WFTW Body: 

ඇදහිලිවන්තයෙකු දෙවියන් වහන්සේ ඉදිරියේ ජීවත් නොවන්නේ නම්, ඔහුගේ ආත්මික ජීවිතයේ සැබෑ තත්ත්වය ගැන නොදැන සිටීම ඉතා පහසුය. ස්වාමින් වහන්සේ එළිදරව් පොතේ සභා හතෙහි පාලකයන් හට කළ තරවටු වලින් මෙය පැහැදිළිය. ලවෝදිකයේ පණිවිඩකරුට (වැඩිමහල්ලට) උන්වහන්සේ මෙසේ කී සේක, “කාලකණ්ණියාද, දුක්ඛිතයාද, දිළින්දාද, අන්ධයාද, නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදන්නේය” (එළිදරව් 3: 17).

අපගේ හදවත් තුළ සැඟවී තිබෙන දේවල් ප්‍රකාශ වන පිණිස දෙවියන් වහන්සේ විවිධ අවස්ථාවන් අපගේ ජීවිතයෙහි ඇති වන්නට ඉඩ හරින සේක. විවිධ මිනිසුන් සමඟ ලැබූ කටුක අත්දැකීම් කරණකොටගෙන වසර ගණනාවක් පුරා අප අමිහිරි (අප්‍රසන්න) මතකයන් අපගේ හදවතෙහි ගබඩා කර ඇත. එය අපගේ හදවත ගැඹුරෙහි පතිතවේ - එහෙත් අපගේ හදවත් පවිත්‍ර යැයි අප සිතමු. එවිට දෙවියන් වහන්සේ යම් කුඩා දෙයක් සිදුවීමට ඉඩ හරින විට එය මේ සියලු කුණුවූ දේවල් අවුස්සමින් ඒවා සියල්ල අපගේ මනසට ගෙන එයි. අපව පවිත්‍ර කර එය සම්බන්ධව සම්බන්ධ වී සිටින අයට සමාවදී, ඔවුන්ට ප්‍රේම කිරීමට අප තීරණය කළ යුත්තේ එම අවස්ථාවේදීය. අපගේ හදවත් තුළින් මෙම දේවල් පවිත්‍ර කරගැනීමට අප මෙවැනි අවස්ථාවන් පාවිච්චි නොකරන්නේ නම්, එම කැළඹීමෙන් පසුව ඒවා නැවතත් අපගේ හදවත් පතුළට ගිලා බැස එහි රැදී පවති. එවිට සියල්ල යහපත් යැයි අප සිතුවත්, එය එසේ නොවන්නේය. තවත් සුළු සිදුවීමක් තුළින් ඒ සියල්ල අපේ මණසට නැවත පැමිණිය හැකිය. එම නිසා යම් දෙයක් ඉස්මතු වන සෑම අවස්ථාවකදීම අප අපවම පවිත්‍ර කර ගත යුතු ය.

අකීකරු පුත්‍රයාගේ උපමාවේ වැඩිමහල් සහෝදරයා සම්බන්ධව අප දකින්නේ, බාළ සහෝදරයා කෙරෙහි වැඩිමහල් සහෝදරයා වැරදි ආකල්පයක් දැරූ බවයි. එහෙත් මෙය ඉස්මතුවුණේ ඔහුගේ සහෝදරයා නැවත පැමිණීමෙන් පසු සහ ඔහු වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පවත්වන විටය. තම ප්‍රකාශ සත්‍යයද නැද්ද යන්න සනාථකර නොගෙන ඔහුගේ මණසෙහි මවා ගත් චෝදනාවලින් ඔහුගේ සහෝදරයාට චෝදනා කළ හැටි අප දකින්නෙමු (නිදසුනකට, ඔහුගේ බාළ සහෝදරයා “ගණිකාවන් උදෙසා ඔහුගේ මුදල් නාස්ති කළ බව” - ලූක් 15: 30). අපට යමෙකු සමඟ හොඳ සම්බන්ධයක් නොමැති විට, අපි නිතරම ඔහු ගැනවන නරකම දේ විශ්වාස කරන්නෙමු.

වැඩිමහල් පුත්‍රයාට තම පියා පැවසුවේ “මා සතු සියල්ල ඔබේය” කියාය ( ලූක් 15: 31 ). ඔහුගේ පියා දුන් දේ තුළ නිරත නොවී වැඩිමහල් සහෝදරයා ඔහුගේම නිපුණත්වයෙන් ලබා ගත් දේ තුළ නිරත විය : “මා කිසිවිටෙක ඔබගේ කිසිම ආඥාවකට අකීකරු වූවේ නැත. මා මේ වසර ගණනාව ම ඔබට සේවය කර ඇත්තෙමි.” ඔහුගේ සහෝදරයාගේ අඩුපාඩු සමඟද ඔහු නියුක්තව සිටියේ ය, “ඔබගේ මේ පුත්‍රයා ඔබගේ මුදල් නාස්ති කර ඇත” ( ලූක් 15: 29-32). එම පියා වාගේම දෙවියන් වහන්සේද අපට කියා සිටින්නේ “මා සතු සියල්ලම ඔබේය.” යේසුස් වහන්සේ තුළ සියල්ල අපේය - උන්වහන්සේගේ සියලු පාරිශුද්ධභාවය, උන්වහන්සේගේ සියලු යහපත්කම, උන්වහන්සේගේ සියලු ඉවසිලිවන්තකම, උන්වහන්සේගේ සියලු යටහත්කම යනාදිය.......

මෙම කථාවෙන් අප ඉගෙන ගත යුතු කාරණය සරලව මෙයයි : ඔබගේම නිපුණත්වයෙන් ලබපු දේ තුළ, හෝ ඔබගේ සෙසු-ඇදහිළිවන්තයින්ගේ අසාර්ථක කම් මත නොව, නමුත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහයේ සම්පත සමඟ නිතරම නිරතව සිටින්න.

අපගේ අරමුණ විය යුත්තේ අනුග්‍රහයෙන් හා අපගේ ස්වාමින් වූ යේසුස් වහන්සේව දැන ගැන්මෙන් වර්ධනය වීමය ( 2 පේත්‍රැස් 3: 18 ). 2 කොරින්ති 8: 9 න් අනුග්‍රහය සම්බන්ධව තවත් අර්ථ දැක්වීමක් මෙහි දැක්වේ. අප ආශිර්වාද ලබන පිණිස, ධනවත්ව සිටී යේසුස් වහන්සේව අනුග්‍රහය කරණකොටගෙන අප වෙනුවෙන් දුප්පත් කළ සේක. අපගේ ජීවිතවල තුළද අනුග්‍රහය කරන්නට යන්නේ මෙයයි. අපට, අවශ්‍යතාවයෙන් පෙලෙන ලෝකයකට ආශීර්වාදයක් විය හැකි වන්නේ, අපි අන් අයගේ ඇස් ඉදිරියේ කුඩාවී, අපව බොහෝ දෙනා හඳුනා නොගත් සහ අන් අය විසින් හෙළා දකින අතර අන් අය ඉදිරියේ දුප්පතුන් වීමට කැමැත්තෙමු නම් පමණි. යේසුස් වහන්සේ, උන්වහන්සේගේ පියාණන්ගෙන් අනුග්‍රහය ලැබූ හෙයින් යහපත් දේ කරමින් ගිය සේක ( ක්‍රියා 10: 38 ). ඔබහටද අනුග්‍රහයට කළ හැක්කේ මෙයයි - ඔබව අන් අය හට ආශිර්වාදයක් කිරීම.

යේසුස් වහන්සේ දුෂ්කර අවස්ථාවකට මුහුණ දෙන විට, ‘පියාණනි මේ පැයෙන් මා ගළවා ගන්නැ’යි යාච්ඤා කළේ නැත, නමුත් ඒ වෙනුවට “පියාණනි ඔබවහන්සේගේ නාමය මහිමයට පත්වේවා” යනුවෙනි ( යොහාන් 12: 27 ). දුෂ්කර අවස්ථාවන්හි අපද යාච්ඤා කළ යුත්තේ මේ උදෙසාය. පහසු ජීවිතයක් උදෙසා නොව, නමුත් මිළය කුමක් වුවත් දෙවියන් වහන්සේ මහිමයට පත් වීම උදෙසා ජීවිතයක් ඔබ සෙවිය යුතුයි. දෙවියන් වහන්සේ ඔබව තබා ඇති දුෂ්කර මිනිසුන් හා අවස්ථා වෙනස් කරන මෙන් දෙවියන් වහන්සේගෙන් නොඉල්ලා, එම අවස්ථාවන්හි ඔබව වෙනස් කරන මෙන් උන්වහන්සේගෙන් අයදින්න. අතීතයේ සිදුවූ සියලු අසාර්ථකත්වයන් නොතකා එලෙස යාච්ඤා කරන අය අනුග්‍රහයෙන් වැඩී, සැබෑ සාන්තුවරයන් වන්නේය. “මාගේ අනුග්‍රහය නුඹට සෑහේ” ( 2 කොරින්ති 12: 9 ) යන පොරොන්දුව ගැන සිතන්න. ඔබ කළ යුතු සෑම කාර‍්‍යයක් උදෙසාම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ප්‍රමාණවත් වන අතර ඔබට ඕනෑම වේලාවක මුහුණ දීමට සිදුවිය හැකි සෑම දුෂ්කර කටයුත්තකට සහ ගැටළුවකට එය ප්‍රමාණවත් වේ.