WFTW Body: 

ගණන් කථාවේ පරිච්ජේද 22 සිට 24 දක්වා බාලාම්ගේ කථාව අපි කියවමු. මෙහි සැළකිලිමත් විය යුතු කරුණු කීපයක් අඩංගු වැදගත් පරිච්ජේදයක් ඇත. බාලාක් රජු, දිවැසිවරයෙකු වන බාලාම්ට, පැමිණ ඊශ්‍රායෙලයට ශාප කරන පිණිස ආරාධනා කරපු අවස්ථාවේ, බාලාම් දෙවියන් වහන්සේගේ කැමැත්ත සෙවුවේය. දෙවියන් වහන්සේ බාලාම්ට නොයන ලෙස පැහැදිලිවම පැවසූ සේක. එහෙත් බාලාම් පැමිණියොත් වැඩි ගෞරවයක් සහ විශාල මුදල් සම්භාරයක් දෙන බව බාලාක් රජු පැවසූ කළ, එවිට බාලාම් දෙවියන් වහන්සේගේ කැමැත්ත නැවත සොයන බව කීවේය. ඔහුට නොයන ලෙස දෙවියන් වහන්සේ කියා තිබියදීත්, ආරම්භයෙන් අවසානය දන්නාවූ දෙවියන් වහන්සේ ගෙන් දෙවන වතාවට කැමැත්ත සෙවීමට ඔහුට ඇති අවශ්‍යථාවය කුමක් ද? නමුත් ඔහු මුදල් හා ගෞරවය ලබා ගැනීමට උත්සුක වූවේය. බාලාම් “අයුතුකමේ කුලියට කැමතිවූ බව” බයිබලය පවසයි (2 පේතෘස් 2: 15).

ඔබ යම් තැනකට යන පිණිස දෙවියන් වහන්සේගේ කැමැත්ත විමසන කළ, දෙවියන් වහන්සේ එහි නොයන ලෙස පවසන බව ඔබගේ ආත්මයට පැහැදිලිවම හැඟෙන ඇතැම් අවස්ථාවන්වලට ඔබ ද මුහුණපාන්නට පුළුවන. එවිට එහි වැටුප ඉතා ආකර්ෂණීය බව ඔබට දැනුන කළ, “දෙවියන් වහන්සේගේ කැමැත්ත නැවත විමසන්නට” ඔබව පරික්ෂාවට භාජනයවේ!! අනාගතයේදී කිසිවිටක දී මෙවැනි පරික්ෂාවේ අවස්ථාවක ට ඔබට මුහුණ දෙන්න සිදුවුවහොත් බාලාම් ව මතක තබාගන්න. වැටුප වඩාත් ආකර්ශනීය නිසා හෝ ගෞරවය වඩාත් වැඩි නිසා දෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සිත වෙනස් කරන්නේ නැත. නමුත් මනුෂ්‍යයෙකු යම්කිසි මාර්ගයක ගමන් කිරීමට උත්සුක වන බව දෙවියන් වහන්සේ දකින්නේ නම්, උන්වහන්සේ ඔහුව නතර නොකරන සේක. උන්වහන්සේ ඔහුට යන්නට ඉඩ හරින සේක. බාලාම් දෙවැනි වතාවට උන්වහන්සේගෙන් විමසූ විට දෙවියන් වහන්සේ බාලාම් ට යන්නට කීවේ මේ නිසාය. එය දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්ත නොවේ. උන්වහන්සේ බාලාම්ගේ නිදහස් කැමැත්තට අභිබවා ගොස් ඔහුව රොබෝ කෙනෙක් බවට පත් කරන්නේ නැත. බාලම්ට සැබවින්ම යන්නට අවශ්‍ය වූ බව උන්වහන්සේ දුටු සේක. එබැවින් දෙවියන් වහන්සේ ඔහුට යන්නට කී සේක. මෙය හරියට අකීකරු පුත්‍රයාගේ පියා ඔහුගේ පුතාට දුර බැහැර රටකට යන්නට හැරියා සේය. දෙවියන් වහන්සේ අපට තේරීමේ නිදහස දී ඇති අතර උන්වහන්සේ කිසිවිට අපගේ නිදහස් කැමැත්ත අභිබවා නොයන සේක.

නමුත් දෙවියන් වහන්සේ එසේ වුවද බාලාම්ව නතර කරන පිණිස උන්වහන්සේගේ දූතයා එවූ සේක. බාලාම්ට දූතයා දැකගන්න බැරි වුවද, ඔහුගේ බූරුවාට හැකිවිය. මෙයින් අප ඉගෙන ගන්නේ කුමණ පාඩමක් ද? ඉතා සරලව මෙය ය : මුදලට ඇති ආශාවෙන් මනුෂ්‍යයෙකු අන්ධ වූ විට, බූරුවෙකුට වුවද ඔහුට වඩා පැහැදිලිව ආත්මික සත්‍යථාවන් දැකගත හැක. මක්නිසාද එම බූරුවා මුදලට ආශා නොකළ බැවින්, ඌට දූතයා ව පැහැදිලිව දකින්නට ලැබුණි! බාලාම්ට දූතයා දකින්නට බැරි වූවේ, ඔහු මුදලට ආශා වූ බැවිනි. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ ඔහු මත පැමිණීම බාලාම් අත් දැක; ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ගැන අනාගත වාක්‍ය පැවසුවද (ගණන් කථාව 24: 2, 17), එහෙත් මුදලට ඇති ගිජුභාවය නිසා ඔහු සියල්ල නැති කරගත්තේය.

එම බූරුවා තම ස්වාමියාට කථා කරන්න පටන් ගත්තේ ය. බයිබලයේ “අන්‍ය භාෂා කථා කිරීමේ” මුල්ම අවස්ථාව මෙයයි - නොදන්නාවූ භාෂාවකින් ව්‍යාක්ත ලෙස බූරුවෙකු කථා කිරීම - ඌ කිසිවිටක ඉගෙන නොගත් භාෂාවක් ! එය ස්වභාවෝත්තර ක්‍රියාවකි. නිසැකවම එය දෙවියන් වහන්සේගෙන් විය. එහෙත් ශුද්ධ ලියවිල්ලේ මුලින්ම සදහන් වන මෙම අන්‍ය භාෂා කථා කිරීමේ සිද්ධියෙන් අප මෙසේ ඉගෙන ගනිමු, අන්‍ය භාෂා කථා කිරීම කිසි කෙනෙකු ආත්මික නොකරන බව, මන්ද ඌගේ දිවෙන් දෙවියන් වහන්සේගේ ස්වභාවෝත්තර බලය අත් දැක්කාට පසුව වුවද - එම බූරුවා අන්‍ය භාෂාවකින් කථා කළ පසුව ද මෝඩ බූරුවෙකු ලෙස පැවතුණේ ය ! එය සැමවිටම මතක තබාගන්න.