WFTW Body: 

1 වන පේතෘස් හි, අපොස්තුළු පේතෘස් යටත්වීම ගැන බොහෝ දේ කථා කරයි. දෙවියන් වහන්සේගේ සැබෑ අනුග්‍රහය අත්විඳින මිනිසෙකු සෑම විටම ඔහු යන ඕනෑම තැනක අධිකාරියට යටත් වනු ඇත. යටත්වීම ගැන ඔහුට කිසිසේත්ම ගැටළුවක් නොමැත. ආදම්ව මැවීමට බොහෝ කලකට පෙර ඇති වූ කැරලිකාරකම නිසා පාපය ආරම්භ විය. ඉහළම අග්‍ර දේවදූතයා දෙවියන් වහන්සේගේ අධිකාරියට එරෙහිව කැරලි ගසා ක්‍ෂණයකින් සාතන් බවට පත් විය. ඒ නිසා " කැරලිකාරකම පේන කීමේ පාපයට සමානයි" (1 සාමුවෙල් 15:23) - මන්ද පේනකීමේදී මෙන්ම, කැරලිකාර ආත්මයක් කෙනෙකුව දුෂ්ඨ ආත්මයන් සමඟ සම්බන්ධ කරයි. යේසුස් වහන්සේ සාතන්ව පරාජය කළේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ආකාරයෙන් ජීවත් වීමෙනි. උන්වහන්සේ තමාවම යටහත් කරගෙන තම පියාණන්ට පරිපූර්ණ ලෙස යටත් වෙමින් පොළොවට පැමිණි සේක; තවද මෙහි පොළොවේ උන්වහන්සේ අවුරුදු 30 ක් අසම්පූර්ණ යෝසෙප් සහ මරියාට යටත් විය, මන්ද ඔවුන් උන්වහන්සේගේ ස්වර්ගික පියාණන් උන්වහන්සේ කෙරෙහි තබා තිබූ මිනිස් බලධාරීන්‍ විය. දෙවියන් වහන්සේගේ සැබෑ අනුග්‍රහය අත්විඳ ඇති තැනැත්තා කැරලිකාර ආත්මයෙන් තම ප්‍රාණයෙහි ගැලවීම අත්විඳිනු ඇත. අධිකාරියට යටත් වීමේදී ඔබට ගැටලුවක් තිබේ නම්, ඔබ ඔබේ ප්‍රාණයෙහි ගැලවීම ලබා ගත යුතුය.

කිතුණුවන්ව සියලු මිනිස් බලධාරීන්ට, රජවරුන්ට, ආණ්ඩුකාරවරුන්ට යනාදියට යටත් වීමට කැඳවනු ලැබේ (1 පේතෘස් 2:13, 14). ඒ කාලයේ රෝමයේ අධිරාජ්‍යයා වූයේ නීරෝ ය, ඔහු රෝමය පාලනය කළ දුෂ්ටතම රජවරුන්ගෙන් කෙනෙකු වූ අතර කිතුණුවන්ට පීඩා කර මරා දැමූ අයෙකි. එහෙත් පේතෘස් තුමා කිතුණුවන්ට පවසන්නේ ඔහුට යටත් වීමට පමණක් නොව, "රජුට ගෞරව කරන ලෙසත් ය" (1 පේතෘස් 2:17). ඔහු පවසන්නේ අප "සියලු මිනිසුන්ට ගෞරව කළ යුතු" බවයි. (1 පේතෘස් 2:17). පැරණි ගිවිසුම යටතේ, නීතියේ ප්‍රකාරයට වයස්ගත අයට ගෞරව කළ යුතුය (ලෙවී කථාව 19:32). නමුත් නව ගිවිසුම යටතේ, අපි සියලු මිනිසුන්ට ගෞරව කළ යුතුය. නව ගිවිසුම යටතේ සෑම ක්‍ෂේත්‍රයකම ප්‍රමිතිය උසස්‍ ය. පැරණි ගිවිසුම යටතේ, මිනිසුන්ට දෙවියන් වහන්සේට 10% ක් දිය යුතු විය. නව ගිවිසුම යටතේ, අපි සියල්ල දිය යුතුය (ලූක් 14:33). පැරණි ගිවිසුම යටතේ, එක් දිනක් ශුද්ධව තබා ගත යුතු විය (සබත්). නව ගිවිසුම තුළ, සෑම දිනකම ශුද්ධව සිටිය යුතුය. පැරණි ගිවිසුම යටතේ කුලුඳුල් පිරිමි දරුවා දෙවියන් වහන්සේට කැප කළ යුතු විය. නව ගිවිසුමේ දී, අපගේ සියලු දරුවන් දෙවියන් වහන්සේට කැප කළ යුතුය. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අත්විඳ ඇති මිනිසෙකුට සියලු මිනිසුන්ට ගෞරව කිරීමේ කිසිදු දුෂ්කරතාවයක් නොමැත. අපි යේසුස් වහන්සේ මෙන් සේවකයින් විය යුතු අතර, එබැවින් අපි සෑම කෙනෙකුටම ගෞරව කිරීමට සතුටු වන අතර "අන් සියල්ලන්ම අපට වඩා වැදගත් යැයි සලකමුව" (පිලිප්පි 2:3).

ඉන්පසු ඔහු විශේෂයෙන් සේවකයින්ට කථා කර ඔවුන්ගේ ස්වාමිවරුන්ට යටත් වන ලෙස පවසයි. සියලුම ප්‍රේරිතයන් සේවකයින්ට තම ස්වාමිවරුන්ට යටත් වන ලෙස ඉගැන්වූහ. තම කාර්‍යාලයේ හෝ කර්මාන්ත ශාලාවේ තම බලධාරීන්ට එරෙහිව කැරලි ගැසීමේ ආත්මයක් ඇති කිතුණුවකු ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඉතා දුර්වල සාක්‍ෂිකරුවෙකි. පාසලේ හෝ විද්‍යාලයේ තම ගුරුවරුන්ට එරෙහිව කැරලි ගසන ක්‍රිස්තියානි ශිෂ්‍යයෙකු ද ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ඉතා දුර්වල සාක්‍ෂිකරුවෙකි. එවැනි කිතුණුවකු "දෙවියන් වහන්සේගේ සැබෑ අනුග්‍රහය" කිසිසේත් තේරුම් ගෙන නැත. යේසුස් වහන්සේ පැමිණ වසර 30 ක් තිස්සේ අසම්පූර්ණ භූමික දෙමාපියන්ට යටත් වූ බව ඔහු තේරුම් ගෙන නැත. මෙය අප සැමට ඉගෙන ගත යුතු පාඩමකි. සේවකයින් ඔබේ ස්වාමිවරුන්ට සියලු ගෞරවයෙන් යටත් විය යුතුය. ඔබ කාර්‍යාලයක, කර්මාන්ත ශාලාවක, පාසලක, රෝහලක හෝ ඕනෑම තැනක සේවය කරන්නේ නම්, එම ස්ථානයේ ඔබට ඉහළින් සිටින අයට ඔබ ගෞරවය දැක්විය යුතුය.

අපි අපේ දරුවන්ට , අනෙක් දරුවන් සමඟ එකතු වී ගුරුවරුන්ට විහිළු කිරීමට නොව ගුරුවරුන්ට ගරු කිරීමට ඉගැන්විය යුතුය. යහපත් හා මෘදු ස්වාමිවරුන්ට පමණක් නොව අසාධාරණ අයටද ගරු කිරීමට සේවකයින් ඉගෙන ගත යුතුය. හොඳ ස්වාමියෙකුට යටත් වීම පහසුය, නමුත් "දෙවියන් වහන්සේගේ සැබෑ අනුග්‍රහය" අත්විඳ ඇති කිතුණුවකු අසාධාරණ ස්වාමියෙකුටද යටත් වනු ඇත (1 පේතෘස් 2:18). ඔබ අසාධාරණ ස්වාමියෙකුට යටත් වන විට කිතුනුවකු ලෙස ඔබේ ආලෝකය බැබළෙයි. දැවෙන ඉටිපන්දමක් හිරු එළියේ පහසුවෙන් නොපෙනේ. නමුත් රාත්‍රියේදී සෑම කෙනෙකුටම එහි ආලෝකය දැකිය හැකිය. එලෙසම, කිතුණුවකුගේ ආලෝකය වඩාත් දීප්තිමත් ලෙස පෙනෙන්නේ ඔහු අඳුරු පරිසරයක සිටින විටය.

යම් වරදක් කර දඬුවම් ලැබූ විට ඉවසිලිවන්තව යටත් වීමෙන් කිසිදු ගුණධර්මයක් නොමැත. නමුත් ඔබ හරි දේ කළ විට පවා, ඔබ ඉවසිලිවන්තව දුක් විඳදරාගන්නා විට, දෙවියන් වහන්සේ ඔබ ගැන සතුටු වනසේක (1 පේතෘස් 2:20). අසාධාරණ ලෙස දුක් විඳීම පේතෘස්ගේ ලිපියේ ශ්‍රේෂ්ඨ තේමාවකි. යේසුස් වහන්සේ ද දුක් වින්දේ එලෙසම බව ඔහු තවදුරටත් පවසයි. එසේය, ඊට නුඹලා කැඳවනු ලැබුවහුය. මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නුඹලා නිසා වධවිඳ, නුඹලා උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක. "උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක, උන්වහන්සේගේ මුඛයෙහි වංචාවක්ද සම්බවුණෙත් නැත, උන්වහන්සේ නින්දාකරනු ලැබූ කල නින්දා නොකළසේක; වධවින්ද කල තර්ජන නොකර, ධර්මිෂ්ඨලෙස විනිශ්චයකරන තැනන්වහන්සේට කාරණය භාරදුන්සේක" (1 පේතෘස් 2:21-23). "දෙවියන් වහන්සේගේ සැබෑ අනුග්‍රහය" තේරුම් ගත් කිතුනුවකු ද හැසිරෙන්නේ එලෙසමය.

සවන් දීමට.