WFTW Body: 

මුළු බයිබලයේම වාක්‍ය තුනකදී පමණක් මෙල්කිසදෙක් පෙනී සිටින නමුත් අපගේ ස්වාමින් වහන්සේව උත්තම පූජකයෙකු ලෙස හඳුන්වනු ලබන්නේ මෙල්කිසදෙක්ගේ පිළිවෙතේ හැටියටය (හෙබ්‍රෙව් 6: 20; උත්පත්ති 14: 18-20)! එය එතරම් පුදුමාකාර දෙයක් වන පිණිස මෙල්කිසදෙක් කළ දේ කුමක්ද? මෙල්කිසදෙක් ආබ්‍රහම්ගේ අවශ්‍යථා ගැන කිසිවක් නොදැන, ආබ්‍රහම්ගේ එම අවශ්‍යථා තුනම ඉටු කළේ, ඔහු දෙවියන් වහන්සේ ඔහුට කිරීමට කී දේ කළ බැවිනි.

මුලින්ම ඔහු ආබ්‍රහම්ට කෑම ටිකක් ගෙනාවේය. මෙල්කිසදෙක් සිහිනුවණ ඇති මිනිසෙකි! ඔහු ආත්මික මිනිසුන් තාපසයින් මෙන් විය යුතු යැයි හැඟෙන අධි-ආත්මික වර්ගයෙන් යුත් කෙනෙකු නොවේ! ඔහු ආබ්‍රහම්ට නිරාහාරව සිට යාච්ඤා කරන ලෙස කීවේ නැත, නමුත් ඔහුට හොඳ ආහාර වේලක් ලබා දුන්නේය!

වසර ගණනාවකට පසු, අධිකව වෙහෙසට පත්ව මාණසික අවපීඩනයෙන් පෙළුණු එලියාට දෙවියන් වහන්සේ ඒ දේම කළ සේක. දෙවියන් වහන්සේ ඔහු වෙත දේව දූතයෙකු එව්වේ "අනුශාසනාවක් සමඟ" නොව, පෝෂ්‍යදායී ආහාර සමඟිනි (1 රාජාවලිය 19: 5-8)!

 

"අපි මෙල්කිසදෙක් මෙන් දෙවියන් වහන්සේට සවන් දෙමින්, සෑම දිනකම, අප කළ යුතු දේ උන්වහන්සේගෙන් දැන ගැනීමට සොයමින් ජීවත් වීමට පටන් ගත්තොත් කුමක් සිදුවේදැයි මොහොතකට සිතන්න. අපෙන් ඕනෑම කෙනෙකුට මේ මිහිමත ජීවත් විය හැකි වඩාත්ම ප්‍රයෝජනවත් මාර්ගය එය වනු ඇත."

 

එය අපට අනුගමනය කිරීමට හොඳ ආදර්ශයකි - වෙහෙසට පත්ව සිටින, සහෝදරයෙකුට හෝ සහෝදරියකට ආහාර වේලක් රැගෙන යෑම. ඇදහිළිවන්තයෙකු මාණසික අවපීඩනයෙන් හෝ අධෛර‍්‍යයට පත් වූ විට, ඔහුට අවශ්‍ය වන්නේ හොඳ ආහාරයක් මිස අනුශාසනාවක් නොවේ - මන්ද ඔහු ආත්මය සහ ප්‍රාණය පමණක් නොව ශරීරයකින්ද සංයුක්ත වේ. අපි එය අමතක නොකළ යුතුයි!

ඔහුට ආහාර ලබා දීමෙන් පසු, මෙල්කිසදෙක් ආබ්‍රහම්ට ආත්මිකව ද උපකාර කළේය - ඒ ඔහුට දේශනා කිරීමෙන් නොව, නමුත් ආබ්‍රහම්ගේ ජයග්‍රහණය ගැන කෙටි වාක්‍ය දෙකකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමෙනි.

ඔහු පැවසුවේ, "අහසත් පොළොවත් හිමිවූ මහෝත්තම දෙවියන් වහන්සේගෙන් ආබ්‍රම්ට ආශීර්වාද වේවා; නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවයි කියාය." (උත්පත්ති 14: 19, 20). 

සමහර විට මෙල්කිසදෙක් පැය දෙකක් ආබ්‍රහම්ට සහ ඔහුගේ සේවකයින්ට කෑම සැපයීමට ගත කළ අතර පසුව තත්පර 15ක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා විය හැකිය. නමුත් මෙල්කිසදෙක්ගේ කෙටි ප්‍රශංසාව ප්‍රකාශ කිරීමේදී ආබ්‍රහම් කරුණු දෙකක් අවබෝධ කර ගත්තේය.

මුලින්ම, ආබ්‍රහම්ට තේරුම් ගියේ තමන් අයිති වන්නේ අහසයි පොළොවයි අයිති දෙවියන් වහන්සේට බවය. එය ඔහු දැන් පැහැරගනු ලැබූ සොදොම් රජුගේ භාණ්ඩවලට ආශා කිරීමෙන් ඔහුව ගළවා ගත්තේය. සොදොම්හි ධනය සැළකිය යුතු ප්‍රමාණයක් වුවත් - සොදොම් ඉතා ධනවත් ස්ථානයක් වූ නිසා, ආබ්‍රහම් දැන් දුටුවේ එම පැහැරගත් වස්තුව ඔහුගේ දෙවියන් වහන්සේට හිමි වූ අහසට පොළොවට සාපේක්‍ෂව කිසි වටිනාකමක් නැති කුණු කසළ හා සමාන බවයි. මෙල්කිසදෙක් ආබ්‍රහම්ට උදව් කළේ ඔහු අයිති කාටද කියා පැහැදිළිව දැකීමටයි.

මෙහිදී මෙල්කිසදෙක්ගේ ප්‍රඥාව සැළකිල්ලට ගන්න. ඔහු ආබ්‍රහම්ට, "ඔබ තණ්හාවෙන් සිටින බව ස්වාමීන් වහන්සේ මට පැවසූ අතර මම ඔබට අවවාද කිරීමට උන්වහන්සේගෙන් වචනයක් රැගෙන ආවෙමියි" ! කියා දේශනා කළේ නැත. ඔබ වෙනුවෙන් "ස්වාමින් වහන්සේගෙන් වචනයක්" ඇති බව සැමවිටම පවසන තමන් විසින්ම පත් කරගන්නා ලද "අනාගතවක්තෘවරුන්ගෙන්" පරෙස්සම් වන්න! එවැනි "අනාගතවක්තෘවරුන්" ව්‍යාජ අනාගතවක්තෘවරුන් වේ. මෙල්කිසදෙක් ඒ පැහැරගත් වස්තුවෙන් ආබ්‍රහම්ගේ අවධානය දෙවියන් වහන්සේ වෙත හැරෙව්වා පමණි. ඒ වගේම ආබ්‍රහම්ගේ ඇස් හමුවේ "මිහිපිට දේවල් පුදුමාකාර ලෙස අඳුරු විය". මිනිසුන්ට උපකාර කළ හැකි මාර්ගය එයයි.

දෙවනුව, එම රජවරුන් පරාජය කළේ ඔහු සහ ඔහුගේ සේවකයින් 318 දෙනා නොව නමුත් දෙවියන් වහන්සේ බව ආබ්‍රහම් පැහැදිළිව දුටුවේය! එය තවත් හෙළිදරව්වක් විය - එය ආබ්‍රහම්ව උඩඟුකමෙන් ගළවා ගත්තේය. ආබ්‍රහම්ගේ අවධානය ඔහුගේ ජයග්‍රහණයෙන් දෙවියන් වහන්සේ වෙතට හැරවීමට නැවතත් මෙල්කිසදෙක් සමත් විය!

හොඳම දේශකයා වන්නේ අපෙන් සහ අපගේ ජයග්‍රහණ වෙතින් අපගේ අවධානය ස්වාමින් වහන්සේ වෙතට හැරවිය හැකි තැනැත්තාය.

දැන් අපි මේ කථාවේ හොඳම කොටසට පැමිණෙමු. ආබ්‍රහම්ට ආශීර්වාද කිරීමෙන් පසු මෙල්කිසදෙක් අතුරුදහන් විය. අපි ඔහු ගැන බයිබලයේ නැවත කිසි තැනක නොකියවන්නෙමු. ඔහුගේ නම දිස්වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය ලෙස පමණි.

මෙල්කිසදෙක් එදින උදෑසන ඔහුගේ කූඩාරමේ යාච්ඤා කරමින් සිටියා විය යුතුය, දෙවියන් වහන්සේ ඔහුට කථා කර, කළ යුතු දේ ඔහුට පැවසූ විට. ඔහු ආබ්‍රහම්ව දැන සිටියේ නැත, නමුත් ඔහු දෙවියන් වහන්සේව දැන සිටියේය. එමෙන්ම එය ප්‍රමාණවත් විය. දෙවියන් වහන්සේ ඔහුට කළ යුතු දේ පැවසූ අතර ඔහුව බොහෝ දෙනෙකුට ආශීර්වාදයක් බවට පත්කළ සේක.

මෙල්කිසදෙක්ගේ පිළිවෙතේ හැටියට පූජකයින් වන පිණිස අපව කැඳවා ඇත්තේ මොනතරම් සේවයකටද! අපි මිනිසුන්ට ශාරීරිකව හා ආත්මිකව ආශීර්වාද කළ යුතුයි - පසුව අපට ස්තූති කිරීමට පවා කළින් අතුරුදහන් වියයුතුයි!

ඔබ දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ මිනිසෙකු යැයි මිනිසුන් සිතීම ඔබට අවශ්‍යද නැතහොත් ඔබට ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙකු සිටින බව ඔවුන් දැන ගැනීමට ඔබට අවශ්‍යද? ආගමික සේවයක් සහ ආත්මික සේවයක් අතර වෙනස ඇත්තේ එහිය. ආරොන්ගේ පූජකත්වය සහ මෙල්කිසදෙක්ගේ පූජකත්වය අතර වෙනස එහි තිබේ. ආරොන් නිරන්තරයෙන් මිනිසුන් ඉදිරියේ පෙනී සිටිමින් ඔවුන්ගෙන් ගෞරවය ලබා ගත්තේය. මෙල්කිසදෙක් මිනිසුන්ට සේවය කර අතුරුදහන් විය!

යේසුස් වහන්සේ තම භූමික කාලය තුළ සේවය කළේ එලෙස ය. උන්වහන්සේ ජීවන සටන්වලදී බැට කෑ මිනිසුන්ගේ ආත්මික හා භෞතික අවශ්‍යථා සපුරාලීමට සෑම තැන ගොස් සේවය කළ සේක. තවද කිසිවකු තම සුව කිරීම් ප්‍රචාරය කරනවාට උන්වහන්සේට කිසිදා අවශ්‍ය නොවීය. උන්වහන්සේ කිසිවිටෙකත් සුව කරන්නෙකු ලෙස හඳුන්වනවාට කැමති නොවූ සේක. උන්වහන්සේට කිසිදා රජෙකු වීමට අවශ්‍ය නොවීය. උන්වහන්සේ පැමිණියේ අන් අයට සේවය කිරීමට සහ ඔවුන් වෙනුවෙන් තම ජීවිතය පිදීමටය. උන්වහන්සේට ප්‍රසිද්ධ වීමට අවශ්‍ය නොවීය. හෙරොද්ටවත් පිලාත්ටවත් අන්නස්ටවත් කායාෆස්ටවත් උන්වහන්සේගේ නැවත නැඟිටීමෙන් පසු ඔවුන්ගෙන් කිසිවකුට පෙනී සිටීමෙන් උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බව ඔප්පු කිරීමට උන්වහන්සේට අවශ්‍ය නොවීය. උන්වහන්සේගේ නැවත නැඟිටීමෙන් පසු උන්වහන්සේ කිසිවිටෙකත් පරිසිවරුන්ගෙන් හෝ සද්දුසිවරුන්ගෙන් කිසිවකුට පෙනී සිටියේ නැත, මන්ද මිනිසුන් ඉදිරියේ තමාව සාධාරණීකරණය කිරීමට උන්වහන්සේට අවශ්‍ය නොවීය. උන්වහන්සේ ගැන මනුෂ්‍යයින්ගේ අදහස් ගැළපෙන්නේ කුණු බක්කියට පමණක් බව උන්වහන්සේ දැන සිටිසේක!

අපි මෙල්කිසදෙක් මෙන් දෙවියන් වහන්සේට සවන් දෙමින්, සෑම දිනකම, අප කළ යුතු දේ උන්වහන්සේගෙන් දැන ගැනීමට සොයමින් ජීවත් වීමට පටන් ගත්තොත් කුමක් සිදුවේදැයි මොහොතකට සිතන්න. අපෙන් ඕනෑම කෙනෙකුට මේ මිහිමත ජීවත් විය හැකි වඩාත්ම ප්‍රයෝජනවත් මාර්ගය එය වනු ඇත.

අප හා සම්බන්ධ වන්නන් කායිකව හා ආත්මිකව ආශිර්වාද ලබන පිණිස එවන් ජීවිතයක් ගත කිරීමට නොවේද, අපවද කැඳවා ඇත්තේ? අපි සියල්ලෝම මෙල්කිසදෙක්ගේ අනුපිළිවෙතින් පූජකයින් වීමට කැඳවා ඇත.