"නුඹලා පොළොවේ ලුණුය" (මතෙව් 5:13). යේසුස් වහන්සේ මෙය සමූහයාට පැවසුවේ නැත. කන්ද උඩ දේශනාව ප්‍රධාන වශයෙන් උන්වහන්සේගේ ගෝලයන්ට බවත්, අවට වාඩි වී සිටි සමූහයා සවන් දුන් බවත් මතක තබා ගන්න. සමූහයා නිසැකවම පොළොවේ ලුණු නොවේ - ඔවුන්ට ලුණු නැත. නමුත් ගෝලයන් පොළොවේ ලුණු වීමට යුතුව සිටියහ. යේසුස් වහන්සේ රූපාලංකාර භාවිතා කිරීමේ දක්‍ෂයෙක් වූ අතර, ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවය සහ එළිදරව්ව පතමින් ඒවායේ පිටුපස ඇති අර්ථය තේරුම් ගැනීමට උන්වහන්සේ එය අපට භාර දුන් සේක. "නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය."
උන්වහන්සේ මෙම රූපාලංකාරය භාවිතා කරමින් අපට පෙන්වා දෙන්නේ උන්වහන්සේගේ ගෝලයන් සැමවිටම සංඛ්‍යාවෙන් කුඩා වන බවයි. ඔබට ව්‍යාංජන සහිත බත් පිඟානක් තිබේ නම්, එම මුළු බත් පිඟානට කොපමණ ලුණු ප්‍රමාණයක් දැමිය යුතුද? ඔබ තේ හැන්දකින් භාගයක්වත් දමන්නේ නැත. එම මුළු පිඟානම නිවැරදිව රස කිරීමට ඔබට අවශ්‍ය වන්නේ ඉතා සුළු ලුණු ප්‍රමාණයකි. නමුත් ඒ ලුණු රස නැති ඒවා නම්, ඔබ එයට හැඳි 20 ක් දැමුවත්, එහි රසයේ කිසිදු වෙනසක් ඇති නොකරයි. එබැවින් කාරණය වන්නේ ප්‍රමාණය නොව ගුණාත්මකභාවයයි. "ලුණුවල රස නැති වී ඇත්නම්" (මතෙව් 5:13) යැයි යේසුස් වහන්සේ පවසන විට, උන්වහන්සේ කිසිසේත් ලුණු ප්‍රමාණය ගැන කතා නොකරනසේක.
ආහාර ප්‍රමාණයට සාපේක්‍ෂව ලුණු ප්‍රමාණයේ අනුපාතය, ලෝක ජනගහනයට සාපේක්‍ෂව පෘථිවියේ සැබෑ ගෝලයන්ගේ අනුපාතයට සමාන වේ (සමහර විට සභාවේ සිටින පුද්ගලයින් සංඛ්‍යාවට පවා!). සැබෑ ගෝලයන් ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙකි.
නමුත් පොළොවේ ලුණු ලෙස හඳුන්වනු ලබන්නේ ඒ සැබෑ ගෝලයන් පමණි. ඔවුන් නිසා පොළොව විනිශ්චයෙන් ආරක්‍ෂා වේ. ආබ්‍රහම් වරක් දෙවියන් වහන්සේට යාච්ඤා කළේ නපුරු සොදොම් නගරය ගැනයි, එය විනාශ කරන බව ස්වාමීන් වහන්සේ පැවසූ සේක. ඔහු ස්වාමීන් වහන්සේගෙන් (තවමත් එය විනාශ කරන්නේද යන්න ගැන) ඇසුවේය, “ස්වාමීනි, සොදොම්හි ඔබට ධර්මිෂ්ඨ මිනිසුන් දස දෙනෙකු පමණක් හමු වේ යැයි සිතමු?” (උත්පත්ති 18:32), ස්වාමීන් වහන්සේ මෙසේ වදාළ සේක, “ඒ නගරයේ ධර්මිෂ්ඨ මිනිසුන් දස දෙනෙකු සිටින්නේ නම් මම සොදොම් විනාශ නොකරමි.” නගරය විනාශ වීමෙන් ආරක්‍ෂා කිරීමට දස දෙනෙකු ප්‍රමාණවත් වූ නමුත් එහි දස දෙනෙකුවත් නොසිටි බැවින් එය විනාශ විය.
යෙරෙමියාගේ කාලයේදී, ස්වාමීන් වහන්සේ එම සංඛ්‍යාව තවත් අඩු කළ සේක. බබිලෝනීය රජු විසින් ඊශ්‍රායෙල්වරුන් වහල්භාවයට ගෙන යාමට (එය දෙවියන් වහන්සේගේ දඬුවම විය) ආසන්නව සිටියදී යෙරෙමියා අනාවැකි කියමින් සිටියේය. නමුත් ඊට පෙර, යෙරෙමියා අනාවැකි කීමට ගියේය. ඔහු අවුරුදු 40 ක් තිස්සේ ඔවුන්ට දේශනා කර අනතුරු ඇඟවූ නමුත් ඔවුන් ඔහුට සවන් දුන්නේ නැත. ස්වාමීන් වහන්සේ යෙරෙමියාට මෙසේ පැවසූ සේක: “යෙරුසලමේ වීදි හරහා ගොස් යුක්තිය ඉටු කරන, සත්‍යය සොයන එක් මිනිසෙකු (දස දෙනෙකු නොව, එක් මිනිසෙකු පමණක්) ඔබට සොයාගත හැකිදැයි බලන්න, එවිට මම මුළු නගරයටම සමාව දෙන්නෙමි” (යෙරෙමියා 5:1). එය පුදුම සහගතයි, නමුත් එක ධර්මිෂ්ඨ මිනිසෙක්වත් සිටියේ නැත, එබැවින් මුළු නගරයම වහල්භාවයට ගියේය.
බොහෝ විට දෙවියන් වහන්සේ ඒ ආකාරයෙන් හාත්පස බලන සේක. එසකියෙල්ද බබිලෝනියේ එම කාලයේම සිටි තවත් අනාගතවක්තෘවරයෙකු වූ අතර දෙවියන් වහන්සේ එසකියෙල් කරනකොට ගෙන මෙසේ පැවසූසේක, "මා විසින් දේශය නාස්ති නොකරන පිණිස පවුරක් ගොඩනගා දේශය උදෙසා මා ඉදිරිපිට කඩුල්ලෙහි සිටීමට ඔවුන් අතරේ මනුෂ්‍යයෙකු සෙවීමි. නුමුත් කිසිවෙක් මට සම්බනූණේය." (එසකියෙල් 22:30). දෙවියන් වහන්සේ එහිදී ද එකම වචන කතා කළසේක: ගුණාත්මකභාවය, ප්‍රමාණය නොවේ. උන්වහන්සේ මිනිසුන් 10,000 ක් සෙව්වේ නැත. උන්වහන්සේ එක් මිනිසෙකුව හෝ සොයමින් සිටි සේක.
යමෙකු පූර්ණ හදවතක් ඇති සහ රැඩිකල් (යම් දෙයක් එය කළයුතු ආකාරයටම කිරීමට කැමති) වන්නේ නම්, එක් මිනිසෙකු තුළින් දෙවියන් වහන්සේට කළ හැකි දේ පුදුම සහගතයි. මෝසෙස් ගැන සිතන්න - පැරණි ගිවිසුමේ එක් මිනිසෙකු කරනකොට ගෙන දෙවියන් වහන්සේට ඊශ්‍රායෙල්වරුන් මිලියන 2 ක් ගලවා ගත හැකි විය. ඊශ්‍රායෙලයේ නායකයා වීමට සුදුසු වෙනත් කිසිවෙකු සිටියේ නැත. එලියාගේ කාලයේ, බාල්ට දණ නොනැමූ 7000 ක් සිටියද (පිළිම නමස්කාර නොකරන ඇදහිලිවන්තයන් 7000 ක පින්තූරයක්), ස්වර්ගයෙන් ගින්න ගෙන ඒමට හැකි වූයේ එක් මිනිසෙකු වූ එලියාට පමණි. අදටත් එය එසේමය. ඇදහිලිවන්තයන් 7000 ක් අතරින් තම සේවය හෝ යාච්ඤාව තුළින් ස්වර්ගයෙන් ගින්න ගෙන ඒමට හැකි එක් ඇදහිලිවන්තයෙකු පමණක් ඔබට සොයාගත හැකිය.
7000 දෙනා "මම මේක කරන්නේ නැහැ, මම ඒක කරන්නේ නැහැ" කියලා කියන්න පුළුවන්. ඔවුන්ගේ සාක්ෂිය ඍණාත්මකයි! "මම චිත්‍රපට බලන්න යන්නේ නැහැ, මම බොන්නේ නැහැ, මම සූදුව කරන්නේ නැහැ, මම සිගරට් බොන්නේ නැහැ." ඔවුන් බාල්ට නමස්කාර කරන්නේ නැහැ, නමුත් ස්වර්ගයෙන් ගින්න ගෙනෙන්න පුළුවන් කාටද? එලියා කළාක් මෙන් දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියෙහි ජීවත් වන තැනැත්තාටය; එලියාට ලුණු තිබුණි.
අළුත් ගිවිසුමේත් එය එසේමයි. ප්‍රේරිත පාවුල් කිසිදා නොසිටියේ නම්, සභාවට මුහුණ දීමට සිදු විය හැකි වූ පාඩුව සහ අපට මුහුණ දීමට සිදු වන්නාවූ පාඩුව ඔබට සිතාගත හැකිද? ශුද්ධ ලියවිල්ල කොපමණ ප්‍රමාණයක් අහිමි වීමට තිබුණාද? ඔහු එක් මිනිසෙකි! ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේගේ කාර්‍යය එක් මිනිසෙකුගේ අසමත් වීම නිසා බාධාවක් නොවනු ඇත (දෙවියන් වහන්සේට වෙනත් කෙනෙකු භාවිතා කළ හැකිව තිබුණි), නමුත් ශුද්ධ ලියවිල්ලේ අපට පෙනෙන දෙය නම්, බොහෝ විට දෙවියන් වහන්සේ සම්මුතිවාදීන් 10,000 ක් කරනකොට ගෙන කරන දේට වඩා මුළු හදවතින්යුතු එක් පුද්ගලයෙකු කරනකොට ගෙන වැඩි යමක් ඉටු කරන බවයි. යේසුස් වහන්සේ තම ගෝලයන්ට “නුඹලා ලුණු මෙන් ය” යැයි පවසන විට උන්වහන්සේ අවධාරණය කරන්නේ එයයි. එම නිසා “අපි ඉතා ස්වල්ප දෙනෙක්නේ!” කියා කිසි විටෙකත් පැමිණිලි නොකරන්න.