WFTW Body: 

ගීතාවලිය 23 එඬේර ගීතයකි. ස්වාමීන් වහන්සේ අපගේ එඬේරා වනවිට අපට කිසි හිඟයක් නොවන්නේය (පදය 1). උන්වහන්සේ අපට වැතිර ඉන්ට සලස්වන සේක. උන්වහන්සේ අපට පෙරටුව යන සේක. උන්වහන්සේ අපව ප්‍රකෘතිමත් කරන සේක. උන්වහන්සේ අපට මඟ පෙන්වන සේක. ස්වාමීන් වහන්සේ උදෙසා කුමක් කරමුදැයි අප බොහෝවිට සිතමු. නමුත් මෙහිදී අවධාරණය කරන්නේ ස්වාමීන් වහන්සේ අප උදෙසා කුමක් කරන්නේද යන්න ගැනය. අපට දෙවියන් වහන්සේට ඵලදායී විය හැක්කේ අප තුළ යම් කාර්‍යයක් කිරීමට උන් වහන්සේට පළමුවෙන්ම ඉඩ දීමෙන් පමණි. කිසි නපුරකට අප බිය නොවෙමු මන්ද උන් වහන්සේ අප සමඟය. උන්වහන්සේ අප වෙනුවෙන් මේසයක් පිළියෙළ කරන අතර උන්වහන්සේ අපේ හිස තෙල්වලින් ආලේප කරනසේක. එවිට අපගේ කුසලාන උතුරා යන්නට පටන් ගන්නා අතර අපගේ සදාකාලික නිවස කරා ළඟා වන තෙක් සෑම තැනකම යහපත්කම සහ දයාව අප පසුපස යයි.

ගීතාවලිය 34 හි ස්වාමීන් වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ උපකාරකයා ලෙස විස්තර කරයි. දාවිත් මෙම ගීතිකාව ලිව්වේ අබිමෙලෙක් රජු ඉදිරියේ ඔහු පිස්සු වැටී සිටින බව මවා පාමින් සිටියදී, ඒකාන්ත මරණයෙන්, ස්වාමීන් වහන්සේ ඔහුව ගලවා ගත් විට ය. ඉතින් ඔහු පවසන්නේ " සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. මේ දුප්පතා මොර ගැසූ විට ස්වාමීන් වහන්සේ ඔහුගේ බස් ඇසූ සේක. ස්වාමීන් වහන්සේ යහපත් බව රස බලා දැන ගනිව් (පද 1,6,8). ස්වාමීන්වහන්සේගේ දුතයා උන්වහන්සේට බය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ ඔවුන් මුදා හරින බව දාවිත් හඳුනාගත්තේය (පදය 7). එලෙසම "ස්වාමීන්ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොර ගැසීමටත් යොමා තිබෙන බවත්, ස්වාමීන් වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටින බවත්" ඔහු දුටුවේය ( පද 15,18). "ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය" කියා දාවිත් තම අත්දැකීම් තුළින් පැවසුවේය (පදය 19). ඉන්පසුව ඔහු මෙසියස් වහන්සේ ගැන තවත් එක් අනාගත වාක්‍යක් පවසන්නේය. " උන්වහන්සේ ඔහුගේ ඇට සියල්ල ආරක්‍ෂා කරන සේක. එයින් එකක්වත් නොබිඳේ " ( පදය 20). මෙය කුරුසියේදී සම්පූර්ණ විය.


ගීතාවලිය 66 හි තමන්ව සමෘද්ධිමත් ස්ථානයකට ගෙන ආ නිසා දාවිත්, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරයි. නමුත් මෙය බොහෝ පරික්ෂා තුළින් විය. 10 සිට 12 දක්වා පදවල, දෙවියන් වහන්සේ දාවිත්ව, අධ්‍යාත්මික සමෘද්ධිමත් ස්ථානයකට ගෙන ඒමට පෙර, අසනීප, ගින්නෙන් හා ජලයෙන් හා මිනිස් හිරිහැරයෙන් එන්නාවූ පීඩා තුළින් යෑමට සැලැස්වූ බව අපි කියවමු. ඒත්මෙහි “ ආශිර්වාද බහුල ස්ථානය” ලෙස පරිවර්තනය කර ඇති වචනය ශුද්ධ ලියවිල්ලේ තවත් එක් ස්ථානයක පමණක් භාවිතා කර ඇත - ගීතාවලිය 23: 5 හි - එය “පිටාර ගැලීම්” ලෙස පරිවර්තනය කර ඇත. එබැවින් ආශීර්වාදයෙන් පිරී ඉතිරී යන ජීවිතයක් ගත කිරීමට මාර්ගය වන්නේ පීඩා සහ දුක් විඳීම් තුළින් යෑමෙනි. 18 වන පදය තවත් වැදගත් පදයකි : "අයුතුකම් කිරීමේ අභිප්‍රායක් මාගේ සිතෙහි ඇත්නම්, ස්වාමීන් වහන්සේ මාගේ බස් නාසන සේක". .....යාච්ඤාව දෙවියන් වහන්සේ සමඟ දුරකථන සංවාදයක් පැවැත්වීම හා සමානය.... නමුත් අපගේ හදවත් තුළ පාපොච්චාරණය කර නොමැති පාප ඇත්නම් නම්, දෙවියන් වහන්සේ අපගේ යාච්ඤා වලට සවන් දීමට දුරකථනය ගන්නේවත් නැත.

ගීතාවලිය 91 , “මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයේ” ජීවත් වන තැනැත්තාගේ ආශිර්වාදමත්භාවය හා සුරක්‍ෂිත භාවය ප්‍රකාශ කරයි. අපට නම්, එම රහස් ස්ථානය යේසුස් වහන්සේගේ තුවාල වූ පැත්තයි. “ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවනෙහි” ජීවත් වීම යනු දෙවියන් වහන්සේ අප ඉදිරියෙහි යන බවත්, අප උන්වහන්සේගේ සෙවණෙහි ගමන් කරන බවත්ය (1 පදය). මුළු ලෝකයේම ආරක්‍ෂිතම ස්ථානය දෙවියන් වහන්සේගේ පරිපූර්ණ කැමැත්තෙහි කේඳ්‍රයයි. සාතන් ( උගුල් අටවන්නා) සහ පාපය (මාරාන්තික රෝග) යන අපගේ සතුරන්ගෙන් අපව ගලවා ගැනීමට ස්වාමින් වහන්සේ පොරොන්දු වේ (පදය 3). පැහැදිලි පව් වලින් (දිවා කාලයේ අන්තරායන්ගෙන්) සහ සියුම්, රැවටිලිකාර පාපවලින් (රාත්‍රී කාලයේ අනතුරු වලින්) උන්වහන්සේ අපව ගලවා ගන්නා සේක (පද.5,6). අප අවට සිටින කිතුනුවන් 11,000 ක් ජයග්‍රාහී ජීවිතයක් විශ්වාස නොකළත්, උන් වහන්සේ අපව පාපයට වැටීමෙන් වළක්වනසේක ( පදය 7). අපට බොහෝ දුක් පීඩා වලට මුහුණ දීමට සිදුවිය හැකි නමුත්, ඒ සියල්ල තුළම කිසිඳු නපුරක් අපට සිදු නොවනු ඇත ( පදය 10). අප උන් වහන්සේගේ කැමැත්තට අනුව ගමන් කරන තාක් කල්, උන්වහන්සේ අපව රැකබලා ගැනීමට දේවදූතයන්ව පත් කර තිබේ. සාතන් (සිංහයා සහ සර්පයා) නිතරම අපගේ පාද යට පොඩි කරනු ඇත (13 පදය). දෙවියන් වහන්සේ අපගේ යාච්ඤා වලට පිළිතුරු දී අපව උසස් කොට අපට දීර්ඝායුෂ ලබා දෙන සේක. එවිට අප විසින් කිරීමට නියම කරන ලද කාර්‍යය අවසන් වන තුරු අප මිය නොයනු ඇත (15 පදය).