WFTW Body: 

දෙවියන් වහන්සේ ආලෝකය සහ ප්‍රේමය වන සේක (1 යොහන් 1:5; 4:8). උන්වහන්සේ " ලඟාවිය නොහැකි ආලෝකයේ වාසය කරන සේක" (1 තිමෝති 6:16). උන් වහන්සේ ශුද්ධ බැවින්, උන්වහන්සේ අපවද ශුද්ධව සිටීමට කැඳවන සේක.

නමුත් මනුෂ්‍යයෙකුට ශුද්ධකම ලැබිය හැකි වන්නේ පරීක්‍ෂාව තුළින් යෑමෙන් පමණි. ආදම්ව, හොඳ සහ නරක පිළිබඳ දැනුමක් පවා නොමැතිව, නිර්දෝෂී ලෙස මවන ලදී. එබැවින් දෙවියන් වහන්සේට අවශ්‍ය වූයේ ආදම් ශුද්ධව සිටීමය. මේ උදෙසා දෙවියන් වහන්සේ ඔහුව පරීක්‍ෂා කරනු ලැබීමට ඉඩ හැරිය සේක.

“දෙවියන් වහන්සේගේ ආඥා දැරිය නොහැකි බවත් කීකරු විය නොහැකි ඒවා බවත් සාතන් නිතරම මිනිසාට පවසා ඇත. යේසුස් වහන්සේ මිනිසෙකු ලෙස පැමිණ සාතන්ගේ එම බොරුව උන්වහන්සේගේ පරිපූර්ණ කීකරු ජීවිතයෙන් හෙළිකළ සේක"

යහපත හා නපුර පිළිබඳ දැනුමේ ගස දෙවියන් වහන්සේ විසින්ම මවන ලද අතර එය නපුරු මැවිල්ලක් නොවීය. දෙවියන් වහන්සේ "ඉතා හොඳයි" යන වචන උච්චාරණය කළ ලෝකයක එය පැවතුනි (උත්පත්ති 1:31). එය ඉතා යහපත් විය, මන්ද එය ආදම්ට පරීක්‍ෂාවට එරෙහි වීමෙන් ශුද්ධ වීමට අවස්ථාව සලසා දුන් බැවිනි.

බයිබලය පවසන්නේ, "ඔබ විවිධ පරීක්‍ෂාවන්ට මුහුණ දෙන විට ඒ සියල්ල ප්‍රීතියක් ලෙස සලකන්න" (යාකොබ් 1:3), මන්ද පරීක්‍ෂාවන් අපට දෙවියන් වහන්සේගේ ශුද්ධකමට පංගුකාර වීමට අවස්ථාව ලබා දෙන අතර (හෙබ්‍රෙව් 12:10) "පරිපූර්ණත්වයට හා සම්පූර්ණත්වයට" පැමිණීමට අවකාශය සලසා දෙන්නේය (යාකොබ් 1: 4).

අපි යේසුස් වහන්සේගේ ශුද්ධකම දෙස බලන විට, දෙවියන් වහන්සේ ලෙස උන් වහන්සේට තිබූ එම ආවේනික ශුද්ධකම දෙස නොබලමු, මන්ද එය අපට ආදර්ශයක් නොවනු ඇත. අපි උන් වහන්සේ දෙස බලන්නේ "සියල්ලෙහිදී උන්වහන්සේගේ සහෝදරයන් හා සමාන වූ" සහ "අප මෙන් සෑම අතින්ම පරීක්‍ෂාවට ලක් වූ නමුත් පව් නොකළාවූ" තැනැන්වහන්සේ දෙස බලන්නා සේය (හෙබ්‍රෙව් 2:17; 4:15).

යේසුස් වහන්සේ අපගේ පෙරටුව යන්නා වන සේක (හෙබ්‍රෙව් 6:20). උන්වහන්සේ අපට දිවිය යුතු දිවීමේ තරඟයම දිව ගිය අතර, අපට අනුගමනය කිරීමට මග පෑදු සේක. ඒ නිසා උන්වහන්සේ අපට "මාව අනුගමනය කරන්න" කියා පවසන සේක (යොහන් 12:26). තවද අපට ඉදිරියෙන් දිවීම දිවගිය උන්වහන්සේ දෙස බලන විට, අපටත් ක්ලාන්ත නොවී හෝ සිත් තැවුලට පත් නොවී විඳදරාගැනීමෙන් දිවීමට හැකි වන්නේය (හෙබ්‍රෙව් 12:1-4).

ඕනෑම මිනිසෙකුට පැමිණිය හැකි සෑම පරීක්‍ෂාවක්ම යේසුස් වහන්සේ ද විඳදරාගත් සේක. උන්වහන්සේ " සියලු ආකාරයෙන්ම" අප වාගේ පරීක්‍ෂාවට ලක් කරනු ලැබූ සේක. මෙය හෙබ්‍රෙව් 4:15 හි පැහැදිලිව උගන්වා ඇත. තවද මෙය අපගේ දිරිගැන්වීමයි. අද දින දෙවියන් වහන්සේ විසින් අපට පිරිනමනු නොලැබූ කිසිම බලයක් යේසුස් වහන්සේ ක්‍රියාත්මක කළේ නැත. උන්වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස පරීක්‍ෂාවන්ට මුහුණදී ජයගත්තේ උන්වහන්සේගේ පියාණන් විසින් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන උන්වහන්සේට දුන් ශක්තියෙනි.

දෙවියන් වහන්සේගේ ආඥා දැරිය නොහැකි බවත් කීකරු විය නොහැකි ඒවා බවත් සාතන් නිතරම මිනිසාට පවසා ඇත. යේසුස් වහන්සේ මිනිසෙකු ලෙස පැමිණ සාතන්ගේ එම බොරුව උන්වහන්සේගේ පරිපූර්ණ කීකරු ජීවිතයෙන් හෙළිකළ සේක. යේසුස් වහන්සේ මුහුණ නොදුන්න යම් පරීක්‍ෂාවක් අපට ජය ගැනීමට ඇත්නම් හෝ යේසුස් වහන්සේ කීකරු වීමට මුහුණ නොදුන්න දෙවියන්වහන්සේගේ යම් අණකට අපට කීකරු වන්නට සිදුවන්නේ නම්, එම අවස්ථාවේදී අපගේ පව් කිරීමට නිදහසට කරුණක් තිබිය හැකිය. අපගේ මාංසයේ දුර්වලතාවයකින් තොරව හෝ අපට නොලැබෙන බලයකින් යේසුස් වහන්සේ එම පරිපූර්ණ ජීවිතය ගත කළේ නම්, උන්වහන්සේගේ ජීවිතය අපට අනුගමනය කළ හැකි ආදර්ශයක් විය නොහැකි අතර අප පරීක්‍ෂාවට ලක්වන අවස්ථාවන්හිදී එය අපට දිරිගැන්වීමක් විය නොහැක. නමුත් යේසුස් වහන්සේ පොළොවේ මිනිසෙකු ලෙස තම ජීවිතය තුළින් පෙන්නුම් කළේ දෙවියන් වහන්සේ අපට ලබා දෙන බලය උන්වහන්සේගේ වචනය තුළ අප දකින උන්වහන්සේගේ ආඥාවන් සපුරාලීමට ප්‍රමාණවත් බවයි.

මක්නිසාද අපට සිටින්නේ අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව, පව් කිරීමක් නැතුව, සියලු ආකාරයෙන්ම අප වාගේ පරීක්‍ෂාකරනු ලැබූ උත්තම පූජකයෙක්‍ ය (හෙබ්‍රෙව් 4:15).

යේසුස් වහන්සේගේ පව් රහිත ජීවිතය යනු , ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින් මිනිසාට පාපයෙන් පූර්ණ ජයග්‍රහණයක් ලබා ගැනීමටත් ප්‍රීතියෙන් දෙවියන් වහන්සේට කීකරු වීමටත් හැකි බව දෙවියන් වහන්සේ ලෝකයට පෙන්වා දීමයි. අප උන් වහන්සේ තුළ පවතිමු නම්, අපටද උන්වහන්සේ හැසිරුණු ආකාරයටම හැසිරිය හැකිය" (1 යොහන් 2:6).

©Zac Poonen – [email protected]