කර්තෘ :   සැක් පූනන් වර්ග :   සභාව
WFTW Body: 

එළිදරව් 3: 1 – 6 හි පවසන්නේ : සාර්දිස්හි දූතයාට මෙසේ ලියන්න...... අන් අය ඉදිරියේ ආත්මික මිනිසෙකු ලෙස තමාට ඉමහත් කීර්තියක් ගොඩනගා ගත් කෙනෙකි සාර්දිස් හි දූතයා. නමුත් ඔහු පිළිබද ස්වාමින් වහන්සේගේ මතය සාර්දිස්හි සිටි සෙසු ඇදහිළිවන්තයින්ගේ මතයට හාත්පසින්ම පටහැනිය. සාර්දිස්හි සිටි බොහෝ ඇදහිළිවන්තයින් කොතෙක් ලෞකික හා රැවටිලිකාර දැයි මෙයින් පෙන්නුම් කරයි.

ඇදහිළිවන්තයින්ගෙන් 90% කට වඩා වැඩි පිරිසකට ලෞකික හා ආත්මික දේශකයෙකු අතර වෙනස හඳුනා ගත නොහැක. ඇදහිළිවන්තයින්ගෙන් 99% කට වඩා වැඩි පිරිසකට මනුෂ්‍යයාකාර - ප්‍රාණික-බලය හා ශුද්ධ-ආත්ම-බලය අතර වෙනස ද හඳුනා ගත නොහැක. බොහෝ ඇදහිලිවන්තයන්, ආත්මික දීමනා ප්‍රදර්ශනය කිරීම හා ක්‍රියාත්මක කිරීම ගැන පුදුමයට පත් වන අතර ඔවුන් දේශකයෙකු හෝ වැඩිමහල්ලෙකු ඇගයීමට ලක් කරන්නේ ඒ සාධක මතය. ඔවුන් රැවටෙන්නේ එලෙසය. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ හදවත බලන සේක. සාර්දිස්හි දූතයාට ආත්මික දීමනා තිබෙන්නට ඇත. නමුත් ඔහු ආත්මිකව මිය ගොස් ය. මෙය අප සැවොම සැලකිළිමත් විය යුතු අනතුරු ඇඟවීමකි : අපගේ සෙසු ඇදහිළිවන්තයින්ගෙන් 99% ක් අප ගැන දරණ මතය 100% වැරදි විය හැකිය. අප ගැන දෙවියන් වහන්සේගේ මතය ඔවුන්ගේ මතයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ විය හැකිය. සභාවකට ද එය අදාළවේ. අන් අය සභාවක් ආත්මිකව ජීවමානව සිටින අය ලෙස සැලකිය හැකිය, නමුත් එය ආත්මිකව මිය ගොස් ඇති බව දෙවියන් වහන්සේ දනී. මෙය අනෙක් පැත්තට ද සත්‍යයකි. දෙවියන් වහන්සේ, ආත්මිකව ජීවමානව සිටින අය ලෙස සලකන සභාවන්, මිය ගොස් ඇති සභාවන් ලෙස, ආත්ම විමසීම නැති මිනිසුන් විසින් සලකන්නට පුළුවන.

බොහෝ ඇදහිළිවන්තයින් සභාවක් ඇගයීමට ලක් කරන්නේ ඔවුන් රැස්වීම්වලට පැමිණෙන විට ලැබෙන සාදර පිළිගැනීම, සභාවේ ප්‍රමාණය, රැස්වීමේ ශබ්දයේ ප්‍රමාණය හා එහිදී ඇතිවන හැඟීම්, ගායනයේ සංගීත ගුණය, දේශනයේ අන්තර්ගත බුද්ධිය හා ලැබෙන පඬුරු ප්‍රමාණයයි !! නමුත් මේ කිසිම දෙයකින් දෙවියන් වහන්සේ සතුටු නොවන සේක.

දෙවියන් වහන්සේ සභාවක් තක්සේරු කරන්නේ එහි සාමාජිකයන්ගේ හදවතෙහි උන්වහන්සේ දකිනා ක්‍රිස්තුස් වහන්සේගේ වැනි යටහත්කම (නිහතමානිකම), පාරිශුද්ධභාවය සහ ප්‍රේමය සහ තමකමෙහි-කේන්ද්‍රත්වයෙන් නිදහස් වීම යනාදි දේ තුළිනි. එබැවින් සභාවක් පිළිබඳ දෙවියන් වහන්සේගේ තක්සේරුව සහ මිනිසාගේ ඇගයීම එකිනෙකා අතර සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක. ඇත්ත වශයෙන්, එය සාමාන්‍යයෙන් එසේ ය. සාර්දිස්හි යෙශබෙල්ලා නොසිටි අතර එහි බාලාම්ගේ සහ නිකොලායිතයන්ගේ ඉගැන්වීම්වත් ද තිබුණේ නැත. නමුත් ඔවුන්ට වඩාත් නරක දෙයක් තිබුණි - මූනිච්චාව. සාර්දිස්හි දූතයාට තමා විසින් ගොඩනගා ගත් කීර්තිය පිළිබඳව රහසිගත තෘප්තියක් දැනෙන්නට ඇත. එසේ නොවී නම් ඔහු මූනිච්චාකරුවෙකු ලෙස අවසන් නොවනු ඇත. අප ගැන ඔවුන් දරන මතයෙන්, අප කිසිදු තෘප්තියක් නොලබන්නේ නම්, ආත්මිකව ජීවත්ව සිටින කෙනෙකු ලෙස අන් අය විසින් හඳුන්වනු ලැබීමේ කිසිදු වරදක් නැත. නමුත් අප ස්වාමින් වහන්සේ උදෙසා කරන දෙයින් අප වෙනුවෙන් නමක් සොයන්නේ නම්, අපි නිසැකවම ජීවත් වන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ නොව, මිනිසුන්ගේ මුහුණ ඉදිරියේ ය. එවිට මිනිසාගේ මතය නිෂ්ඵල බව අප වටහාගෙන නොමැති බව පිළිගැනීමට සිදුවනු ඇත.

තමන්ට නමක් ලබාගන්නා පිණිස නිරන්තරයෙන් දේවල් කරන සහ වාර්තා ලියන දේශකයින් ගෙන් කිතුනු ප්‍රජාව පිරී ඇත. මේ සියල්ලම සාර්දිස්හි දූතයා මෙන් අවසන් වනු ඇත. ඔවුන්ගේ ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියේ පරිපූර්ණ නොවූ බැවින් අවසාන දවසේදී ස්වාමින් වහන්සේ විසින් විනිශ්චය කරනු ලැබේ. අපගේ චේතනාව මිනිසුන්ගේ සිත් ඇදගැනීමට නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ ක්‍රියා පරිපූර්ණ විය නොහැක. සාර්දිස්හි දූතයා ද ආත්මික මර නිද්දක සිටියේ ය.

උන්වහන්සේගේ පැමිණීමට සූදානම්ව සිටීම සඳහා අවදියෙන් සිටීමේ හා යාච්ඤා කිරීමේ මහත් අවශ්‍යථාවය ගැන යේසුස් වහන්සේ සිය ගෝලයන්ට අනතුරු ඇඟවීය. - මන්ද සැප ජීවිකාව සහ වස්තුවට ඇති ආශාව නිසා ඇදහිළිවන්තයින්ගෙන් හොඳම අයව පවා නින්දට පත් කිරීමේ හැකියාවක් ඇත ( ලූක් 21: 34-36). මිනිසෙකු නිදා සිටින විට, ඔහු අවට සැබෑ ලෝකයේ සිදුවන දේවල් ගැන ඔහු නොදනී. ඔහුගේ සිහිනවල සැබෑ නොවූ ලෝකය ගැන ඔහු වඩාත් දැණුවත් ය. ආත්මික නින්දෙහි සිටින අය සම්බන්ධවද එය මෙයාකාරමය. දේවරාජ්‍යයෙහි සැබෑ ලෝකය, ඔවුන් වටා සිටින නැතිවූ ආත්ම සහ සදාකාලික යථාර්ථයන්, ගැන ඔවුහු නොදනිති. කෙසේ වෙතත් ඔවුන් අවදිව ජීවත් වන්නේ භෞතිකමය වස්තුව, සැප ජීවිකාව, පහසුව, භූමික ගෞරවය සහ කීර්තිය යන සැබෑ නොවූ තාවකාලික ලෝකය උදෙසාය. සාර්දිස් සභාවේ දූතයා සමඟද එය එසේම විය.

ස්වාමින් වහන්සේ ඔහුට අවවාද කරන්නේ නින්දෙන් අවදිවන ලෙස ය - වෙනත් වචනවලින් කිවහොත්, ඔහුගේ සැබෑව නොවූ සිහින ලෝකය අත්හැර - ඔහුගේ ජීවිතයේ ආත්මික මරණය දක්වා ගිලීයමින් පවතින, නමුත් තවමත් නොමැරුණාවූ ස්වල්ප දේ ශක්තිමත් කරන ලෙස ය (2වන පදය). ගිනි අඟුරු තවමත් සම්පූර්ණෙයෙන්ම නිවී ගොස් නැත. නමුත් ඒවා දැල්වෙන පිණිස ඉක්මනින් පවන් ගැසීමට ඔහුට යුතුවිය නැතහොත් ඒවා සම්පූර්ණයෙන්ම නිවී යනු ඇත ( 2 තිමෝති 1:6 Amplified බයිබලය). දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහුගේ ක්‍රියා පරිපූර්ණ නොවූ බව ස්වාමින් වහන්සේ ඔහුට පවසයි (2වන පදය-KJV බයිබලය). බොහෝ ඇදහිළිවන්තයින් “පරිපූර්ණත්වය” යන වචනයට බිය වෙති. දෙවියන් වහන්සේ ඉදිරියේ මෙම දූතයාගේ ක්‍රියා පරිපූර්ණ වනු ඇතැයි ස්වාමින් වහන්සේ අපේක්ෂා කළ බව මෙහිදී අපට පෙනේ.

ආත්මික පරිපූර්ණත්වය විශාල විෂයකි. නමුත් මෙහිදී එහි අර්ථය වන්නේ, වැඩිමහල්ලාගේ ක්‍රියා දෙවියන් වහන්සේගේ අනුමැතිය පමණක් ම ලබා ගැනීම උදෙසා එක හදවතින් සිදු නොකිරීමයි. ඔහුගේ ක්‍රියා යහපත් ක්‍රියා විය - ඔහු ආත්මිකව ජීවත්ව සිටින බවට නමක් ලැබුවේ එලෙසිනි. නමුත් දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා ඒවා සිදු නොකෙරුණි. ඒවා සිදු කළේ මිනිසුන්ගේ සිත් ඔහු වෙත ඇදගැනීමටයි. එබැවින් ඒවා සියල්ලම මළ ක්‍රියා විය. “ඔහුගේ ශුද්ධ ක්‍රියාකාරකම්වල අයුතුකම” (නික්මයාම 28: 38) තිබුණේ ය. දෙවියන් වහන්සේ ඔහුව අනුමත කිරීමට පෙර ඔහුට මෙම අපිරිසිදු ආත්මයෙන් පවිත්‍ර වීමට සිදුවිය (2 කොරින්ති 7: 1). මිනිසුන්ගේ ගෞරවය ලබා ගැනීම සඳහා කරන යහපත් ක්‍රියා මළ ක්‍රියා ය. පරිපූර්ණත්වයේ පළමු පියවර නම්, දෙවියන් වහන්සේගේ මුහුණ ඉදිරියේ සෑම දෙයක්ම කිරීම යි. අපි මෙතැනින් ආරම්භ නොකරන්නේ නම්, අපට කොතැනකටවත් යා නොහැක. එය යාච්ඤා කිරීම, නිරාහාරව සිටීම හෝ අන් අයට උපකාර කිරීම හෝ කුමක් වුවත්, අප අපෙන්ම අසාගත යුතු වැදගත්ම ප්‍රශ්ණය නම් : මා මෙය කිරීම යම් මිනිසෙක් දැක, මාව අගය කරයිද කියා සිතමින් ද කරන්නේ නැතහොත් දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා පමණක් උන්වහන්සේගේ ඉදිරියේ මෙය කරන්නේද? කියා ය. වැරදි චේතනාවකින් බොහෝ යහපත් ක්‍රියා දූෂිත වන අතර ඒවා උන්වහන්සේගේ ඉදිරියේ අසම්පූර්ණවේ.

ප්‍රකාශන හිමිකම - සැක් පූනන්. කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයට කිසිදු වෙනසක් කළ යුතු නොවේ.