නේ එය පමණි.

යේසුස් වහන්සේ යෙහෝවා දෙවියන් වහන්සේගේ සේවකයෙකි. තවද "සේවකයෙකුගේ වැදගත්ම දෙය නම් ඔහු තම ස්වාමියා ඔහුට පවසන දේම කිරීමයි" (1 කොරින්ති 4: 2 - ජීවමාන බයිබලයේ පරිවර්ථනය). උන්වහන්සේ තම පියාණන්ට ඇහුම්කන් දෙමින් තම ජීවිතය ගත කළ නිසා, අධික වෙහෙසකින් හෝ කලකිරුණු 'කාර්යබහුලකමකින්' තොරව තම පියාණන්ගේ සියලු කැමැත්ත ඉටු කළසේක. උන්වහන්සේ තම මානුෂික ඇලුම් මරණයට පත් කළසේක. උන්වහන්සේ ප්‍රාණික නොවීය. උන්වහන්සේ ආත්මික වූසේක.

© Zac Poonen – [email protected]