WFTW Body: 

මලාකි 1: 11හි අනාවැකියෙන් පවසා ඇති පරිදි මෙම නව ගිවිසුම් යුගයේදී, අපගේ ස්වාමින් වහන්සේ “සෑම තැනකම පවිත්‍ර සාක්ෂියක්” - නැගෙනහිර සිට බටහිර දක්වා සෑම දේශයකම - අපේක්ෂා කරන සේක. 1975 දී බැන්ගලෝර්හි අපගේ සභාව උන්වහන්සේ ආරම්භ කළ විට, ස්වාමින් වහන්සේ අප හට ලුහුබැඳ යාමේ ඉළක්කයක් ලෙස දුන් පදය මෙයයි. සාතන්ගේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ආත්මික-මණසැති සභාවකට සහභාගි වන අයගේ සංඛ්‍යාව වැඩිවීම වැළැක්වීම වෙනුවට එහි සාක්ෂිය දූෂිත කිරීමය. ඇත්ත වශයෙන්ම එවැනි සභාවකට විශාල පිරිස් සම්බන්ධවීම සාතන්ගේ අභිප්‍රායට බෙහෙවින් ගැළපෙන්නට පුළුවන, මක්නිසාද එවිට ඌට ලෞකික ඇදහිළිවන්තයින් හරහා වඩාත් පහසුවෙන් එම සභාව ආක්‍රමණය කර එහි සාක්ෂිය දූෂිත කළ හැකි බැවිනි.

ඕනෑම සභාවක් ස්වාමින් වහන්සේ වෙනුවෙන් පවිත්‍රව තබාගැනීම සටනකි. හොඳින් ආරම්භ කර පසුව, ටික කලකට පසු, ප්‍රමිතීන් පහත හෙලීම කරණකොටගෙන ක්‍රමයෙන් මියගිය සභාවක් කරා පිරිහීම පහසුය. අප සාතන්ගේ උපක්‍රම ගැන දැනසිටීම හා ආත්මිකව සෝදිසියෙන් සිටිය යුතු වන්නේ මෙනිසාය. මෙම සෝදිසියෙන් සිටීම හා දැනුවත්භාවය මුවහත් කළ හැක්කේ මුළින්ම අප අපගේ ජීවිත ගැන සැළකිලිමත් වන විට දී පමණි. අපගේ සභා-රැස්වීම්වලට ලෞකික මිනිසුන් පැමිණීම වැළැක්විය නොහැක. ජූදස් ඉස්කාරියොත් කෙනෙකු උන්වහන්සේගේ 12 දෙනෙකුගෙන් යුත් “සභාවේ” වාඩිවී සිටියේ ය. පාවුලුතුමා කොරින්තියෙහි රෝපණය කළ සභාවෙහි බොහෝ ලෞකික මිනිසුන් සිටියහ. අපේ සභාවල ද ලෞකික මිනිසුන් සිටිය හැකිය. එය වළක්වා ගත නොහැක. නමුත් අප සහතික කළ යුතු දෙය වන්නේ සභාවෙහි නායකත්වය සැමවිටම ආත්මික මිනිසුන්ගේ භාරයේ පැවතීමය. තවද සභාවෙහි ප්‍රකාශිත පණිවිඩය සැමවිටම පවිත්‍ර නව-ගිවිසුම් පණිවිඩය බව අප සහතික කළ යුතුය.

පාවුලුතුමා, මුළින්ම තමා ම ගැන සැළකිලිමත් වන ලෙස තිමොතිට පැවසුවේය (1 තිමොති 4: 15,16). මාංසයේ හා ආත්මයේ සියලු අපවිත්‍රකම්වලින් පවිත්‍රවී සිටීමට විශ්වාසවන්තව සිටින අය (2 කොරින්ති 7: 1), එමගින් සතුරාගේ කූඨ උපායන් ගැන ආත්මික සංවේදීථාවයක් ලබා ගනී. වෙනත් මාර්ගයක් කොහෙත්ම නැත. ධර්මය පිළිබඳ දැණුම, දක්‍ෂ කථිකත්වය සහ ආත්මික දීමණා පවා මෙහිදී ප්‍රයෝජනයක් නැත, මක්නිසාද අපගේ සටන මාංශය හා රුධිරයට විරුද්ධව හෝ ප්‍රඥාවේ බලවේගයන්ට විරුද්ධව වත් නොව, නමුත් රැවටිය හැකි අය රවටා ගැනීමට බලා සිටින දුෂ්ඨ ආත්මික බලවේගයන්ට එරෙහිව ය.

ආත්මික මරණයේ බළවේගයට ජයගත නොහැකි සභාවක් උන්වහන්සේ ගොඩනඟන බව යේසුස් වහන්සේ කී සේක (මතෙව් 16: 18). එවැනි සභාවක් ගොඩනැඟිය හැක්කේ ස්වාමින් වහන්සේට පමණි. අපට කොහෙත් ම නොහැකි ය. උන්වහන්සේගේ අභිමතය පරිදි, අපට, උන් වහන්සේට භාවිතා කළ හැකි භාජන පමණක් විය හැකිය. කෙසේවෙතත් සභාවේ පාලනය උන්වහන්සේගේම කර මත විය යුතු ය (යෙසායා 9: 6). අප මෙය කිසිවිටෙකත් අමතක නොකළ යුතුය. ස්වාමින් වහන්සේ සභාව නොසාදන සේක් නම්, එවිට අපගේ සියළු ශ්‍රමය නිෂ්ඵළවේ (ගීතාවලිය 127: 1). ඕනෑම තැනක ස්වාමින් වහන්සේගේ සභාව තමන් විසින් ම ඉදිකරන බව සිතන අය “මා විසින් ම ගොඩනැගූ බබිලෝනිය නොවේද මෙය?” (දානියෙල් 4: 30), යැයි පැවසූ නෙබුකද්නෙශර් සමඟ නොදැණුවත්වම සහභාගිකමේ පවති. මෙවැනි උඬඟුකමකින් බිහි කළ හැකි වන්නේ බබිලෝනීය, ලෞකික සභාවක් පමණි (එළිදරව් 17: 5).

දෙවියන් වහන්සේ යටහත් නායකයන් සොයන සේක. තවද පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යය සොයන්නන්වද උන්වහන්සේ සොයන සේක - නෝවාට නැව වූවාක් මෙන්, සභාව ගොඩ නැඟීම තමන්ගේ ජීවිතයේ අංක එකේ ප්‍රමුඛථාවය කරගත් අයව උන්වහන්සේ සොයන සේක. ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළ හෙයින් ඒ උදෙසා උන්වහන්සේ ම පූජාවක් වූ සේක (එපීස 5: 25). අප සභාවට ප්‍රේම කරන්නේ නම්, අපවම හා අප සතුව ඇති සියල්ලම ද අප මුළුමනින්ම ඒ සඳහා ලබා දෙන්නෙමු. තම සභාව ගොඩනැඟීමට වඩා ඔවුන්ගේ ලෞකික රැකියාව අගය කරන අය තවත් බබිලෝනියක් හැර වෙනත් කිසිවක් ගොඩනැඟීමක් ගැන අපේක්ෂා නොකළ යුතු ය. අපගේ ලෞකික වෘත්තීන් අත් හැර දැමිය යුතු යැයි මෙයින් අදහස් නොවේ. නැත. මෙම කාලයේදී, අපෝස්තුළු පාවුලුතුමා මෙන් අපද අනුන්ට බරක් නොවී සිටීම (තමන්ගේ ජීවන වියදම තමා විසින්ම සොයා ගැනීම) වඩාත් යෝග්‍යය, මක්නිසාද සියළු කිතුණු සේවකයෝ ඔවුන්ගේ සේවාව මුදලට කරන්නේ යැයි චෝදනා නඟන කිතුණු නොවන සමූහය (අන්‍ය ජාතීන්) ඉදිරියේ මෙය යහපත් සාක්ෂියක් වන බැවිනි. නමුත් අපගේ ලෞකික වෘත්තීන්හි යෙදී සිටියදී පවා දේව රාජ්‍යය අපගේ චින්තනයේ ඉහළම ස්ථානය ගත යුතු ය.

උන්වහන්සේගේ සභාව ගොඩනැඟීමට උන්වහන්සේ අපට සහයෝගය දැක්වීමට පෙර අපගේ චින්තනයේ හා අපගේ ජීවිතයේ පළමු ප්‍රමුඛථාවය උන්වහන්සේගේ සභාව දැයි බැලීමට දෙවියන් වහන්සේ අපව පරික්ෂණයකට ලක් කරන සේක.

ඇදහිළිවන්තයින් හා සභාවන් යන දෙකොටසින් ම අපගේ සංඛ්‍යාව වැඩි කිරීමට අප කිසි විටෙකත් උනන්දු නොවිය යුතු ය. අප උනන්දු විය යුත්තේ ස්වාමින් වහන්සේ කෙරෙහි වූ පවිත්‍ර සාක්ෂියක් උදෙසා පමණි. දෙවියන් වහන්සේ ද කැමති වන්නේ මෙයටමය. දෙවියන් වහන්සේට අපගේ මුල්ම යාච්ඤාව නිතරම විය යුත්තේ “ඔබගේ නාමයට ගෞරවය වේවා” මිස “අපගේ සංඛ්‍යාවන් වැඩි කරණු මැනවි” යැයි නොවන බව, යේසුස් වහන්සේ අපට ඉගැන් වූ සේක. ක්‍රිස්තුස් වහන්සේට අප්‍රසන්න සාක්ෂියක් ගෙනදෙන අපිරිසිඳු සභාවක් යම් ස්ථානයක තිබෙනවාට වඩා කිසිදු සභාවක් එහි නොතිබීම වඩාත් යෝග්‍ය ය.