WFTW Body: 
Document

යේසුස් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ආලේපය ලැබීමෙන් පසු ඉගැන්වූ පළමු දෙය නම් දෙවියන් වහන්සේ පවසන වචන අපට නොලැබුණහොත් අපට ජීවත් විය නොහැකි බවයි. අපි හුදෙක් දෙවියන් වහන්සේට සේවය කළ පමණින්ම, අපට දෙවියන් වහන්සේගේ අරමුණ ඉටු කර උන්වහන්සේගේ සිත තෘප්තිමත් කළ නොහැක. බොහෝ කිතුනුවන් මෙසේ පැවසීමෙන් තෘප්තියක් ලබති ; "මම ස්වාමින් වහන්සේ උදෙසා මෙය කරමි ", "මම ස්වාමින් වහන්සේ උදෙසා එය කරමි", "මම අනාථ නිවාසයක් පවත්වාගෙන යමි", "මම බයිබල් පාසලක් පවත්වාගෙන යමි සහ මම මිනිස්සුන්ට උදව් කරමි, "මේ අසරණ මිනිස්සුන්ට මම සල්ලි දෙමි", "මම මෙහෙට ගිහින් ඒක කරමි." ඔවුන් නිතරම සිතන්නේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් ඔවුන් කරන්නාවු දේවල් ගැනය. මම එය හෙළා නොදකිමි. “ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්” යනුවෙන් 1කොරින්ති 15:58 හි පවසන පරිදි, ස්වාමින්වහන්සේ නැවත පැමිණෙන තෙක් අප උන්වහන්සේට සේවය කළ යුතුය. මගේ ජීවිතයේ අවසානය දක්වා, ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන තෙක්, "ස්වාමින් වහන්සේගේ සේවයෙහි නිරතුරුවම වඩ වඩා පැවතීමට" මට අවශ්‍යය. මම කවදාවත් ස්වාමින් වහන්සේට කරන සේවය නතර නොකරමි. ඒ නිසා මම එය හෙළා නොදකිමි.

අප සේවය කළ යුතු යැයි මම විශ්වාස කරමි, නමුත් සේවයට වඩා වැදගත් වන්නේ දෙවියන් වහන්සේගේ වචනය ලැබීමයි. "මිනිසා ජීවත් වන්නේ දෙවියන් වහන්සේට සේවය කිරීමෙන් පමණක්ම නොව, දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්මය." මෙය යේසුස් වහන්සේ ආලේපය ලැබීමෙන් පසු කතා කළ පළමු වචන වේ, එබැවින් එය ඉතා වැදගත් විය යුතුය. යේසුස් වහන්සේ ඉගැන්වූ සියල්ලෙන්, පළමු දෙය මෙයයි: සෑම දිනකම දෙවියන් වහන්සේගේ වචනය නොකඩවා ලබා ගැනීමට ඉගෙන ගන්න. ශුද්ධ ලියවිල්ල සෑම දිනකම ඔබ වෙත ජීවමානව පැමිණිය යුතුය.

මුල් කාලයේ මිනිසුන්ට අද අපට තිබෙන්නාක්මෙන් බයිබලයක් තිබුණේ නැත. බයිබලය තිබීම අපට මහත් වරප්‍රසාදයකි. සෑම දිනකම දෙවියන් වහන්සේගේ වචනය ලැබීමට නම්, අපි දිනපතා බයිබලය කියවිය යුතුය. මුල් කාලයේ, ඔවුන් සතුව බයිබලයක් නොතිබූ විට, ඔවුන් ප්‍රේරිතයන්ගෙන් ඇසූ දේ ඔවුන්ට මතක් කර දීමට ශුද්ධාත්ම උපකාරය ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. බයිබලයක් නොමැති කිතුනුවකුට තම ඇදහිල්ල නිසා සිරගත වී සිරගෙදර වාඩි වී සිටින විට, ඔහු ඉදිරියේ බයිබලයක් විවෘත කර නොතිබුණද, ඔහු සිරගතව නොසිටි කාලයේ ඔහු එය කියවා ඇති නිසා සෑම දිනකම දෙවියන් වහන්සේගේ වචනය ලබා ගත හැකිය. දෙවියන් වහන්සේගේ වචනය කියවීම සහ මෙනෙහි කිරීම ඉතා වැදගත් වන්නේ එබැවිනි, මන්ද අපගේ අවශ්‍ය මොහොතේ, දෙවියන් වහන්සේ ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අපගේ ගැටලුවට විසඳුම වන එම විශේෂිත වචනය අපට ලබා දෙන අතර එය අපගේ අවශ්‍යතාවයට පිළිතුර සහ අපට ඉල්ලා සිටිය හැකි පොරොන්දුව වනු ඇත.

මෙය ලූක් 10:38-42 හි කතාවකින් නිදර්ශනය කරයි. යේසුස් වහන්සේ මරියා සහ මාර්තාගේ නිවසට ඇතුල් වීම ගැන අපට එහි කියවන්නට ලැබෙනවා. මාර්තා උන් වහන්සේ ගෙට පිළිගෙන, උන් වහන්සේට කෑම පිළියෙළ කිරීමට ගියාය, ඇගේ සොහොයුරිය මරියා යේසුස් වහන්සේගේ පාමුල හිඳ උන්වහන්සේගේ වචනයට සවන් දුන්නාය. දැන් මතක තියාගන්න, "මිනිසා ජීවත් වන්නේ ආහාරයෙන් පමණක් නොව, දෙවියන් වහන්සේගේ මුවින් පිටවන සෑම වචනයකින්ම" අප කලින් කියවූ දෙය සමඟ මෙය සම්බන්ධ කරන්න. මෙන්න විකල්ප දෙක, ආහාර පිළියෙළ කිරීම සහ යේසුස් වහන්සේගේ පාමුල වාඩිවීම. ආහාර වැදගත්ද? ඔව් එය එසේය. නමුත් වඩා වැදගත් දෙය නම් දෙවියන් වහන්සේගේ මුවින් පිටවන වචනය ලැබීමයි. මෙම සහෝදරියන් දෙදෙනා තුළ මෙය ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි.

මාර්තා කෑම පිළියෙළ කිරීමේදී අවධානය වෙනතකට යොමුවුණි . කා වෙනුවෙන්ද? ඇය වෙනුවෙන් නොවේ. ඇය ඉතා පරාර්ථකාමී වූවාය. කුසගින්නෙන් පෙළෙන මිනිසුන් 13 දෙනෙකුට (යේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් දොළොස් දෙනා) ආහාර පිසීමට කොපමණ ශ්‍රමයක් අවශ්‍යදැයි ඔබ දන්නවාද? ඇය කුස්සියේ ඇවිදිමින් සිටියේ තමා වෙනුවෙන් නොව ස්වාමින් වහන්සේ වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරමින්ය. ඇය තම මුදල් වියදම් කරමින්, වෙළඳපොළට ගොස්, ස්වාමින් වහන්සේට ආහාර පිළියෙළ කිරීමට දේවල් ලබා ගනිමින් සිටියාය. ඇය ස්වාමින් වහන්සේ වෙනුවෙන් වැඩ කිරීමට කාලය, මුදල්, ශක්තිය සහ කැපකිරීම් කළාය. සමහර විට ඔබ එහෙම කෙනෙක් වෙන්න ඇති. සමහර විට ඔබ කාලය, මුදල් සහ ශක්තිය පරිත්‍යාග කරමින් ස්වාමින් වහන්සේ වෙනුවෙන් එතැන මෙතැන බොහෝ දේ කරනවා ඇති. හොඳයි. මාර්තා සිතුවාක් මෙන් ඔබටත් සිතෙනු ඇත, "හොඳයි, මම මේ සියල්ල කර, මම ස්වාමින් වහන්සේ ඉදිරියට එන විට, උන්වහන්සේ කියන්න යන්නේ, 'හොඳයි, යහපත් විශ්වාසවන්ත සේවකයා, ඔබ විශිෂ්ට කාර්යයක් කළා! "එහෙත් ඇයට ඇසෙන්නේ එය නොවේ. ඇය යේසුස් වහන්සේ වෙතට පැමිණි විට, ඇගේ සොහොයුරිය වන මරියා සමඟ ඇය තුළ කෝපයක් ඇති විය. පුද්ගලයෙකුගේ හදවතේ විවේකයක් නොමැති විට, එයින් අදහස් වන්නේ යමක් වැරදී ඇති බවයි. ඇය විවේකයෙන් සිටියේ නැත. "ඇයි මරියා ඇවිත් මට උදව් කරන්නේ නැත්තේ" කියා ඇය කල්පනා කළාය. යේසුස් වහන්සේ ඇයට තරවටු කළසේක. උන්වහන්සේ පවසන්නේ, "මාර්තා, ආහාර වඩාත්ම වැදගත් දෙය නොවේ. මගේ වචනය ඇසීම වඩා වැදගත් ය, මරියා තෝරාගෙන ඇත්තේ එයයි, එය ඇයගෙන් ඉවතට නොගනු ඇත" (ලූක් 10:42). “මනුෂ්‍යයා ආහාරයෙන් පමණක් ජීවත් නොවන්නේය” යන්නෙන් යේසුස් වහන්සේ අදහස් කරන්නේ කුමක්දැයි ඔබට පෙනෙනවාද? යේසුස් වහන්සේට මාර්තාගෙන් මුලින්ම අවශ්‍ය වූයේ කුමක්ද? ඒ සියලු සේවාද? යේසුස් වහන්සේට ඔබෙන් අවශ්‍ය කුමක්ද? සේවය හොඳයි. මරියා යේසුස් වහන්සේගේ පාමුල සුවඳ විලවුන් වත් කරමින් උන්වහන්සේට සේවය කළ බව අපි පසුව කියවන්නෙමු, එබැවින් සේවය වැදගත් බව අපි දනිමු. නමුත් පළමු, වැදගත්ම දෙය වූයේ දෙවියන් වහන්සේගේ වචනය ලැබීමයි. යේසුස් වහන්සේ ඉගැන්වූයේ එයයි.

අපි මේ පාඩම මුලින්ම ඉගෙන ගත යුතුයි, එක දෙයක් අවශ්‍යයි. දේවල් 25 ක් නෙවෙයි. ලූක් 10:42 අපට පවසන්නේ සෑම දිනකම යේසුස් වහන්සේගේ පාමුල හිඳීමටත්, සෑම විටම එම ආකල්පය ඇති කර ගැනීමටත්, උන් වහන්සේ අපට පෞද්ගලිකව පැවසීමට ඇති දේ ලබා ගැනීමටත්ය.

ඔබට ඉතා ආශිර්වාදලත් නව වසරක් වේවා.