WFTW Body: 

සැබෑ කිතුණු සහභාගිකම ආලෝකය මත පදනම් විය යුතුය. අපට එකිනෙකා සමඟ සැබෑ සහ ගැඹුරු ඇසුරකින් ගමන් කළ හැක්කේ අප ආලෝකයේ ගමන් කිරීමට කැමති නම් පමණි. මෙයට සියලු කූට මූනිච්චාවෙන් වැළකී, අප එකිනෙකා සමඟ අපම වී සිටීමට ඇති කැමැත්ත ඇතුළත් වේ. කිතුණුවන් එකිනෙකා සමඟ මෙයාකාරව ගමන් කිරීම දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වේ. මතක තබා ගන්න, මුල් සභාවේ දෙවියන් වහන්සේ විසින් ප්‍රසිද්ධියේ විනිශ්චය කරන ලද පළමු පාපය මූනිච්චාව විය ( ක්‍රියා5:1-14 හි වාර්තා කර ඇති අනනියස් සහ සෆීරාගේ කථාව බලන්න).

අන්‍යෝන්‍ය සබඳතාවලදී අප සියල්ලන්ම වෙස් මුහුණු පැළඳීමට පාපය හේතු වී තිබේ. අපගේ නියම ස්වභාවය අන් අය අපව හඳුනා ගැනීමට අපි බිය වෙමු, ලැජ්ජා වෙමු. අපි ජීවත් වන්නේ වෙස් මුහුණු පැළඳ සිටින මිනිසුන්ගෙන් පිරුණු ලෝකයකය; එසේම මිනිසුන් නැවත හැරුනායින් පසු පවා, ඔවුන් ඔවුන්ගේ වෙස්මුහුණු ගලවන්නේ නැත. ඔවුන් වෙස්මුහුණු පැළඳ රැස්වීම්වලට ගොස් වෙනත් පුද්ගලයින් හමුවී - එය කිතුනු සහභාගිත්වය ලෙස හඳුන්වති. නමුත් එවැනි සහභාගීකම විගඩමකි. එහෙත් යක්ෂයා එපමණකින්ම බොහෝ කිතුණුවන් සෑහීමට පත් කර ඇත.

අපි කාටවත් අපේ වෙස්මුහුණු සම්පූර්ණයෙන්ම ගලවන්න බැරි බව සත්‍යයකි. පව්කාර ලෝකයක ජීවත් වෙමින් එමෙන්ම අසම්පූර්ණ සභාවක සහභාගීකමෙහි පවතිමින් සහ අපගේ මාංශයෙන් අපම බැඳී සිටින විටදී, අන් අය සමඟ සම්පූර්ණයෙන්ම අවංක වීමට නොහැකි වනවා සේම එසේ කිරීම ප්‍රසන්න ද නොවේ. සම්පූර්ණ අවංකකම කළ නොහැක්කකි, මන්ද අපට අපවම සම්පූර්ණයෙන් දැකිය නොහැකි බැවිනි. එය අනුන්ට බාධාවක් විය හැකි බැවින් එසේ කිරීම ඥානාන්විත නොවේ.

අවංක වීමේදී අපට ප්‍රඥාව අවශ්‍ය වේ. නමුත් අප කිසිවිටෙක අපම නොවන දෙයක් බොරුවට ඇඟවිය යුතු නැත. එය මූනිච්චාවයි - මූනිච්චාව යේසුස් වහන්සේ විසින් එක හෙළාම හෙළා දකින ලදී.

ස්වයං-ධර්මිෂ්ඨ වීම සහ පරිසාවාදී ආකල්පයන්, බොහෝ කිතුණුවන්ව, අන් අයට උපකාර වීමේ සහ දිරිගැන්වීමේ මාධ්‍යයක් වීමෙන් වළක්වන්නේය. අපගේ ආකල්පය විය යුත්තේ අපගේ සෙසු-ඇදහිළිවන්තයින් සහ වෙනත් අය නිදහස්ව, "ඔවුන්ගේ ප්‍රෞද්ගලික ප්‍රශ්ණ නොබියව පැවසීමටත්" සහ ඔවුන්ගේ හදවතෙහි පීඩිතවූ එදිනෙදා ජීවිතයේ ප්‍රශ්ණ බර අඩු කර ගැනීමටත්, ඔවුන්ගේ නොදැණුවත්කම හෝ ඔවුන්ගේ අසාර්ථකත්වයන් නිසා ඔවුන්ව හෙළා නොදකින බවත්, ඔවුන්ව අනුකම්පාවෙන් හා අවබෝධයෙන් පිළිගැණෙන බව දැන, නිදහස්ව අපවෙත පැමිණීමට ප්‍රස්ථාව සැලසීමය.

“හුදකළාවෙන්, නොසන්සුන් කමෙන්, ආතතියෙන්, බියෙන් හා කනස්සල්ලෙන් පෙළෙන මිනිසුන්ගෙන් ලෝකය පිරී ඇත. ඔවුන්ගේ ප්‍රශ්ණ වලට පිළිතුර ක්‍රිස්තුස් වහන්සේ සතුව ඇත, නමුත් එම පිළිතුර ඔවුන් වෙත පැමිණිය යුත්තේ උන්වහන්සේගේ ශරීරය වන සභාව තුළින්ය. නමුත් අහෝ, බොහෝ කිතුණුවන් කෙතරම් ස්වයං-ධර්මිෂ්ඨ සහ යථාර්ථවාදී නොවනවාදයත් ඔවුන් අවශ්‍යථා ඇති මිනිසුන්ව පළවා හරිති.

‘අලුත් මුද්‍රිකපානයේ රස’ නැමැති පොතේ කතෘ වන කීත් මිලර් එහි මෙසේ පවසයි,

"අපේ නූතන සභාව, පිරිසිඳු යයි පෙනුමැති, පිරිසිඳු යයි දැණෙන, අභ්‍යන්තරයෙන් තමන් ගැනම එපාවූ, ඔවුන්ගේ දුර්වලතා, ඔවුන්ගේ කළකිරීම්, සහ සභාවේ ඔවුන් වටා යථාර්ථය නොමැති කමින් පිරුණාවූ බොහෝ මිනිසුන්ගෙන් පිරී ඇත. අපගේ ක්‍රිස්තියානි නොවන මිතුරන්ට එක්කෝ හැඟෙන්නේ, 'ඒ සුන්දර සන්සුන් මිනිසුන් පොකුර කිසිදා මගේ ප්‍රශ්ණ තේරුම් නොගනු ඇත'; නැතහොත් සමාජමය වශයෙන් හෝ වෘත්තීමය වශයෙන් අපව වඩාත් කිට්ටුවෙන් හඳුනන මිථ්‍යාදෘෂ්ටිකයින්ට හැඟෙන්නේ කිතුණුවන් වන අප එක්කෝ දැඩි ලෙස ආරක්‍ෂා වී ඇති අතර මිනිස් තත්වයන් ගැන නොසැලකිලිමත් හෝ අමු මූනිච්චාකාරයින් බවයි."

පුද්ගලික මට්ටමින් අන් අය සමඟ අවංක සහභාගීකමක් පැවැත්වීම යනු කුමක්දැයි අප ඉගෙන ගත යුතුය - තවද අප සියල්ලන්ටම එක් පුද්ගලයෙකුගෙන් ආරම්භ කළ හැකිය.

©Zac Poonen – [email protected]