WFTW Body: 

හබක්කුක් වනාහි ප්‍රශ්න තිබුණාවු එනමුත් සැකය තුළින් නිශ්චිතත්වය කරා ගමන් කළා වූ මනුෂ්‍යයෙකුගේ කතාවකි. ඔහු පටන් ගන්නෙ සැකසහිතවය, “ස්වාමීන්වහන්ස, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසනසේක; බලාත්කාරය ගැන ඔබට කෑගසමි, එහෙත් ඔබ නොගළවනසේක” ( හබක්කුක් 1:2 ). නමුත් ඔහු අවසන් කරන්නේ නිසැකවම ය : මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි. ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක (හබක්කුක් 3:18,19 ).

හබක්කුක් ස්වාමීන් වහන්සේ දුටු විට, ඔහුගේ හදවත ප්‍රශංසාවෙන් පිරී තිබුණි: "ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ මාළිගාවෙහි සිටිනසේක. මුළු පොළොව උන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවේවා" ( හබක්කුක් 2:20). ඔහුගේ ඇදහිල්ලේ ගැටුම ඇදහිල්ලේ විශිෂ්ට ජයග්‍රහණයෙන් අවසන් විය. ඔහු පවසන්නේ, “ස්වාමීනි, මම ඔබේ තේජස ඉදිරියෙහි නිහඬව සිටිමි. මට තවත් ප්‍රශ්න නැත”. දෙවියන් වහන්සේගේ මහිමය දුටු යෝබ්ද මෙසේ කීවේය. “දැන් මාගේ ඇසින් ඔබ දකිමි. මාගේ අතින් කට වසාගනිමි” ( යෝබ් 42:5, 40:4,5). ස්වාමීන් වහන්සේ දුටු විගස යෝබ්ට තවත් ප්‍රශ්න තිබුණේ නැත. දෙවියන් වහන්සේ ඔබගේ සියලු ප්‍රශ්න 10,000 ට පිළිතුරු නොදෙන සේක. උන් වහන්සේ එසේ කළා නම් ඔබට තවත් ප්‍රශ්න 10,000 ක් ලැබෙනු ඇත! පිළිතුර (යෝබ්ගේ සිද්ධියේදී හා හබක්කුක්ගේ සිද්ධියේදී මෙන්) ස්වාමින්වහන්සේවම දැකීමයි. ස්වාමීන් වහන්සේ සිය ශුද්ධ මාලිගාවේ ය. ඔබ උන්වහන්සේව දැක තිබේද? එවිට ඔබේ මාංසය උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන අතර ඔබට තවත් ප්‍රශ්න නොමැත.

හබක්කුක් දෙවිඳුන් දුටු විට ඇදහිල්ලෙන් ජීවත්වන ජීවිතයේ විපාකය දුටුවේය. දෙවියන් වහන්සේ කේඳ්‍ර කරගත් ජීවිතයක් ජයග්‍රාහී ජීවිතයකි. නපුරු මිනිසුන්ට දඬුවම් කිරීමට දෙවියන් වහන්සේ කිසිවක් නොකරන බව සිතූ හබක්කුක් දැන් දෙවියන් වහන්සේගේ කෝපය මධ්‍යයේ දයානුකම්පිත වන ලෙස යාච්ඤා කරයි ( හබ. 3: 2). දෙවියන් වහන්සේ තම සෙනඟ අත්හැරියා යැයි සිතූ ඔහු දැන් ප්‍රශංසා ගීයක් ගායනා කරයි. ඔහු මෙසේ පවසයි. “ඔබ කළ දේ ගැන මා මවිතයට පත් වෙමි. මම ශුද්ධ වූ දෙවියන් වහන්සේව දකින විට, උන්වහන්සේගේ දීප්තිමත් තේජස ස්වර්ගය වසා ගත්තේය . පොළොව උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී තිබේ. ඔහු මොනතරම් පුදුමාකාර දෙවි කෙනෙක්ද? උන්වහන්සේගේ පුදුමාකාර බලය ගැන උන්වහන්සේ ප්‍රීති වේ. උන්වහන්සේ බැලූ විට ජාතීන් වෙවුලති. ඔබ තෝරාගනු ලැබූ අයව ගලවා ගැනීමට, ඔබේ අභිෂේක ලත් අයව ගලවා ගැනීමට ඔබ පිටත්ව ගොස් ඔබ දුෂ්ටයන්ගේ වංශයේ ප්‍රධානියා පොඩි කළසේක”( හබ. 3: 2-14).

< dir="ltr"> දැන් හබක්කුක් මුලින්ම දුටුවේ දෙවියන් වහන්සේව මිස බබිලෝනිවරුන්ව නොවේය. සිතින් පවිත්‍ර ව සිටින්නෝ දෙවියන් වහන්සේව සෑම තැනකම හා සෑම විටම දකිනු ඇත ( මතෙව් 5: 8). මේ දක්වා තිබුනාවූ කරදරය නම් හබක්කුක් දුටුවේ දුෂ්ට බබිලෝනිවරුන් පමණක් සමෘද්ධිමත් වන බවයි. දෙවියන් වහන්සේ සෑම දෙයක්ම පාලනය කරන බව දැන් ඔහු දුටුවේය. කුරුසිය මතදී යේසුස් වහන්සේ විසින් පොඩි කරනු ලැබූ සාතන්ව "දුෂ්ටයන්ගේ ගෘහයේ හිස" ලෙස සැලකිය හැක. හබක්කුක්ගේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනේ ඔහු දෙවියන් වහන්සේව උන්වහන්සේගේ මහිමයෙන් හා උතුම්කමින් දුටු විටදීය. දෙවියන් වහන්සේ දුටු විට ඔහු ඇතුළාන්තයෙන් වෙව්ලමින් මෙසේ පැවසීය "එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනඟ නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි" ( හබක්කුක් 3:16). ඔබට සැකයක් ඇති විට, මනුෂ්‍යයා සමඟ නොව, දෙවියන් වහන්සේ සමඟ ඒ ගැන කතා කරන්න. දෙවියන්ගේ අවසාන වචනය හබක්කුක්ට සහ අපට “ රැඳී ඉන්න!” යන්නයි. හබක්කුක් බලා සිටිමින් දෙවියන් වහන්සේට ඇහුම්කන් දුන් විට, ඔහුගේ පැමිණිල්ල ගීතයක් බවට පත් විය. අප සම්බන්ධයෙන්ද එය එසේම වනු ඇත. සියල්ලන්ටම වඩා අමාරුම කාර්‍යය වන්නේ බලා සිටීමයි.

හබක්කුක්ගේ අපූරු ප්‍රශංසා ගීතය මුළු පැරණි ගිවිසුමේම ඇති ඇදහිල්ලේ ගීත අතරින් සුන්දරම ගීතයකි. ඔහු නව ගිවිසුම් සාන්තුවරයෙකු මෙන් මෙහි ගායනා කරයි: අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්; මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි (හබක්කුක් 3:17,18). යෝබ් මෙන්, ඔහුගේ ව්‍යාපාරයද විනාශ වී ඇති අතර ඔහුට සියල්ල අහිමි වන්නට ඇත. එහෙත් ඔහු තවමත් ප්‍රීති වන්නේ ඔහුගේ ප්‍රීතිය ස්වාමින් වහන්සේ තුළ මිස මිහිපිට කිසිවක් මත නොවූ නිසා ය. අප අවට ඇති සෑම දෙයක්ම අසාර්ථක වුව ද, අපගේ ගැළවීමේ දෙවියන් වහන්සේ ගැන අපි තවමත් ප්‍රීති වෙමු. ප්‍රශංසා ගීතයක් යනු ඇදහිල්ලේ අභ්‍යන්තර ජයග්‍රහණයේ බාහිර ප්‍රකාශනයයි. “ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාස කොට උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළහ” ( ගීතා .106: 12 ). ස්වාමිවූ දෙවියන්වහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක ( හබක්කුක් 3:19 ). ආරම්භයේදීම බොහෝ සැකයන් හා බිය ඇතිව සිටි මෙම අනාගතවක්තෘවරයා දැන් පවසන්නේ ස්වාමීන්වහන්සේ සෑම සැක කන්දකට ඉහළින් ඔහුව ආරක්‍ෂාකාරීව රැගෙන ගොස් තම පාද මූව දෙනුන්ගෙ පාදවලට සමාන කොට කඳුකරයේ ස්ථිර පාදයක් බවට පත්කරනු ඇති බවයි. හබක්කුක් අවසානයේදී රසවත් කුඩා සටහනක් එක් කරයි: “(නායක ගායනා කරුට: මෙම යාච්ඤාව මාගේ වීණා ඇතුව ගායනා කිරීමටය)” ( හබ. 3:19). ඔහු පවසන දෙය නම්, සියල්ල අහිමි වුවද, මෙම ගීතය ශෝකජනක විලාපයක් ලෙස ගායනා නොකරන්න! එය ප්‍රීතිමත් සංගීතයට සැකසිය යුතුය - තවද බොහෝ සංගීත භාණ්ඩ භාවිතා කිරීමට වග බලා ගන්න! අපගේ මුළු හදවතින්ම ස්වාමින් වහන්සේට ප්‍රශංසා කිරීමට අප ඉගෙන ගත යුතුය. කිසි විටෙකත් මාත්‍රා නොමැති ඒකාකාරී ගීතිකා ගායනා නොකරන්න. මෙම විශ්වයේ කුමක් සිදු වුවද, ස්වාමින් වහන්සේ සිංහාසනයෙහි සිටින අතර යේසුස් වහන්සේ ජයග්‍රහකයා වේ. එබැවින් අපගේ හඬවල් සහ දෙවියන් වහන්සේ අපට දී ඇති සියලුම සංගීත භාණ්ඩ උන් වහන්සේට ප්‍රශංසා කිරීමට හා උන්වහන්සේගේ නාමය උසස් කිරීමට භාවිතා කරමු. ආමෙන්.

ප්‍රකාශන හිමිකම - සැක් පූනන්. කතුවරයාගේ ලිඛිත අවසරයකින් තොරව ලිපියේ අන්තර්ගතයට කිසිදු වෙනසක් කළ යුතු නොවේ.