WFTW Body: 

1. දෙවියන් වහන්සේ කෙරෙහි භය වීම :
ප්‍රඥාවේ පටන්ගැන්ම නම් (අයන්න ආයන්න වනුයේ) ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමය (හිතෝපදේශ 9:10). ප්‍රඥාව පිළිබඳ පාසලේ පළමු පාඩම මෙයයි. අපි හෝඩිය ඉගෙන නොගන්නේ නම්, අපට තවදුරටත් ඉදිරියට යා නොහැක. "ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීම නම් නපුරට ද්වේෂකිරීමය", මන්ද දෙවියන් වහන්සේම නපුරට වෛර කරයි (හිතෝපදේශ 8:13). දෙවියන් වහන්සේ ශුද්ධ බැවින් ශුද්ධව සිටින්න යන කැඳවීම අප අසා ඇති අතර, එම කැඳවීම සිතින් මනා වටහාගත් විට, අපි පාපයට වෛර කරන්නෙමු. බොහෝ ඇදහිලිවන්තයන් හට වෙනත් ඇදහිලිවන්තයන් ඉදිරියේ සිටින විට සමහර පාප (කෝපය, ලිංගික පාප ආදිය) ජය ගැනීම පහසුය. මක්නිසාදයත් ඔවුන්ගේ කීර්තිය නැති වේ යැයි ඔවුහු බිය වෙති. නමුත් ඔවුන් තනිවම සිටින විටදි එම පරික්ෂා වල දීම ඉතා පහසුවෙන් පව් කරයි. එමනිසා ඔවුන් වැටෙන්නේ මෙම පාප ජය ගැනීමට ඔවුන්ට නොහැකි නිසා නොව, නමුත් ඔවුන් දෙවියන් වහන්සේට ගරු කරනවාට වඩා ඔවුන්ගේ කීර්තියට ආදරය කරන බැවිනි. ඔවුන් දෙවියන් වහන්සේගේ මතයට වඩා මිනිසාගේ මතය අගය කරයි. එවැනි කිතුනුවන් “මැවුම්කරුට වඩා මැවිල්ලට (මිනිසාට) නමස්කාර කිරීම” ගැන වැලපෙමින් පසුතැවිලි විය යුතුය (රෝම 1:25), එමෙන්ම ඔවුන් දෙවියන් වහන්සේ තමන් වහන්සේ කෙරෙහි බිය ඔවුන්ට උගන්වනු ඇතැයි මුළු හදවතින්ම මොරගැසිය යුතුය. පොරොන්දුව නම්, ඔබ මොරගසා ඔබේ හඬ ඔසවා සඟවා තිබෙන නිදන් සොයන්නාක් මෙන් සමිඳාණන් වහන්සේ කෙරෙහි භය සොයන්නේ නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ කෙරෙහි බිය ඔබට උගන්වනු ඇත (හිතෝ. 2: 3-5 ; මතෙ. 5: 6). උන් වහන්සේව සොයාගත හැක්කේ මුළු හදවතින්ම උන් වහන්සේව සොයන අයට පමණි (යෙරෙ. 29:13). ඔවුන්ගේ අසාර්ථකත්වය ගැන වැලපෙන අයව පමණක් සැනසිලිකරුවානන්‍ විසින් සනසනු ලබනු ඇත (ශක්තිමත් කර උපකාර කරනු ලැබේ (මතෙ. 5: 4). දෙවියන් වහන්සේ ඉදිරියෙහි පමණක් ජීවත් වීමේ පුරුද්ද අප විසින් වර්ධනය කර ගත යුතුය. දෙවියන් වහන්සේ අප සෑම කෙනෙකුටම තමුන්ගේම කියා පෞද්ගලික අවකාශයක් - අපගේ චින්තන ජීවිතය - ලබා දීමට හේතුව එවිට අප උන් වහන්සේට බිය වන්නේද නැද්ද යන්න පරීක්‍ෂා කිරීමට උන් වහන්සේට හැකි වේ. අප සැලකිලිමත් වන්නේ අන් මිනිසුන් ඉදිරියේ අපගේ බාහිර කීර්තිය ගැන පමණක්ම නම්, අපගේ චින්තන ජීවිතයේ පාපය ගැන නොසැලකිලිමත් වනු ඇත. මේ අනුව දෙවියන් වහන්සේ සම්පූර්ණ ජයග්‍රහණය අපේක්‍ෂා කරන අය සහ පාපයට එරෙහිව බාහිර ජයග්‍රහණයක් පමණක් බලාපොරොත්තු වන අය අතර වෙන්වීමක් කරයි. බාහිර පාපයට මෙන්ම අපගේ චින්තන ජීවිතයේ පාපය ගැනද වැලපෙන්නේ නම්, අපි ඉතා ඉක්මණින් ජයග්‍රහණය කරා පිවිසෙමු.

2. දුක් විඳීමට මනසක් තිබීම:
පාපයෙන් සතුටක් ඇත - නමුත් එය රැවටිලිකාර හා කෙටිකාලීන ය (හෙබ්‍රෙ. 3:13; 11:25). සැප වින්දනයේ ප්‍රතිවිරුද්ධ දෙය නම් දුක් විඳීමයි. දුක් විඳීම යනු අපගේ මාංසය එනම් පාපයේ සතුට ප්‍රතික්‍ෂේප කිරීමයි. මෙම ආකල්පයෙන් අප සන්නද්ධ වුවහොත් අපට පාපයෙන් වැළකී අපගේ ජීවිත කාලය පුරාම දෙවියන් වහන්සේගේ කැමැත්ත කළ හැකි බව අපට කියනු ලැබේ (1 පේතෘ. 4: 1,2). මාංසයේ දුක් විඳීම යනු ශාරීරයේ, ශාරීරික දුක් වේදනා නොවේ. මක්නිසාද කිසිවෙකු ඒ ආකාරයෙන් පව් කිරීම නතර කර නැත. එයින් අදහස් කරන්නේ මාංශයට එහි ආශාවන් ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඇති වන වේදනාවයි. යේසුස් වහන්සේ කිසි විටෙකත් තමන් වහන්සේව සතුටු කරනොගත් සේම අපිද අපව සතුටු කිරීම ප්‍රතික්‍ෂේප කරමු (රෝම 15: 3). මෙලෙස අප උන්වහන්සේගේ දුක් විඳීම් වලට පංගුකාරයන් වෙමු. මාංසයේ දුක් විඳීමට අධිෂ්ඨානශීලී ආකල්පයක්, පාපය සමඟ පොරබදන දවසේදී අපගේ සන්නාහය බව පේතෘස් පවසයි. නමුත් සටන ආරම්භ වීමට පෙර අපට සන්නාහය තිබිය යුතුය. පරීක්‍ෂාවන් ආරම්භ වූ පසු සන්නාහය සෙවීම නිෂ්ඵලය, මන්ද එවිට යමෙකුට එය සාමාන්‍යයෙන් සොයාගත නොහැකි වනු ඇත. නැත. ගැටුම ආරම්භ වීමට පෙර යමෙකු සන්නද්ධ විය යුතුය. යමෙකුට මෙම සන්නාහය නොමැති විට ('පව්කාර සිතුවිල්ලකින් පවා අවම සතුටක් ලැබීමට වඩා ස්වයං ප්‍රතික්‍ෂේප කිරීමේ දුක් විඳීමේ අධිෂ්ඨානශීලී මනස'), එවිට යමෙකු පරීක්‍ෂාවේ මොහොතේ පසුබසින අතර පාපයට හසු වෙයි(හෙබ්‍රෙ. 10:38). නමුත් අප අධිෂ්ඨාන කරගෙන සිටින්නේ පාපයට වඩා මරණයට කීකරු වීමට නම් - එනම්, යේසුස් වහන්සේ මෙන් 'මරණය දක්වා කීකරු වීමට' නම් (පිලි. 2: 8), එවිට සටනට මුහුණ දෙන දවසේදී මෙම සන්නාහය අපගේ ශක්තිය හා ආරක්‍ෂාව වනු ඇත. නිදසුනක් වශයෙන්, අපි ද්‍රව්‍යමය දේවලට ඇලුම් කරන්නේ නම්, ද්‍රව්‍යමය අලාභයකට මුහුණ දෙන විට හෝ වෙනත් අයෙකු අප සතු වටිනා දේවලට හානි කරන විට හෝ ඒවා නැති කරන විට අපගේ සාමය ගිලිහී යෑමෙන් පහසුවෙන්ම පාපයට වැටෙනු ඇත. නමුත් දෙවියන් වහන්සේ අපගේ යහපත උදෙසා සියල්ල අණ කරන බව විශ්වාස කරමින් අප 'මාංසයේ දුක් විඳීමේ' මාර්ගය තෝරාගෙන තිබේ නම් (රෝම 8:28), එවිට අපගේ භාණ්ඩ නැතිවීම පවා ප්‍රීතියෙන් බාර ගමු (හෙබ්‍රෙ. 10:34) .

3. සහභාගීත්වය අගය කිරීම :
අළුත් ගිවිසුමේ පුද්ගලවාදී ක්‍රිස්තියානි ධර්මය වැනි දෙයක් නොමැත. පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරුන් (එලියා සහ යොහන් බව්තීස්ත වැනි) තනිව ජීවත් වන්නට ඇත, නමුත් ඒ සෙවණැල්ලක් පමණක් තිබුණු නමුත් ශරීරයක් නොතිබූ දිනවලය (කොලොස්සි 2:17). නමුත් දැන් අපට ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ඇති අතර, එහි අප අපගේ ස්ථානය සොයාගන්නා විට, හිස (ක්‍රිස්තුස් වහන්සේ) අපව වැටීමෙන් වළක්වන සේක. පාවුල් තුමා පැහැදිලිවම පවසන්නේ වැරැද්දෙන් ආරක්‍ෂාව හා ක්‍රිස්තියානි වර්ධනය ලැබිය හැක්කේ අප හිස තදින් අල්ලාගෙන සිටින අතරම ශරීරයේ අනෙක් අවයව වලට සැපයුම් මාර්ග විවෘතව තබා ගැනීමෙනි (කොලො. 2:19). නිරයේ දොරටු එය පරාජය නොකරන බව යේසුස් වහන්සේ පැවසුවේ සභාව ගැනය(මතෙව් 16:18). තනිවම ජීවත් වීමට උත්සාහ කරන හුදෙකලා කිතුනුවකුට එරෙහිව සාතන් නිසැකවම ජය ගනු ඇත. කෙසේ වෙතත්, සතියකට දෙවරක් රැස්වීම්වලට යාම පමණක් ප්‍රමාණවත් නොවේ. අප අනෙක් සාමාජිකයන් සමඟ ඇති සම්බන්ධතාවය අගය කළ යුතු අතර ශරීරයට සම්බන්ධ විය යුතුය. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස අපගේ ස්ථානයට අප සම්බන්ධ වන විටදී පමණි අපට හිසෙහි ජයග්‍රහණයට හවුල් විය හැකි වන්නේ. එවිට ශරීරයේ සිටින අපගේ සෙසු සාමාජිකයන් අපට තනිවම පීඩනය වැඩි වන මොහොතේදී අපට ශක්තියක් වේ (දේශ. 4: 9-12). ශරීරය තුළ අන්‍යෝන්‍ය අනුශාසනාව යනු අපව රැවටීමෙන් හා පාපයට වැටීමෙන් වළක්වාලීමට දෙවියන් වහන්සේගේ මාධ්‍යයයි (හෙබ්‍රෙ. 3:13). එවැනි සහභාගිකමක් අගය කරන්න, එවිට ඔබ බොහෝ හෘදයාබාධ හා අසාර්ථකත්වයන්ගෙන් බේරෙනු ඇත.