WFTW Body: 

උත්පත්ති 22 හි පරිච්ජේදය ආරම්භ වන්නේ, "මේ දේවල් වලින් පසුව....." යන වාක්‍ය ඛණ්ඩය සමඟිනි. මෙම පරීක්ෂාවේ පැයට මඳකට පෙර ඇති තත්වයන් දෙස බලන විට, ආබ්‍රහම් ජයග්‍රාහී ස්ථානයක සිටින බව අපට පෙණේ. අන‍්‍යජාතිකයෝ ඔහු වෙත පැමිණ මෙසේ කීහ, "ආබ්‍රහම්, අපි ඔබගේ ජීවිතය දෙස බලා සිටින්නෙමු, ඔබ කරන සෑම දෙයකදීම දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි දනිමු" (උත්පත්ති 21: 22). සාරා ආශ්චර‍්‍යමත් ලෙස පිළිසිඳගත් ආකාරය ගැන ඔවුන් අසා ඇති අතර දෙවියන් වහන්සේ මෙම පවුල සමඟ සිටින බව ඒත්තු ගත් බවට කිසිදු සැකයක් නැත. ඉශ්මායෙල්ව පිටුවහල් කර තිබුණි. ඊසාක් දැන් ආබ්‍රහම්ගේ හදවතේ ආදරණීයයා විය. ආබ්‍රහම් මේ අවස්ථාවේදී සිටියේ, දෙවියන් වහන්සේ කෙරෙහි වූ ඔහුගේ පළමු ප්‍රේමය සහ භක්තිය අහිමිවීමේ බරපතල අනතුරකය. එබැවින් දෙවියන් වහන්සේ නැවතත් ඔහු පරීක්ෂා කර, පූජාවක් ලෙස ඊසාක්ව ඔප්පු කරන ලෙස ඔහුට කී සේක. නමුත් ආබ්‍රහම්ට ඇසීමට කණ් තිබූ අතර දෙවියන් වහන්සේ අණ කළ ඕනෑම දෙයකට කීකරු වීමට කැමති හදවතක් තිබුණි. ඔහු පසුදා අළුයම නැගිට දෙවියන් වහන්සේට කීකරුවීමට පිටත් විය (උත්පත්ති 22: 3). පෙර දා දෙවියන් වහන්සේ ඔහුට කථා කිරීමෙන් පසු, පුරාණ පීතෘමූලිකයා රාත්‍රියේදී මුහුණ දුන් දේ ගැන කිසිවක් ලියවිල්ල අපට නොකියයි. එදා රෑ ඔහු නිදා නොගත් බව මට විශ්වාසයි. ඔහු අවදියෙන් සිට, ගොස් තම ආදරණීය පුතා දෙස නැවත නැවතත් බලන්නට ඇත; එසේම ඔහුට කරන්නට තිබෙන දේ ගැන සිතන විට ඔහුගේ ඇස්වලින් කඳුළු ගලා යන්නට ඇත.

“සැබෑ ආත්මික දැණුම ලබා ගත හැක්කේ අප, දෙවියන් වහන්සේ උදෙසා සියල්ල අත්හරින විට පමණි”.

ආබ්‍රහම්ට තම මහළු වියේදී ලැබුණා වූ පුත්‍රයාව පූජා කිරීම කොතරම් දුෂ්කර වන්නට ඇද්ද? නමුත් ඔහු දෙවියන් වහන්සේට කීකරු වීම පිණිස ඕනෑම මිළයක් ගෙවීමට කැමති විය. ඌර්හි දී අවුරුදු පනහකට පමණ පෙර, දෙවියන් වහන්සේ ඔහුව කැඳවූ විට ඔහු නඟුලට අත තැබුවේය. ඔහු දැන් ආපසු හැරී බලන්නේ නැත. ඔහුගේ කීකරුකමට සීමාවක් නොතිබූ අතර ඔහුගේ දෙවියන් වහන්සේ වෙනුවෙන් පූජා කිරීමට ඔහුගේ කැමැත්තේ කෙළවරක් නොවීය. එබැවින් ඔහු දෙවියන් වහන්සේගේ මිතුරා වීම පුදුමයක් නොවේ.

ඊසාක්ව පූජා කිරීමට මොරියා කන්ද නැඟ ගිය විටදී, දෙවියන් වහන්සේ තම පුත්‍රයාව කෙසේ හෝ මළවුන්ගෙන් නැඟිටුවන බවට, ආබ්‍රහම්ගේ හදවතේ ඇදහිල්ලක් තිබූ බව හෙබ්‍රෙව් 11: 19 හි අපට පවසයි. දෙවියන් වහන්සේ ඒ වන විටත් ඊසාක්ගේ උපත හරහා ආබ්‍රහම්ට ඔහුගේම ශරීරයෙන් සහ සාරාගේ ශරීරයෙන් නැවත නැඟිටීමේ බලයේ පූර්ව රසය ලබා දී තිබුණි. එවැනි දෙවි කෙනෙකුට පූජාසනය මත මරා දැමූ ඊසාක්ව නැවත ජීවත් කරවීම සැබැවින්ම ප්‍රශ්ණයක් නොවනු ඇත. එබැවින් ආබ්‍රහම් තම සේවකයන්ව මොරියා කන්ද පාමුල නවත්වා පිටත්ව යන විට ඔවුන්හට පවසන්නේ, "මම සහ කොළුවා අර පෙණෙන තැනට ගොස් නමස්කාර කර (අපි දෙදෙනාම) නැවත ඔබ වෙතට එන්නෙමු" කියාය (උත්පත්ති 22: 5). එය ඇදහිල්ලේ වචනයක් විය. ඊසාක් ඔහු සමඟ නැවත පැමිණෙනු ඇතැයි ඔහු විශ්වාස කළේය.

අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්න යනවා” කියා ඔහු තම සේවකයන්ට පැවසීමත් සැළකිල්ලට ගන්න. දෙවියන් වහන්සේ තමාගෙන් ඕනෑවට වඩා දේවල් ඉල්ලා සිටින බවට ඔහු මැසිවිලි නඟන්නේ නැත, ඔහු දෙවියන් වහන්සේ වෙනුවෙන් කිරීමට යන අතීශ්‍යය පූජාව ගැන පුරසාරම් දොඩන්නේත් නැත. ආබ්‍රහම් දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන කැපකිරීම් ගැන සූක්ෂම ලෙස අන්‍යයන්ට දැණුම් දෙන ගණයට අයත් කෙනෙකු නොවීය. ආබ්‍රහම් පැවසුවේ ඔහු තම දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට යන බවයි. තවද නමස්කාරයේ සැබෑ අරුථය අපට එහිදී වැටහෙන්නේය. යේසුස් වහන්සේ වරක් පැවසූ ආකාරය මතක්කර ගන්න, "ආබ්‍රහම් මාගේ දවස දැකීමට උදක්ම ප්‍රීති විය, ඔහු එය දැක ප්‍රීති විය" (යොහන් 8: 56). නිසැකවම ආබ්‍රහම් ක්‍රිස්තුස් වහන්සේගේ දවස දුටුවේ මොරියා කන්දේදී විය යුතුය. අපැහැදිළිව වුවද අනාවැකිමය දර්ශනයකින්, වයෝවෘද්ධ පීතෘමූලිකයාවු ආබ්‍රහම්, ඔහුගේම ක්‍රියාවෙන් දුටුවේ, පියාණන් වන දෙවියන් වහන්සේම තම ඒකජාතක පුත්‍රයාණන්ව කල්වාරි කන්දට ගෙන ගොස් මනුෂ්‍ය වර්ගයාගේ පව් උදෙසා පූජාවක් ලෙස පූජා කරන දවසේ පින්තූරයක් ය. ඒ වගේම එදා මෝරියා කන්දේදී, නොමඟ ගිය (විනාශයට යන) ලෝකයක් බේරගැනීම උදෙසා දෙවියන් වහන්සේගේ හදවතට මොන තරම් වැයවීමක් තිබේද කියා ආබ්‍රහම්ට දැණුනි. ඔහු එදින උදෑසන දෙවියන් වහන්සේගේ හදවත සමඟ සමීප ඇසුරක් ඇති ස්ථානයකට පැමිණියේය. ඔව්, ඔහු දෙවියන් වහන්සේට නමස්කාර කළේ - ලස්සන වචනවලින් සහ ගීතිකාවලින් පමණක් නොව, අධික මිළයක් ගත් කීකරුකමින් හා පූජාකිරීමක් තුළින් ය.

දෙවියන් වහන්සේ පිළිබඳ ගැඹුරු හා සමීප දැණුමක් ලබාගත හැක්කේ එවැනි කීකරුකමක් තුළින් පමණි. අපගේ මණසෙහි නිවැරදි දේවධාර්මීක තොරතුරු ඕනෑ තරම් රැස් කර ගත හැක. නමුත් සැබෑ ආත්මික දැණුම ලබා ගත හැක්කේ අප, දෙවියන් වහන්සේ උදෙසා සියල්ල අත්හරින විට පමණි. වෙනත් මාර්ගයක් නැත. ආබ්‍රහම්ව මෙහිදී පරීක්ෂා කරණු ලැබුවේ ඔහු වඩා ආදරය කරන්නේ දෙන්නාවූ තැණැන් වහන්සේට ද නැතහොත් උන්වහන්සේගේ දීමණාවලටද යන්නයි. ඊසාක් දෙවියන් වහන්සේගේ ත්‍යාගය වූවාට කිසි සැකයක් නැත, නමුත් ආබ්‍රහම්ට තම පුත්‍රයා කෙරෙහි අසීමිත සෙණෙහසක් තිබීමේ අනතුරක් විය. ඊසාක් ආබ්‍රහම්ගේ ආත්මික දර්ශනය වැසී යන පිළිමයක් බවට පත්වෙමින් සිටියේය. ඒ නිසා එවැනි විපතකින් ආබ්‍රහම්ව බේරගන්න දෙවියන් වහන්සේ මැදිහත් වූසේක.