WFTW Body: 

සියලුම ඇදහිළිවන්තයින් අනාගතවක්තෘන් ලෙස කැඳවා නැතත්, සියලුම ඇදහිළිවන්තයින් ධර්මවාක්‍යය පැවසීමට ඉතා උනන්දුවෙන් ආශා කරන මෙන් අණ කර ඇත (1 කොරින්ති 14: 1). මෙය නව-ගිවිසුම් යුගයේ ශුද්ධාත්මය වැගිරීමේ එක් ප්‍රතිඵලයකි ( ක්‍රියා 2: 17, 18). අනාවැකි කීම යනු (නව ගිවිසුමට අනුව අර්ථය) මිනිසුන්ව ධෛර‍්‍යයමත් කිරීම, අභියෝග කිරීම, සහ ඔවුන්ව ගොඩ නැගීම උදෙසා කථා කිරීම වේ (1 කොරින්ති 14: 3). ආත්මයෙන් පූර්ණ වූ සියළු ඇදහිළිවන්තයින්ට සභා රැස්වීම්වලදී කෙටියෙන් ධර්මවාක්‍යය පැවසිය හැකිය (1 කොරින්ති 14: 31). අනෙක් ඇදහිළිවන්තයින් ප්‍රකාශ කළ අනාවැකි විනිශ්චය කර, එයින් කොපමණක් දෙවියන් වහන්සේ ගෙන් ද සහ කොපමණක් මනුෂ්‍යයා ගෙන්ද කියා - ශුද්ධ ලියවිල්ලෙන් සෑම එකක්ම පරික්ෂා කර බැළිය යුතු ය (1 කොරින්ති 14: 29).

දෙවියන් වහන්සේ සභාවෙහි සමහරුන් අනාගතවක්තෘවරුන් ලෙසද ආළේප කර ඇත. මොවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ගොඩ නැගීම සඳහා දෙවියන් වහන්සේ සභාවට දීමනා ලෙස දුන් මිනිසුන්ය. ඇදහිළිවන්තයින්ව අභියෝග කිරීමට හා ශක්තිමත් කිරීමට අනාගතවක්තෘවරුන් දිගු පණිවිඩ කථා කරති. “ජූදස් සහ සීලස් අනාගතවක්තෘවරුන් වූ බැවින් දිගු පණිවිඩයකින් සහෝදරයන්ව ධෛර‍්‍යයමත් කර, ශක්තිමත් කෙරූ බව අපි කියවන්නෙමු” ( ක්‍රියා 15: 32). නමුත් සභාවෙහි අනාගතවක්තෘවරුන් ලෙස කැඳවූ ඇදහිළිවන්තයින් ඉතා ස්වල්ප බව සියළු දෙනා මතක තබා ගත යුතුය ( 1 කොරින්ති 12: 28, එපීස 4: 11).

සභා රැස්වීමකදී ධර්මවාක්‍යය පවසන කෙනෙකුට ඇහුම්කන් දීම කෙසෙල් ගෙඩියක් අනුභව කිරීමක් වැනිය. අප ලෙල්ල (මිනිසාගෙන් වූ දේ) ඉවත දමා ලෙල්ල ඇතුළත ඇති දේ (දෙවියන් වහන්සේ ගෙන් වූ දේ) ආහාරයට ගත යුතුය. තරුණ ඇදහිළිවන්තයෙකුගේ ලෙල්ල ඉතා ඝනකම වන අතර දෙවියන්වහන්සේ ගෙන් වනදේ ඇත්තේ ඉතා අල්ප වශයෙනි. නමුත් අපි ඒ සුළු දේ පවා ගැනීමට සතුටු වෙමු. කෙසේ වෙතත් පරිණත සහෝදරයෙකු තුළ ලෙල්ල තුනී වන අතර, දෙවියන් වහන්සේ ගෙන්වූ බොහෝ දේ අඩංඟු ය. සහෝදරියන්ට පවා අනාවැකි කිව හැකි ය ( ක්‍රියා 2: 17, 18). නමුත් පෙන්තකොස්ත දවසේ ආරම්භ වූ නව ගිවිසුමෙන් පසුව අප කිසිදු ස්ත්‍රී අනාගතවක්තෘවරියක් දකින්නේ නැත. ස්ත්‍රී ප්‍රේරිතයන් ද නැත.

ඕනෑම කෙනෙකු අනාගතවාක්‍ය කිව යුත්තේ ඔහුගේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනුව පමණි ( රෝම 12: 6 ). අනාවැකි කීමේදී “ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක” යන වචන භාවිතා කිරීමට පාවුලුතුමා බිය වූවේ මෙනිසාය. ඒ වෙනුවට “දෙවියන් වහන්සේගේ ආත්මය මා සතුව ඇතැයි මා සිතමි” යි ඔහු පවසයි (1 කොරින්ති 7: 40 ). අප අනාවැකි පවසන විට, ශුද්ධ ලියවිල්ලෙන් යම් පදයක් උපුටා දක්වන්නේ නැත්නම්, “ස්වාමින් වහන්සේ මෙසේ වදාරන සේක යි” යන වචන අප කිසි විටෙකත් භාවිතා නොකළ යුතුය. එවැනි වචන භාවිතා නොකරන ලෙස යෙරේමියා අපිට අනතුරු අඟවයි ( යෙරේමියා 23: 21). එසේම අප අනාවැකි පවසන සෑම අවස්ථාවකම, අපගේ පණිවිඩය දෙවියන් වහන්සේ ගෙන්ද නැද්ද යන්න ආත්මයෙන් වටහා ගැනීමට හා තීරණය කිරීමට අපි අනෙක් ඇදහිළිවන්තයින්ට ඉඩ දිය යුතුය.

අලුත් ගිවිසුම් අනාගතවක්තෘවරයෙක් (පැරණි ගිවිසුම් අනාගතවක්තෘවරුන් කළාක් මෙන්) කිසියම් තත්වයක දී කළ යුතු දේ පිළිබඳ අන් අයට මගපෙන්වීම් දී නොමැති බව අප මතක තබා ගත යුතුය. ක්‍රියා 11: 28 හි ඉදිරියට පැමිණෙන්නා වූ සාගතය ගැන අගබස් අනාවැකි පළ කළ බව අප දකින නමුත්, කිසිවෙකු හට ඒ ගැන කුමක් කළ යුතුද යන්න ගැන වචනයක්වත් ඔහු කීවේ නැත. එලෙසම ක්‍රියා 21: 11 හි පාවුල්තුමා යෙරුසලමට ගියහොත්, ඔහුව සිරභාරයට ගන්නා බව කීවත්, එහි යා යුතුද නැද්ද යන්න ඔහු පාවුලුතුමාට කීවේ නැත. එයට හේතුව නම්, සෑම ඇදහිළිවන්තයෙකු තුළම දැන් ශුද්ධාත්මයාණන් වහන්සේ සිටින බැවින්, සෑම ඇදහිළිවන්තයෙකුටම තමා කළ යුතු දේ පැවසිය යුත්තේ ශුද්ධාත්මයාණන් වහන්සේ ය. කෙසේ වෙතත් පැරණි ගිවිසුම යටතේ, මිනිසුන්ට මඟ පෙන්වීම සඳහා ඔවුන්ට ඇතුළාන්තයෙහි වාසය කරන ආත්මයාණන් නොසිටිසේක. එබැවින් ස්වාමින්වහන්සේට අවශ්‍ය දේ ඔවුන් විසින් කරනු පිණිස ආත්මයාණන් ඇතුව සිටි අනාගතවකතෘ වරයාට එය ඔවුනට පැවසීමට සිදුවිය.

නමුත් මෙම අනතුරු ඇඟවීම නොතකා පැරණි ගිවිසුම් අනාගතවක්තෘවරුන් මෙන් ක්‍රියා කරන හා කළයුතු දේ අදටත් ඇදහිළිවන්තයන්ට පවසන පරිණත නොවූ ඇදහිළිවන්තයින් බොහෝය. එවැනි සමහර අහංකාර පරිණත නොවූ ඇදහිළිවන්තයින් තීර්හී ප්‍රේරිත පාවුලුතුමාට පවා “යෙරුසලමට නොයන මෙන්” “ඔවුන්ගේම ආත්මයෙන්” ඔහුට පැවසූහ ( ක්‍රියා 21: 4 ). නමුත් පාවුලුතුමා ඉතා නිවැරදි ලෙස ඔවුන්ගේ මඟ පෙන්වීම නොසළකා එහි ගියේය (ක්‍රියා 23: 13 ). පසුව යෙරුසලමට යෑම සැබැවින්ම උන්වහන්සේගේ කැමැත්ත බව ස්වාමින් වහන්සේ පාවුලුතුමාට තහවුරු කලසේක ( ක්‍රියා 23: 11). එබැවින් තීර්හි සිටි ඇදහිළිවන්තයින් ඔවුන්ගේ ඊනියා අනාවැකියේදී සම්පූර්ණයෙන්ම වැරදි වූහ. එය ස්වාමින් වහන්සේගෙන් පැමිණීයේ නැත. අපගේ සභාවල සිටින ඇදහිළිවන්තයින්ට, කිසිවිටෙකත් කළ යුතු හෝ නොකළ යුතු දේ ගැන “ස්වාමීන් වහන්සේ ඔබ හට මෙසේ පවසන සේකැයි” කියන්නාවූ කිසිම අනාවැකියකට ඇහුම්කන් නොදෙන ලෙසට, අප අනතුරු ඇඟවිය යුතු ය. එසේ නොවුණහොත් ඔවුහු මුළා වන්නෝය.

නව-ගිවිසුම් ධර්මවාක්‍යය පැවසීමේ ප්‍රධාන පරමාර්ථය නම්, (1) දෙවියන් වහන්සේගේ සෙනඟ තම පාපවලින් ගළවා ගැනීම සහ (2) සභාව ගොඩනැඟීමයි. අපගේ සියළුම සභා රැස්වීම් වලදී අප ප්‍රකාශ කළ යුත්තේ මෙයයි, මක්නිසාද යේසුස් වහන්සේ පැමිණියේ මෙම අරමුණූ දෙක සඳහාය : (1) උන්වහන්සේගේ සෙනඟ සියලු පාපවලින් ගළවා ගැනීමට (අලුත් ගිවිසුමේ 1 වැනි පොරොන්දුව - මතෙව් 1: 21) සහ (2) උන්වහන්සේගේ සභාව ගොඩනැඟීම සඳහාය ( මතෙව් 16: 18 ).

අනෙක් අතට, ඔබ පාපයෙන් නිදහස් වීම හා ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ සම්බන්ධතා ගොඩනැගීමට වඩා ශුද්ධාත්මයාණන්ගේ දීමනා ක්‍රියාත්මක කිරීම ගැන දේශනා කරනේ නම්, එවිට ඔබේ සභාව ඉතා ඉක්මනින්, ආත්මයේ සියලු දීමනා ක්‍රියාත්මක වන්නාවූ (1 කොරින්ති 1: 7) ලෞකික, පරිණත නොවූ සහ ගැටුම්වලින් පිරුනු කොරින්ති සභාව මෙන් වනු ඇත. එමෙන්ම ඔබේ සභාව ලවෝදික සභාව මෙන් අවසන් විය හැකි ය - එහෙත් කාළකණ්ණියාද, දුගීයාද, දුක්ඛිතයාද, අන්ධයාද හා නග්නව සිටින්නාද, ඒ නුඹම බව නොදැනීම සිටීම මහත් විපත්තියකි ( එළිදරව් 3: 17).

ඔබට නව ගිවිසුම් සභාවක් ගොඩනැඟීමට අවශ්‍ය නම්, ඔබගේ දේශනාවල (කිරීමේ) අවධාරණය කිරීම් සැමවිටම යේසුස් වහන්සේගේ හා ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම්වලට සමාන විය යුතු ය - නමුත් අද බොහෝ කිතුණු සභාවල අපට ඇසෙන්නට ලැබෙන දේවල් නොවිය යුතු ය.