WFTW Body: 

ගාබ්‍රියෙල් දේව දූතයා මරියා වෙත පැමිණි කළ, ඇය ඉතා අව්‍යාජ ලෙස ඔහුගෙන් ඇසුවේ, “මෙය කෙසේ විය හැකිද? මා කන්‍යාවකි. කන්‍යාවක ට දරුවෙකු ලැබෙන්නේ කෙසේ ද?” දේව දූතයා පිළිතුරු දෙමින්,“ශුද්ධාත්මයාණන් වහන්සේ නුඹ කෙරෙහි පහළ වනසේක, මහෝත්තමයාණන්ගේ නුභාවයද (බලය) නුඹ වසාගන්නේ ය”යි පැවසු බව අප ලූක් 1: 34, 35හි කියවන්නෙ මු. ශුද්ධාත්මයාණන් වහන්සේ නිතරම දෙවියන් වහන්සේගේ බලය අප වෙත ගෙනෙන සේක (ක්‍රියා 1: 8 සහ 10: 38 බලන්න). දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මරියා තුළ යේසුස් වහන්සේව බිහිකිරීම ට පැ මිණියාක් මෙන්, ආත්මයාණන් අප කෙරෙහි ද පැමිණෙන්නේ ප්‍රධාන වශයෙන් අප තුළ ක්‍රිස්තුස් වහන්සේ බිහිකිරීමටය. අපගේ ජීවිතයේදී හා ස්වාමින් වහන්සේ උදෙසා අප කරන සේවයේ දී ශුද්ධාත්මයාණන්ගේ සේවය තේරුම් ගැනීමට ඔබට ඇති පැහැදිලි ම මඟපෙන්වීම එයයි. එම ශරීරය මරියාගේ ගර්භාෂය තුළ වර්ධනය වීමට කාලය ගත වූ ලෙසම ක්‍රිස්තුස් වහන්සේ අපගේ ජීවිත තුළද ප්‍රකාශවීමට කාලය ගත වන්නේය.

ලූක් 1: 37 හි, දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිදෙයක් නැතැයි” යන අලංකාර පොරොන්දුවක් අප දකින්නෙමු (දෙවියන් වහන්සේ පවසන කිසිදු වචනයක් බලරහිත නොවේ. දෙවියන් වහන්සේ වචනයක් කථා කර ඇත්නම්, එහි බලය ඇති බවට ඔබට සහතික විය හැකිය. “ආලෝකය වේවා යි ” දෙවියන් වහන්සේ පැවසූ විට යමක් සිදුවිය. උත්පත්ති 1වන පරිජේදය පුරාම එය අපට පෙනේ. දෙවියන් වහන්සේගෙන් වන කිසිදු වචනයක් බල රහිත නොවේ. අපි දේව වචනය අධ්‍යයනය කර එහි පොරොන්දු අත්පත් කර ගැනීම වැදගත් වන්නේ මේ නිසාය. මෙන්න ප්‍රබල පොරොන්දුවක් : “ පාපය නුඹලා කෙරෙහි අධිපතිකම් නොකරන්නේය” (රෝම 6: 14). ඔබ එය විශ්වාස කරන්නේ නම්, එය ඔබේ ජීවිතයේ සැබැවක් වන්නේ ය, මක්නිසාද දෙවියන් වහන්සේගෙන් වන කිසිදු වචනයක් බල රහිත විය නොහැක.

දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ උන්වහන්සේට සෑම දෙයක්ම කළ හැකි බව අප විශ්වාස කිරීමයි. පැරණි හා නව ගිවිසුමේ ආරම්භයේදීම උන්වහන්සේ මෙය ප්‍රකාශ කළේ එබැවිනි (උත්පත්ති 18: 14 සහ ලූක් 1: 37 බලන්න). අපගේ කිතුණු ජීවිතය ආරම්භයේදී බයිබලය දෙවියන් වහන්සේගේ වචනය ලෙස විශ්වාස කිරීම, අන්ධ ඇදහිල්ල විය හැකිය. නමුත් එය අන්ධ ඇදහිල්ලක් සේ නොපැවතිය යුතුය. අප ශුද්ධ ලියවිල්ලේ පොරොන්දු අත්පත් කරගන්නේ නම්, දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැති බව අපගේ ජීවිතයෙන් අපට ඔප්පු කළ හැකි ය. එවිට බයිබලය දෙවියන් වහන්සේගේ වචනය බවට වන අපගේ ඇදහිල්ල සනාථ කරන ලද ඇදහිල්ලක් බවට පත්වේ, මන්ද දෙවියන් වහන්සේගේ කිසිම වචනයක් බල රහිත නොවන බවට අප රස විඳ හා අත් දැක තිබෙන්නට පුළුවන. යේසුස් වහන්සේ කිසි විටෙකත් පරණ ගිවිසුම ගැන ප්‍රශ්න කළේ නැත. සියලු විචාරකයින් හා දේවධර්මවාදීන් පැවසූ දෙයින් උන්වහන්සේ අපහසුවට පත් නොවූසේක. උන්වහන්සේ එය විශ්වාස කරමින් එහි බලය අත්දුටුසේක. අද, යක්ෂයා, මෙතරම් සරල ඇදහිල්ලෙන් බොහෝ මිනිසුන් නොමඟ යවයි. දෙවියන් වහන්සේගේ වචනය විශ්වාස කර බලය අත්විඳීම වෙනුවට ඔවුන් ගොස් ඔවුන්ගේ දක්ෂතා භාවිතා කර, එක්වරක්වත් දෙවියන් වහන්සේගේ බලය අත්විඳීමෙන් තොරව ශුද්ධ ලියවිල්ල විශ්ලේෂණය කිරීමට උත්සාහ කර ඔවුන්ගේ මුළු ජීවිතයම නාස්ති කරති. ඔබට ජීවත්වීමට අවශ්‍ය වන්නේ කෙසේද? ශුද්ධ ලියවිල්ල විශ්ලේෂණය කරමින් ද, නැතිනම් එය තුළින් දෙවියන් වහන්සේගේ බලය අත්විඳිමින්ද? තේරීම ඔබේ ය.

ඔබවහන්සේගේ වචනය අනුව එය මට වේවා යි කියා, මරියා දෙවියන් වහන්සේගේ වචනයට යටත් වුණි (ලූක් 1: 38). මරියා එතරම් දේවභක්තික තරුණියක් වූ නිසා මම ඇයව මහත් සේ අගය කරමි (මම රෝමාණු කතෝලිකයෙක් නොවුනත්). දෙවියන් වහන්සේ, සැබවින්ම දේවභක්තිකවූ එක් තරුණියක් සොයා ගැනීමට ඉශ්‍රායලය පුරා බැලූ අතර ඒ වන විට වයස අවුරුදු 18ක් පමණ විය හැකි මරියා හමු විය. ශු:ලූක් 1:46 – 55 කියවා ඇය කෙතරම් පරිණතද සහ ඇගේ ගීතය කෙතරම් ශුද්ධවූ ලියවිල්ලෙන් පිරුණු එකක්දැයි බලන්න. පුද්ගලයෙකු දේවගරුබිය දක්වන්නේ නම් වයස අවුරුදු 18 වන විට පවා ඔහු කෙතරම් පරිණත විය හැකි ද යන්න පුදුම සහගතය. දෙවියන් වහන්සේ තම පුද්ගලයන් තෝරාගැනීමේදී කිසිදු වැරැද්දක් නොකරන සේක. නාසරෙත්හි සිටින සෑම කෙනෙක්ම ඇය ගැබ්ගෙන ඇති බව දැනගත් විට ඇය ගැන අපහසාත්මක කථා පතුරවන බව මරියා දැන සිටියාය. මෙය ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාවක් බව කිසිවෙකු විශ්වාස නොකරණු ඇත. එනමුත් ඈගේ ශරීරය තුළින් යේසුස් වහන්සේගේ ශරීරය බිහි කිරීම උදෙසා ඇය එම නින්දා අපහාස විඳීමට කැමති වූවාය. දැන් එය ඔබේ ජීවිතයට අදාළ කරගන්න. ඔබේ නගරයේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩ නැඟීමට ඔබට අවශ්‍යද? ඔබට ඒ සඳහා ගෞරවය අවශ්‍ය ද, නැතහොත් “ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව” විඳීමට කැමති ද? දෙවියන් වහන්සේගේ සේවයේදී තම ගෞරවය සොයන අයට උන්වහන්සේ සහය නොදක්වන සේක. එවැනි අය ගොඩනඟන්නේ සමූහයක් මිස, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නොවේ. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩ නැඟීමේදී මරියා නාසරෙත්හි මුහුණ දුන් පරිදි - නින්දා අපහාස, වරදවා වටහාගැනීම්, සරදම් කිරීම්, හා ඕපදූප (ප්‍රලාප) යන සෑම දේට මුහුණදෙන්නට සිදුවන්නේය. නමුත් ඒ සියල්ලම ඇය කරදරයක් කර නොගත්තාය. එහෙත් ඇය ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය බිහි කළා ය. අදටත් එය එසේමය. " නිකායික කිතුනු ප්‍රජාව වන ආගමික කඳවුරෙන් පිටතට පැමිණ උන්වහන්සේගේ නින්දාව විඳීමට කැමති" මිනිසුන් වෙතින් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ප්‍රකාශ වනු ඇත.