WFTW Body: 

"මක්නිසාද අපේ පොරබැඳීම වනාහී මාංසයට හා රුධිරයට විරුද්ධව නොව, අධිපතීකම් වලටත්, පරාක්‍රමධාරීන්ටත්, මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත්,ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ඨකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය" (එපීස 6: 12).

“අපගේ සියලු තත්වයන් අපගේ ආදරණීය පියාණන් විසින් අපගේ වඩාත්ම යහපත සඳහා සැකසුම් කර ඇත්තේ - උන්වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට මෙන් අපව හැඩගස්වා ගැනීම පිණිසයි”.

 මීට වසර 3500 කට පෙර මෝසෙස් සීනයි කන්දෙන් බැස ඉශ්‍රායෙල්වරුන්ට මේ පොළොවේ රාජ්‍යයක් පිළිබඳ දෙවියන් වහන්සේගෙන් පොරොන්දුවක් රැගෙන ආවේය. නමුත් වසර 2000කට පෙර යේසුස් වහන්සේ ස්වර්ගයෙන් බැස ස්වර්ග රාජ්‍යයක් පිළිබඳ පොරොන්දුවක් අපට ගෙන ආසේක. නව ගිවිසුම සහ පැරණි ගිවිසුම අතර ඇති මූලික වෙනස මෙයයි. අපි මෙය තේරුම් නොගන්නේ නම්, සාතන්ට එරෙහිව ඵළදායී යුද්ධයක් කිරීමට අපට නොහැකි වනු ඇත.

අපේ රාජ්‍යය මේ ලෝකයට අයත් නොවේ. එබැවින් අප කිසිම ආකාරයෙන්, කිසිවිටෙකත් මිනිසුන් සමඟ කිසිම කරුණක් සම්බන්ධයෙන් රණ්ඩු නොවිය යුතුය. ඵළදායී ආත්මික යුද්ධයක් සඳහා අංක එකේ අවශ්‍යථාවය මෙයයි. සාතන් ඇදහිළිවන්තයින්ව ඔවුන්ගේ කැඳවීම්වලින් ඈත් කිරීමට උත්සාහ කරන ප්‍රධාන මාර්ගයක් නම්, ඔවුන් අන් අය සමඟ - ඔවුන්ගේ ඥාතීන් හෝ ඔවුන්ගේ අසල්වැසියන් හෝ ඔවුන්ගේ සහෝදර සහෝදරියන් සමඟ - රණ්ඩු කිරීමට හෝ සටන් කිරීමට සලස්වා දීමයි. තවද නිතරම පාහේ රණ්ඩුව යම් භූමික කාරණයක් සම්බන්ධයෙන් වනු ඇත. මෙළෙස, ඇදහිළිවන්තයින් ඔවුන්ගේ ස්වර්ගීය ස්ථාන වලින් මේ පොළොවට සහ එහි කටයුතුවලට ඇදගෙන ඒමට ඌ සමත් වන අතර එමඟින් ඌට එරෙහි සටනේදී ඔවුන්ව අකාර‍්‍යයක්ෂම කරයි.

ඔබට සාතන් සමඟ සාර්ථකව සටන් කර සභාව ගොඩනඟා ගැනීමට අවශ්‍ය නම්, ඔබ කිසිවිටෙක කිසිම මනුෂ්‍යයෙකු සමඟ හෝ කිසිම භූමික දෙයක් සම්බන්ධයෙන් ආරවුලකට සම්බන්ධ නොවන බවට අධිෂ්‍ඨාන කරන්න. අප අන් අය සමඟ අපගේ මණසෙහි මනඃකල්පිත සටන් පවා නොකළ යුතුය. කිසිවෙකුට එරෙහිව එක පැමිණිල්ලක්වත් අපට නොතිබිය යුතුය.

තවද අපට කිසිවකුගෙන් අභ්‍යන්තර කොන්දේසියක් නොතිබිය යුතුය. නිදසුනක් වශයෙන්, මිනිසුන් අපට ගෞරවයෙන් හෝ සැළකිල්ලෙන් සැළකිය යුතු යැයි හෝ අපට ප්‍රේමය දැක්විය යුතු යැයි හෝ ඔවුන් කිසිවිටෙකත් අපට වංචා නොකළ යුතුයි හෝ අපව නොරැවටිය යුතුය යන කොන්දේසි අප සතුව නොතිබිය යුතුය, අපේ විවාහ සහකරුවන්ගෙන් පවා එවැනි ආකාරයේ බලාපොරොත්තු නොතිබිය යුතුය. එවැනි සියලු ආරවුල් සහ පැමිණිළි සහ කොන්දේසි පුද්ගලයෙකුගේ රාජ්‍යය මේ ලෝකයේ බවත්, ඔහු ඔහුගේ හදවතේ සාතන්ට තැන දී ඇති බවත් ඇඟවුම් කරයි. ඒ වගේම එවැනි අය දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට නියමිතයි.

අපට ක්‍රියා කිරීමට ඇත්තේ දෙවියන් වහන්සේ සමඟ පමණයි (හෙබ්‍රෙව් 4: 13). අපගේ සියලු තත්වයන් (අන් අය අපට සළකන ආකාරය ඇතුළුව) අපගේ ආදරණීය පියාණන් විසින් අපගේ වඩාත්ම යහපත සඳහා සැකසුම් කර ඇත්තේ - උන්වහන්සේගේ පුත්‍රයාගේ ස්වරූපයට මෙන් අපව හැඩගස්වා ගැනීම පිණිසයි. එමනිසා, අපට කිසිවෙකුට විරුද්ධව පැමිණිළි කිරීමට ඉඩක් නැත, නමුත් සෑම විටම දෙවියන් වහන්සේට ප්‍රශංසා කිරීමට ඕනෑ තරම් ඉඩ තිබේ.