කර්තෘ :   සැක් පූනන් වර්ග :   සභාව
WFTW Body: 

කොරින්තියේ සභාවට පාවුලුතුමා ලිව්වේ, "ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සහ එහි තනි තනි අවයවයන්ය (සාමාජිකයන්ය)" (1 කොරින්ති 12: 27) කියා ය. එපීස කිතුණුවන්ට පාවුලුතුමා යැවූ ලිපිය කේන්ද්‍ර වී ඇත්තේ, ඇදහිළිවන්තයන් ක්‍රිස්තුස් වහන්සේ තුළ එක් ශරීරයක් වීම යන ශ්‍රේෂ්ඨ සත්‍යය වටා ය. ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිස වන අතර සභාව උන්වහන්සේගේ ශරීරයයි (එපීස 1: 22,23). සෑම ඇදහිළිවන්තයෙක්ම මෙම ශරීරයේ අවයවයකි (සාමාජිකයෙකි). "එබැවින්, එකිනෙකා කෙරෙහි ඉවසීම පෙන්වමින්, යටහත්ව හා මෘදුව දෙවියන් වහන්සේගෙන් ඔබ ලත් කැඳවීමට ඔබින ලෙස ප්‍රේමයෙන් ගමන් කරන මෙන් ස්වාමින් වහන්සේගේ සිරකරුවා වන මම ඔබෙන් අයදිමි" යැයි අපි එපීස 4: 1-2 හි කියවමු. දෙවියන් වහන්සේ යටහත්කම, මෘදුකම, සහ ඉවසිලිවන්තකම සොයන සේක. ඔබගේ ප්‍රේමය කරණකොටගෙන, එකිනෙකාගේ අඩුපාඩු කම්වලට ඉඩ ප්‍රස්ථාව සළස්වන මෙන් (එපීස 4: 2 - ජීවමාන බයිබලයෙහි) පවස යි. කිසිදු සභාවක කිසිම-කෙනෙකු සර්ව සම්පූර්ණ නැත. සෑම කෙනෙකුම අත්වැරදීම් සිදුකරයි. එමනිසා සභාවෙහි එකිනෙකාගේ අඩුපාඩු කම් අප ඉවසා දරාගෙන යා යුතු ය. අපි එකිනෙකාට ප්‍රේම කරන නිසා, එකිනෙකාගේ අඩුපාඩු කම්වලට ඉඩ ප්‍රස්ථාව සැළැස්වීමට අපට සිදු වේ. “ඔබ අත් වැරැද්දක් කළොත්, මම එය වසන්නෙමි. ඔබ දෙයක් නිම නොකළොත්, මම එය නිම කරන්නෙමි.” ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ක්‍රියාකාරි විය යුත්තේ එළෙස ය. "සාමයෙහි බැඳීමෙන් ආත්මයේ එකමුතුකම රැක ගැනීමට උත්සුක වන්න” යි අපි එපීස 4: 3 හි කියවන්නෙමු. පාවුලුතුමාගේ බොහෝ ලිපිවල එකමුතුකම විශිෂ්ඨ තේමාවක් වන අතර ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ සභාව කෙරෙහි දරන්නාවූ බරද මෙයම වේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි, සෑම අවයවයක්ම (සාමාජිකයෙකුම) පළමුව හිසට අභ්‍යන්තරයෙන් සම්බන්ධ වී, පසුව අනෙක් අවයවයන් (සාමාජිකයන්) සමඟ අභ්‍යන්තරව හා නොවෙන්වන ලෙස සම්බන්ධවේ. මෙම අවයවයන්ගේ (සාමාජිකයින්ගේ) ඒකත්වය පියාණන්ගේ හා පුත්‍රයාණන්ගේ ඒකත්වය මෙන් වන තුරු මෙම අවයවයන් (සාමාජිකයින්) වර්ධනය විය යුතුය (යොහාන් 17: 21-23).

“ස්වාමින් වහන්සේ උදෙසා අප පූජා කිරීමට කැමති දේට සීමාවක් නොතිබිය යුතුය”.

“එක එක අවයවය (සාමාජිකයා) ඊට නිසි පරිදි ක්‍රියා කිරීමෙන් සෑම සන්ධියක්ම සපයන දේ එක් කිරීමෙන් මුළු ශරීරය ඊට සපයා ඇති එක එක අවයවයන් එකට සන්ධි කොට ඒකාබද්ධ කිරීමෙන්, ප්‍රේමයෙන් වර්ධයන විය යුතු බව පාවුලුතුමා එපීස 4 : 16 හි පවස යි. මෙහි ඇති සන්ධි සහෝදරත්වයේ සහභාගිකම ගැන කථා කරයි. එක් අතක පමණක් ඔබට සන්ධි කීයක් තිබේදැයි සලකා බලන්න. උරහිසේ සන්ධියක්, වැළමිටේ තවත් එකක්, මැණික් කටුවේ එකක්, පසුව සෑම ඇඟිල්ලකම තුනක් - අවම වශයෙන් 17 ඇත. ඔබේ අත නිදහසේ ක්‍රියා කිරීමට සලස්වන්නේ සන්ධීන් ය. ඔබට ශක්තිමත් ඉහළ බාහුවක් සහ ශක්තිමත් පහළ බාහුවක් තිබුණේ නම්, නමුත් ඔබේ වැළමිට දර දඬු නම්, එම අතෙන් ඔබට කළ හැක්කේ කුමක් ද? කිසිවක් නැත. ඔබට ශක්තිමත් හස්තයක් තිබීම පමණින් ම එය ප්‍රයෝජනවත් වන්නේ නැත. එයට ක්‍රියාකාරී සන්ධි ද අවශ්‍යවේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය සඳහා මෙය යෙදීම දැන් සලකා බලන්න. මෙන්න හොඳ සහෝදරයෙක්, ශක්තිමත් ඉහළ බාහුවක්. මෙන්න තවත් හොඳ සහෝදරයෙක්, ශක්තිමත් පහළ බාහුවක්. නමුත් ඔවුනට එක්ව එකිනෙකා සමඟ සහෝදරත්ව සහභාගිකමේ යෙදෙන්නට බැරි ය. අද ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ඛේදවාචකය එයයි. මිනිස් සිරුරේ මෙය ආතරයිටිස් ලෙස හැඳින්වෙන අතර එය ඉතා වේදනාකාරී ය. බොහෝ තම-සභාවල ආතරයිටිස් ඇත. අපේ සන්ධි නිසියාකාරව ක්‍රියා කරන විට ශබ්දයක් නොමැත. නමුත් ශරීරයක ආතරයිටිස් ඇති වූ විට එය කිරි කිරි හඬ නගන අතර සෑම චලනයක්ම සෞඛ්‍යයට අහිතකර ශබ්දයක් ඇති කරයි. සමහර ඇදහිළිවන්තයන් අතර ඇතැයි හැඳින්වෙන "සහෝදරත්ව සහභාගිකම" හරියටම මෙයාකාරමය. එය කෙඳිරිගායි. නමුත් සන්ධි හොඳින් ක්‍රියා කරන විට කිසිඳු ශබ්දයක් නොමැත. එකිනෙකා සමඟ අපේ සහෝදරත්ව සහභාගිකම එබඳු විය යුතුයි. ඔබ සමඟ එය එසේ නොවේ නම්, ආතරයිටිස් සඳහා ඔබ යම් බෙහෙතක් ගත යුතුය: ඔබේ “තම-ජීවිතයට” මැරෙන්න. එවිට ඔබ සුවය ලබන අතර අන් අය සමඟ ඔබේ සහෝදරත්ව සහභාගිකම මහිමාන්විත වනු ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි දෙවියන් වහන්සේගේ කැමැත්ත එයයි.

පැරණි ගිවිසුමේදී දෙවියන් වහන්සේගේ සෙනඟ වූ යුදෙව්වන්ට එක ශරීරයක් වීමට කිසිසේත්ම නොහැකි විය. එය කළ හැකි වූයේ යේසුස් වහන්සේ ස්වර්ගයට නැඟී මනුෂ්‍යයා තුළ වාසය කිරීම ශුද්ධාත්මයාණන් වැගිරවූ පසුව ය. දැන් දෙදෙනෙකුට එක් කෙනෙක් විය හැකිය. පැරණි ගිවිසුමේ ඉශ්රායලය රැස්වුණා වූ සෙනඟක් විය. ජාතිය විශාල වූ නමුත් එය තවදුරටත් රැස්වුණා වූ සෙනඟක් විය. කෙසේ වෙතත්, නව ගිවිසුමේ සභාව ශරීරයක් මිස, රැස්වුණා වූ සෙනඟක් නොවිය යුතුය. දෙදෙනෙකු එක් කෙනෙක් නොවන්නේ නම්, එවිට ඔබට එහි ඇති සියල්ල වන්නේ රැස්වුණා වූ සෙනඟක් පමණකි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වැදගත්ම දෙය නම් ප්‍රමාණය නොව එක්සත්කම වන අතර, මෙම ප්‍රමිතිය අනුව රැස්වුණා වූ සෙනඟක් නොවන ‘ශරීරයක්’ සොයා ගැනීම දුෂ්කර වේ. යමෙකු, සෑම තැනකම දකින්නේ ප්‍රමාණයෙන් වැඩි වන සෙනඟ මිස - එක්සත්කමින් යුත් ශරීරයක් නොවේ. නායකත්ව මට්ටමින් පවා ආරවුල් සහ ඊර්ෂ්‍යාව සහ තරඟය දක්නට ලැබේ. ලොව පුරා විවිධ ස්ථානවල ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ නියෝජනයක් ඇති කිරීමට දෙවියන් වහන්සේ අපේක්ෂා කරන සේක.

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි, දීමණා නොලැබුවෙකු වුවත්, සෑම පුද්ගලයෙකුම අගය කරනු ලැබේ. ඔහු ශරීරයේ අවයවයක් (සාමාජිකයෙක්) වන බැවින් ඔහුට වටිනාකමක් ලැබේ. ඇත්ත වශයෙන්ම, එය පවසන්නේ ශරීරයෙහි සමගිය ඇති වන පරිදි දීමණාවක් නොමැති සාමාජිකයාට දෙවියන් වහන්සේ වැඩි ගෞරවයක් ලබා දෙන බවයි (1 කොරින්ති 12: 24,25). සභාවෙහිදී කිසිම දීමණාවක් නැති අයට පවා, ඔවුන් දෙවියන් වහන්සේට බියව හා යටහත් නම්, අපට දෙවියන් වහන්සේගේ ආදර්ශය අනුගමනය ක‍රමින්, අප ඔවුනට ගෞරව කළ යුතු ය. බබිලෝනි සභාවේ, දක්ෂ දේශකයා, දක්ෂ ගායකයා සහ පරිවර්ථනය වූ ගඟනගාමියා ගෞරවයට පාත්‍ර වේ. නමුත් සභාවේ (දෙවියන් වහන්සේගේ කූඩාරමේ) අපි ස්වාමින් වහන්සේට බිය වන අයට ගෞරව කරමු (ගීතාවලිය. 15: 1,4 බලන්න). බබිලෝනිය සහ ජෙරුසලම අතර, අහසත් පොළොවත් අතර මෙන් ඇති වෙනසක් ඇත. අද දෙවියන් වහන්සේ අපට කියන්නේ බබිලෝනියෙන් පිටතට පැමිණ ජෙරුසලම ගොඩනඟන ලෙසයි (එළිදරව් 18: 4).

අපට අවම වශයෙන් වත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය දැක හැකි වන්නේ නම්, ඊර්ෂ්‍යාවට කිසිසේත්ම ඉඩක් ලැබෙන්නේ නැත. මිනිස් සිරුරේ පාදයට, නිකම්ම නිකම් පාදයක් වීම ගැටළුවක් නොවේ. එය කිසි විටෙකත් පාදයක් හැර වෙනත් දෙයක් වීමට අපේක්ෂා නොකරන අතර, අතක් වීමට එය කිසි විටෙකත් සිහින දකින්නේ නැත. එය පාදයක් වී සිටීමට, සෑහීමකට පත්වන්නේ ය. එය පාදයක්ව මැවීමේදී දෙවියන් වහන්සේට වැරදීමක් වී නැති බව එය දනී. පාදයක් වීමෙහි එය ප්‍රීති වේ; ඒ හා සමාන දෙයක් කිසි දිනෙක ඉටු කළ නොහැකි බව දැන සිටියත් අතින් කළ හැකි දේ දැක ඒ ගැන එක හා සමානව සතුටු වේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය “දුටු” සෑම කෙනෙකුටම එය එසේම වනු ඇත. ඔබ වෙනත් කෙනෙකු කෙරෙහි ඊර්ෂ්‍යා කරන විට, වෙනත් අවයවයක් (සාමාජිකයෙකු) දෙවියන් වහන්සේ විසින් බොහෝසේ පාවිච්චි කිරීම දැකීමෙන් ඔබට හදවතින්ම ප්‍රීති විය නොහැකි විට, ඔබ මෙම සත්‍යය කිසිසේත් අවබෝධ කරගෙන නැති බව පැහැදිලිය. හිස සමඟ සමීපව ඇසුරු කරන ඕනෑම අවයවයක් (සාමාජිකයෙක්) ශරීරයේ වෙනත් අවයවයක් (සාමාජිකයෙකුට) ගෞරව ලබන විට ප්‍රීති වී සතුටු වනු ඇත (1 කොරින්ති 12: 26).

1 සාමුවෙල් 18: 1-8 හි, ජොනතන් දාවිත් සමඟ ගිවිසුමකට එළඹීම ගැන අපි කියවමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි ගිවිසුම් සම්බන්ධථාවය කෙබඳු විය යුතුද යන්න පිළිබඳ මෙය ලස්සන චිත්‍රයකි. ජොනතන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණය හා බැඳුණු බව එහි සඳහන් වේ. මෙයද ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි අපගේ කැඳවීමයි - සතුරාට (වරදවා වටහාගැනීම්, ඊර්ෂ්‍යාව, සැකය, ආදිය) තුළින් රිංගා බෙදීමක් ඇති කළ නොහැකි පරිදි, අප අතර කිසිම හිඩසක් නැතිව එකෙකු මෙන් එකට ඒකාබද්ධව එකතු විය යුතුයි. නිරන්තරයෙන්ම තම-කමට නොමැරෙන්නේ නම්, එවැනි ගිවිසුමකට එළඹිය නොහැක.

ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි දෙවියන් වහන්සේ විසින් නියම කරන ලද විවිධත්වයක් ඇත. ක්‍රිස්තුස් වහන්සේගේ සමබර චිත්‍රයක් ලොවට ඉදිරිපත් කිරීම සඳහා දෙවියන් වහන්සේ අපගේ විවිධ ප්‍රකෘති ස්වභාවයන් සහ දීමණා භාවිතා කරයි. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙහි ඔබට හැර වෙන කිසිවෙකුටත් ඉටු කළ නොහැකි අසමසම හා සුවිශේෂී දේව සේවයක් ඇත. එසේම එම සේවය කිසි විටෙකත් සමබර එකක් නොවන්නේ ය. එය අසමතුලිත වනු ඇත. ශරීරයේ විවිධ සේවාවන් ඇති අන් අය සමඟ සහෝදරත්ව සහභාගිකමින් වැඩ කිරීමෙන් ඔබට ඔබේ සමබරථාවය සොයා ගැනීමට සිදු වේ. අපව අන් අය මත යැපීමට සලස්වමින් - දෙවියන් වහන්සේ අපව යටහත් ලෙස තබන්නේ එලෙසිනි. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා!

යේසුස් වහන්සේ පැමිණියේ තම ආදායමෙන් 10% ක් පමණක් උන්වහන්සේගේ පියාණන්ට දීමට නොවේ. උන්වහන්සේ පැමිණියේ නව ගිවිසුමක් පිහිටුවා, නව ගිවිසුම් සභාවක් ගොඩනැගීමට ය. එබැවින් උන්වහන්සේ සිය පියාණන්ට 100% ක් දුන්සේක. දැන් උන්වහන්සේ අපට පවසන්නේ "මාව අනුගමනය කරන්න" කියා ය. අපහට මිළය කුමක් වුවත්, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනැඟීමට අපි කැමැත්තෙන් සිටිය යුතුයි - එම මිළය අපගේ මුදල්, ගෞරවය, පහසුව, ශාරීරික ශක්තිය, කීර්ති නාමය, රැකියාව හෝ වෙනත් ඕනෑම දෙයක් වේවා. ස්වාමින් වහන්සේ උදෙසා අප පූජා කිරීමට කැමති දේට සීමාවක් නොතිබිය යුතුය. අපි කිසිම දෙයකින් අපේම සැණසීම හෝ අපේම සුව-පහසුව සෙවිය යුතු නැත. අප කරන සෑම දෙයක්ම ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩනැඟීම හා සම්බන්ධ විය යුතුය. අපගේ භූමික රැකියාව පවා අපගේ මූල්‍යමය ආධාර සඳහා සභාවේ සිටින අනෙක් අයට බරක් නොවන පරිදි අපගේ ජීවණෝපාය උපයන මාර්ගයක් පමණක් විය යුතුය.