WFTW Body: 
  1. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන් අපටද ප්‍රේම කරන සේක

"ඔබවහන්සේ මට ප්‍රේම කළාක් මෙන්ම, ඔබවහන්සේ ඔවුන්ටත් ප්‍රේම කළසේක" (යොහන් 17: 23). මෙය මම බයිබලයෙන් සොයා ගත් ශ්‍රේෂ්ඨතම සත්‍යයයි. එය මාව අනාරක්ෂිත, මාණසික අවපීඩනයෙන් පෙළුණු ඇදහිළිවන්තයෙකුගෙන් දෙවියන් වහන්සේ තුළ මුළුමණින්ම සුරක්ෂිත වූ සහ ස්වාමින් වහන්සේගේ ප්‍රීතියෙන් පිරුණු තැනැත්තා බවට පත් කළේය - සැමවිටම. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන බව බයිබලයේ බොහෝ වාක්‍ය ඛණ්ඩ වල ඇතත්, එම ප්‍රේමයේ, ප්‍රමාණයේ ගැඹුර අපට කියාපාන්නේ මෙය පමණි - උන්වහන්සේ යේසුස් වහන්සේට ප්‍රේම කළාක් මෙන්ම ය. අපගේ ස්වර්ගික පියාණන්ගේ කිසිදු පුත්‍රයෙකුට ප්‍රේම කරන ආකාරය සම්බන්ධව, උන්වහන්සේ සමඟ පක්ෂග්‍රාහී බවක් නොමැති හෙයින්, උන්වහන්සේගේ කුළුඳුල් පුත්‍රයා වන යේසුස් වහන්සේ වෙනුවෙන් කළ සෑම දෙයක්ම උන්වහන්සේගේ, පුත්‍රයන් වන අපත් වෙනුවෙන් කිරීමට උන්වහන්සේ නිසැකවම කැමති වනු ඇත. යේසුස් වහන්සේට උපකාර කළාක් මෙන් උන්වහන්සේ අපටත් උපකාර කරනසේක. යේසුස් වහන්සේ ගැන සැළකිලිමත් වූ තරමටම උන්වහන්සේ අප ගැනත් සැළකිලිමත් වනසේක. යේසුස් වහන්සේගේ ජීවිතය සැළසුම් කිරීමේදී මෙන්ම අපේ දෛනික ජීවිතයේ තොරතුරු සැළසුම් කිරීමට උන්වහන්සේ උනන්දු වනසේක. දෙවියන් වහන්සේව මවිතයට පත් කරවන කිසිඳු දෙයක් අපට සිදු විය නොහැක. සෑම සිදුවීමක් සඳහාම උන්වහන්සේ දැනටමත් සැළසුම් කර හමාර ය. ඒ නිසා අපි තවදුරටත් අනාරක්ෂිත විය යුතු නැත. අපව පොළොවට එවා ඇත්තේ යේසුස් වහන්සේ මෙන් නිශ්චිත අරමුණක් ඇතුව ය. මේ සියල්ල ඔබටත් සත්‍යය - නමුත් ඔබ එය විශ්වාස කරන්නේ නම් පමණි. දේව වචනය කෙරෙහි විශ්වාසය නොතබන්නාට කිසි දෙයක් ක්‍රියා නොකර යි.

“අපව පොළොවට එවා ඇත්තේ යේසුස් වහන්සේ මෙන් නිශ්චිත අරමුණක් ඇතුව ය”.

  1. අවංක මිනිසුන් කෙරෙහි දෙවියන් වහන්සේ මහත්සේ සතුටුවේ

"උන්වහන්සේ ආලෝකයේ සිටින්නා මෙන් අපි ආලෝකයේ ගමන් කරන්නේ නම්, අපි එකිනෙකා සමඟ සහෝදරත්ව සහභාගිකමෙහි සිටින්නෙමු" (1 යොහන් 1: 7). ආලෝකයේ ගමන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ පළමුවෙන්ම අප දෙවියන් වහන්සේගෙන් කිසිවක් සඟවන්නේ නැති බවයි. අපි සෑම දෙයක්ම උන්වහන්සේට හරියාකාරව පැවසීම යි. දෙවියන් වහන්සේ වෙතට යාමට ඇති පළමු පියවර අවංකකම බව මට ඔප්පුවී ඇත. වංක අය දෙවියන් වහන්සේ පිළිකුල් කරයි. යේසුස් වහන්සේ අන් කිසිවෙකුට එරෙහිව කථා කළාට වඩා කෛරාටිකයින්ට (මූනිච්චාකාරයින්ට) විරුද්ධව කථා කළසේක. දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ පළමුව ශුද්ධව සිටීමට හෝ පරිපූර්ණ වීමට නොවේ, නමුත් අවංක වන ලෙසය. සැබෑ ශුද්ධකමේ ආරම්භක ස්ථානය මෙයයි. මේ උල්පතෙන් අනෙක් සියල්ල ගලා යයි. තවද අපෙන් ඕනෑම කෙනෙකුට, කිරීමට සැබවින්ම පහසු එක් දෙයක් තිබේ නම් එය අවංක වීමයි. එබැවින් වහාම පාපය දෙවියන් වහන්සේට පාපොච්චාරණය කරන්න. පව්කාර සිතුවිලි "ශිෂ්ඨ" නම් වලින් හඳුන්වන්න එපා. සැබවින්ම ඔබ ඔබේ ඇස්වලින් පරදාර සේවනයට තෘෂ්ණා (ආශා) කළ විට "මම දෙවියන් වහන්සේගේ මැවිල්ලේ සුන්දරත්වය පමණක් අගය කළෙමි" යැයි නොකියන්න. "කෝපය" "ධර්මිෂ්ඨ කෝපය" ලෙස නොකියන්න. ඔබ වංක නම් ඔබට කිසිවිටෙකත් පාපය පරාජය කළ නොහැකි වන්නේ ය. තවද කිසි විටෙකත් "පාපය", "අතපසුවීමක් (වරදක්)" ලෙස නොකියන්න, මන්ද යේසුස් වහන්සේගේ රුධිරයට ඔබගේ සියලු පාප වලින් ඔබව පවිත්‍ර කළ හැකිය, නමුත් ඔබේ අතපසුවීම් (වැරදි) වලින් නොවේ !! උන්වහන්සේ වංක මිනිසුන් පවිත්‍ර නොකරයි. බලාපොරොත්තු ඇත්තේ අවංක මිනිසුන්ට පමණි. "තම පාපය ආවරණය කරන තැනැත්තා කිසිදා සමෘද්ධිමත් වන්නේ නැත" (හිතෝපදේශ 28: 13). ආගමික නායකයින්ට වඩා ගණිකාවන් සහ සොරුන් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම ගැන වැඩි බලාපොරොත්තු ඇතැයි යේසුස් වහන්සේ පැවසුවේ මන්ද (මතෙව් 21: 31). ගණිකාවන් සහ සොරුන් ශුද්ධ යැයි මවා පෑමක් නොකරන බැවිනි. බොහෝ යෞවනයන් සභාවලින් ඈත් වන්නේ සභා-සාමාජිකයින් විසින් තමන්ට පාපය සම්බන්ධව ඇතුළාන්තයේ කිසිදු අරගලයක් නොමැති බවට හැඟීමක් ලබා දෙන බැවිනි. එම නිසා එම තරුණයින් සිතන්නේ, "එම ශුද්ධ වූ පිරිසට නම් කිසිවිටෙකත් අපේ ගැටළු නොතේරෙණු ඇති" යනුවෙනි. මෙය අපගේ ජීවිතයේ සත්‍යයක් නම්, අපි පව්කාරයන්, තමා වෙත ඇද ගත් ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවන්නෙමු.

  1. සතුටු සිටින් දෙන්නෙකු කෙරෙහි දෙවියන් වහන්සේ මහත්සේ සතුටුවේ

"සතුටු සිතින් දෙන තැනැත්තාට දෙවියන් වහන්සේ ප්‍රිය කරයි" (2 කොරින්ති 9: 7). පරිවර්ථනය වීමට (හැරීමට) පෙර හා පසු සහ ආත්මයෙන් පූර්ණවීමෙන් පසුවත් - දෙවියන් වහන්සේ මිනිසාට පූර්ණ නිදහසක් ලබා දෙන්නේ එබැවිනි. අපි දෙවියන් වහන්සේ මෙන් නම්, අපි අන් අය පාලනය කිරීමට හෝ ඔවුන්ට බලපෑම් කිරීමට උත්සාහ නොකරන්නෙමු. ඔවුන්ට අපෙන් වෙනස් වීමටත්, අපෙන් වෙනස් මතයන් දැරීමටත්, ඔවුන්ටම යාහැකි වේගයෙන් ආත්මික වශයෙන් වර්ධනය වීමටත් අපි නිදහස දෙන්නෙමු. කුමණ හෝ ආකාරයක බලකිරීමක් යක්ෂයාගෙන් වේ. ශුද්ධාත්මයාණන් වහන්සේ මිනිසුන් පුරවන නමුදු පිශාචයින් (භූතයන්) මිනිසුන් අරක් ගනී. වෙනස මෙයයි: ශුද්ධාත්මයාණන් වහන්සේ යමෙකු පුරවන විට, උන්වහන්සේ තවදුරටත් එම පුද්ගලයාට තමා කැමති ඕනෑම දෙයක් කිරීමට නිදහස ලබා දෙයි. නමුත් පිශාචයෝ (භූතයෝ) මිනිසුන් අරක් ගත් විට ඔවුන්ගේ නිදහස නැති කර ඔවුන් පාලනය කරති. ආත්මයෙන් පූර්ණ වීමේ ඵළය නම් ආත්ම ධමනයයි (ගලාති 5: 22,23). කෙසේ වෙතත්, පිශාචයන් (භූතයයන්) අරක් ගැනීමේ ප්‍රතිඵළය වන්නේ, ආත්ම-ධමනය (ස්වයං පාලනය) නැති වී යාම යි. දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන කුමණ හෝ සේවාවක් උද්‍යෝගිමත්කමෙන් (සතුටු සිතින්), ප්‍රීතියෙන්, නොමිළේ හා ස්වේච්ඡාවෙන් නොවන්නේ නම්, එය මළ ක්‍රියාවක් බව අප මතක තබා ගත යුතුය. දෙවියන් වහන්සේ වෙනුවෙන් ත්‍යාගයක් හෝ වැටුපක් බළාපොරොත්තුවෙන් කරන ඕනෑම සේවාවක් ද මළ ක්‍රියාවකි. අන් අයගේ බලකිරීමක් මත දෙවියන් වහන්සේට දෙන ඕනෑම මුදලකට, දෙවියන් වහන්සේ සළකන ආකාරයට කිසිදු වටිනාකමක් නැත!! දෙවියන් වහන්සේ උදෙසා අනිවාර‍්‍යකරණය යටතේ කරන ලද විශිෂ්ඨ ක්‍රියාවන් රාශියකට වඩා හෝ හුදෙක්ම තමන්ගේ හෘද-සාක්ෂිය ලිහිල් කිරීමට (රැවටීමට) කරන බොහොමයකට වඩා සතුටු සිතින් කරන සුළු දෙය උන්වහන්සේ අගය කරනසේක.