WFTW Body: 

දිනපතා කුරුසිය දරන්න.

ස්වාමින් වහන්සේ මෝසෙස් ට කථා කරමින් මෙසේ කී සේක “ඔබ සැම මේ කඳුකරය වටකර ගිය කාලය ඇත (ද්විතීය කථාව 2: 2,3). අප නිතරම එකම ආත්මික මට්ටමේ පවතින්නේ නම්, අප එකම තැන වටේ යනවා පමණි. අප පාපය ජයගැනීමේ ප්‍රගතියක් ලැබිය යුතු ය - එසේ නැතුව වසර ගණනාවකට පෙර පරාජිතවූ පාප වලටම අප නිරන්තරයෙන් ම පරාජිත විය යුතු නැත. ඔබ වසර 10 කට පෙර කළාක් මෙන් තවමත් කෝපවීම හෝ තෘෂ්ණාවෙන් ඔබගේ දෑසින් ස්ත්‍රීන් කෙරෙහි නොබැලිය යුතු ය. මෙම ක්‍රියා තුළ අප තවමත් පරාජිත නම්, අප එකම තැන වටේ යනවා පමණි. ස්වාමින් වහන්සේ දැන් අපට ඉදිරියට යන මෙන් කථා කරන සේක. ඔබ ඊයේ කුරුසිය රැගෙන ගියා ද? සමහර විට ඔබ කරන්නට ඇති. නමුත් එය ඊයේ පැවති දුෂ්ඨ දේට පමණක් සෑහුණි (මතෙව් 6: 34). අද තවත් දවසක් බැවින් ඔබගේ ශරීරය හා ඔබගේ සිය-කැමැත්ත නැවත වරක් පූජා කළ යුතුය. අද ඔබගේ තෘෂ්ණාවන්ට, ඔබගේ කෝපයට, ඔබගේ උඬඟු කමට, ඔබගේ මුදලට ඇති ආශාවට, මිනිසුන්ගෙන් ලැබෙන ගෞරවයට ඇති ආශාවට, ඔබගේ තිත්තකම්වලට යනාදි යට.... ඔබ මැරෙන්නට අවශ්‍ය ය. මෙම තෘෂ්ණා අපගේ මාංශය තුළ පවතින අතර ඒවා අප ජීවත්වන තෙක් අප තුළ පවතින්නේය. අපගේ පොළොවෙහි ජීවිත කාලය පුරාම අපට දිනපතා කුරුසිය දැරීම අවශ්‍ය වන්නේ එම නිසාය. ඔබගේ ජීවිතයේ මෙම සැමදා පූජාවීම තිබේ ද? නැතහොත් අන්තක්‍රිස්තුස්ගේ ආත්මය අනිවාර්යෙන් ම ඔබ මුළා කර ඇත.

සියළු දේ ගැන දෙවියන් වහන්සේගේ අනුබලය කෙරෙහි විශ්වාස කරන්න.

ජෝබ්ට තිබුණාවූ සියල්ල - දරුවන්, දේපළ හා ඔහුගේ සෞඛ්‍යය පවා - සියල්ලම දෙවියන් වහන්සේ ගෙන් ඔහුට නොමිළේ ලැබුණ දීමණා බවත්, දෙවියන් වහන්සේ ට ඒ සියල්ල නැවත ගන්න අවශ්‍ය වූවේ නම් උන්වහන්සේට ඒ සඳහා සියළු හිමිකම තිබුණ බවත් යෝබ් දැන සිටියේය. එසේ ජෝබ්ට සියල්ල නැතිවූ විට, ඔහු දෙවියන් වහන්සේට නමස්කාර කරමින් කියා සිටියේ “ස්වාමින් වහන්සේ දුන් සේක, ස්වාමින් වහන්සේ ගත් සේක. ස්වාමින් වහන්සේගේ නාමයට පැසසුම් වේවා” (ජෝබ් 1: 20-22). යමෙකුට ඔහු සන්තක සියල්ල අත්හරින තාක් - එනම්, ඕනෑම දෙයක් තමාගේම ලෙස තබා ගැනීමේ අයිතිය අත්හරිනතෙක් - සැබැවින්ම දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට බැරිය. “මාගේ ජීවිතයේ සිදුවන සෑම දෙයක් ම දෙවියන් වහන්සේ දන්නා බව”ජෝබ් තවද කියා සිටියේය (ජෝබ් 23: 10). අද අපට යෝබ්ට වඩා ඉදිරියට ගොස් (රෝම 8:28 අනුව)“මා කෙරෙහි අදාල සෑම කාරණයක් ම දෙවියන් වහන්සේ සැළසුම් කරන බව කිව හැකිය. අප දෙවියන් වහන්සේට ප්‍රේම කර, උන්වහන්සේගේ අභිප්‍රාය පමණක් අපගේ ජීවිතයේ සම්පූර්ණ කරන්නට සොයන්නේ නම්, එවිට අපගේ ජීවිතයේ ඉදිරියට එන්නට දෙවියන් වහන්සේ ඉඩ හරින සෑම දෙයක් ම, උන්වහන්සේ විසින් සැළසුම් කර ඇත්තේ පරිපූර්ණ ප්‍රඥාවෙන් හා ප්‍රේමයෙන් ය - ක්‍රිස්තුස් වහන්සේගේ සමානත්වයට අපගේ වර්ධනය වීම උදෙසා ඒ සියල්ලම ක්‍රියා කරවීම පිණිස උන්වහන්සේගේ සර්වබලධාරි බලය සෑහේ (රෝම 8: 29). ඔහුගේ කාලයේදී නිර්දෝෂි හා අවංක මනුෂ්‍යයෙකු ලෙස ජෝබ් වෙත ඇඟිල්ල දිගු කර සාතන් ට පෙන්වන්නට දෙවියන්වහන්සේට හැකි විය. ඊටත් වඩා, කිසිම අවස්ථාවක පැමිණිළි කරන්නේවත්, කොඳුරන්නේවත් නැති, ඒ වෙනුවට සියළු දේට සෑම අවස්ථාවකදී ම ස්තූති දෙන මිනිසුන් හා ස්ත්‍රීන් ලෙස අපව සාතන්ට පෙන්වන්නට දෙවියන්වහන්සේට හැකිවිය යුතුය (එපීස 5: 28).

ප්‍රේමයෙන් පිරී සිටීමට සොයන්න

රෝම 5:5 පැහැදිලි කරන ලෙස ආත්මයේ පූර්ණත්වයේ නොවරදින සලකුණ නම් ප්‍රේමයයි. “අන්‍ය භාෂා කථාකිරීමට” වඩා ප්‍රේමය අවධාරණය කළේ නම්, කිතුණු ප්‍රජාව තුළ කොපමණ වෙනසක් වන්නට තිබුණේ ද - ක්‍රියා 2: 4 වෙනුවට රෝම 5: 5 ආත්මයේ පූර්ණත්වයේ හඳුනාගැනීමේ සලකුණ ලෙස අවධාරණය කර තිබේ නම්. අපට අන්‍ය භාෂා දීමණා තිබුණත්, ප්‍රොපේත දීමණා තිබුණත් සහ කඳු ඉවත් කිරීමට ඇදහිල්ල තිබුණත් දෙවියන් වහන්සේගේ වචනයෙහි සඳහන් වන්නේ අපට ප්‍රේමය නැති නම් අප දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ ශුන්‍ය වන්නේය කියාය (1 කොරින්ති 13: 2). අනෙක් අතට අප අන්‍ය භාෂා කථා නොකළත්, කිසිවිට අනාගත වාක්‍ය නොකීවත්, කිසිවිට කඳු ඉවත් නොකෙරුවත් අපට ප්‍රේමය තිබුණොත් දෙවියන් වහන්සේගෙන් අනුමැතිය ලද්දෙකු විය හැකිය. උන්වහන්සේගේ ජීවිතයෙහි ශුද්ධාත්මාණන්ගේ කිසිදු ආශ්චර්යවත් දීමණාවක්වත් ක්‍රියා කරන්නට ප්‍රථමව, යේසුස් වහන්සේ උන්වහන්සේගේ බෞතිස්මයේදී පියාණන් ගෙන් අනුමැතිය ලැබූ සේක ("මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය මොහු කෙරෙහි මා ඉතා ප්‍රසන්නව සිටිමි"). උන්වහන්සේ අවුරුදු 30 පුරාම ආත්මයෙන් පිරී සිටී සේක - උන්වහන්සේගේ පියාණන්ට හා අන් අය කෙරෙහි ප්‍රේමයෙන් පිරී සිටී සේක. උන්වහන්සේ පියාණන්ව ප්‍රසන්න කෙරුවේ මෙයාකාරයටය. ඉතා උතුම්ම දේ ප්‍රේමයයි - මන්දයත් එය ස්වර්ගයේ ආත්මයයි. ඔබ මා දැක ඇත් නම්, මාගේ පියාණන්ව දැක තිබේ යැයි යේසුස් වහන්සේ පැවසූ සේක (යොහාන් 14: 9). තවද උන්වහන්සේ අපට පවසන සේක් "පියාණන් මා යැවූසේම මාද නුඹලා යවමි" (යොහාන් 20: 21). එබැවින්, ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ලෙස, “ඔබ අප දැක ඇත් නම්, යේසුස් වහන්සේ කොයි ආකාරයේ කෙනෙක් දැයි යම් අංශු මාත්‍රයක් වත් ඔබ දැක ඇතැයි” අපට අද දවසේ කිව හැකි විය යුතු ය. ඔබ මාගේ නිවසෙහි ජීවත් වුවහොත්, ස්වර්ගය කුමක් ද යයි යම් අංශු මාත්‍රයක්වත් ඔබ රස විදින්නේ ය. ඔබ මා සමඟ සහෝදරත්ව සහභාගිකමේ පවතින්නේ නම්, ඔබ යේසුස් වහන්සේ කොයි ආකාරයේ කෙනෙක් දැයි සහ ස්වර්ගය කුමක් ද යැයි යම් අංශු මාත්‍රයක්වත් රස විදින්නේ ය.” අපගේ සාක්ෂිය විය යුතු වන්නේ එයයි. අප දේශනා කලත්, ක්‍රිස්තු ධර්මය ප්‍රකාශ කලත්, සහ බයිබලය ඉගැන් වූවත්, දෙවියන් වහන්සේගේ ජීවනය හා ප්‍රේමය අපගේ ජීවිතයේ සෑමදාම ප්‍රකාශ නොකරන්නේ නම්, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ සාක්ෂිය අසමත් ය. කිතුණු ප්‍රජාව තුළ අද දවසේ ඇති ඛේදවාචකය මෙයයි.

පරිත්‍යාගශීලිවන්නට පුරුදුවන්න

දෙවියන් වහන්සේගේ දීමණා ලැබීම සැබවින්ම මහත් ආශීර්වාදයකි. නමුත් දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අපට තවත් යමක් ලැබීමයි - ඊට වඩා ආශීර්වාදයක්, යේසුස් වහන්සේගේ මෙම වචනය ට සවන් දෙන්න: “ලැබීමට වඩා දීම ආශීර්වාදයක් ය (ක්‍රියා 20: 35). ඔබ එම වචනයට කීකරු වුවහොත් ඔබ මෙම මහත්වූ ආශීර්වාදය අත් දකිණු ඇත - දීම තුළින් ලැබෙන්නා වූ ආශීර්වාදය. “අන් අයට උපකාර කරන්නන් තමන්ටම උපකාර කරගන්නෝ ය” (හිතෝපදේශ 11: 25). අප අන් අයට ආශීර්වාද කරන කළ දෙවියන් වහන්සේ අපට ඊටත් වඩා ආශීර්වාද කරන සේක. ආදම් ගෙන් උරුම වූ අපගේ මාංශය ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමි හා තමන් ගැනම පමණක් සිතන්නේය. අප අපට ඇති දේ දෙවියන්වහන්සේට හෝ අන් අයට දෙන්නට ස්වභාවයෙන්ම අකමැත්තෙමු. අපව මෙම ආත්මාර්තකාමී හා අප කෙරෙහිම කේන්ද්‍රිකවන ආදම්ගේ ජීවිතයෙන් මුඳවාගෙන යේසුස් වහන්සේ මෙන් සාදන්නට ශුද්ධාත්මයාණන් වහන්සේට අවශ්‍යය. එය කිරීමේ එක් ක්‍රමයක් නම්, උන්වහන්සේ දීමට හා දීමට හා දීමට අපව පෙළඹවීමයි. එබැවින් මෙම ක්ෂේත්‍රය තුළ ශුද්ධාත්මයාණන්ගේ පෙළඹවීම්වලට සවන් දෙන්න - එවිට ඔබ මෙතෙක් අත් නොදුටු ආශීර්වාදයක් අත්දකිනු ඇත. සමෘධිමත්වූ ජීවනයට මාර්ගය මෙයයි.

කුතුහලයෙන් විමුක්තිය ලබන්න

කුතුහලය සාතනීක​ දුෂ්ඨ පාපයක් බව බොහෝ ඇදහිළිවන්තයින් හදුනා ගෙන නැත. අපගේ මාංශයට අන් මිනිසුන් ගැන අනවශ්‍ය හා අපට අදාළ නැති බොහෝ දේ ගැන දැනගන්නට මහත් ආශාවක් ඇත. අන් අයගේ පාප ගැන ඕපදූප අසන්නට මාංශය ආශාවක් දක්වයි - බොහෝ විට සමහර ඇදහිළිවන්තයින් විසින් “යාච්ඤා-ඉල්ලීමක්” ලෙස ඒවා බෙදා හරී!! නමුත් මෙවැනි තොරතුරු කිසිවිටෙකත් අපහට කිසි යහපතක් නොකරයි. ඊට පටහැනිව, එය අපගේ මණස දූෂ්‍ය කර, අන් අය කෙරෙහි අපට අගතිය ඇති කරමින්, අපව දුෂ්ඨ-මණසැත්තන් කරමින්, සහ ස්වාමින් වහන්සේ කෙරෙහි ඇති අපගේ සාක්ෂිය හා සේවාවට බාධා ගෙන එන්නේය. සාතන් බොහෝ ඇදහිළිවන්තයින් නොමඟ හරින්නේ මෙයාකාරයෙනි. බයිබලය අපට මෙලෙස පවසයි "ඔබ සැමගෙන් කිසිවෙක් අනුන්ගේ කාරණාවලට මැදිවන්නෙකු ලෙස දුක් නොවිඳීවා" ( 1 පේතෘස් 4:15 ). වෙනත් වචනයෙන් කිවහොත් : තමුන්ගේම වැඩක් බලාගනින්න!! ඔබ කිසිවෙකුට ස්වේච්ජාවෙන්වත් ඔහුගේ අතීත පාප ගැන ඔබට කීමට කිසිවිට ඉඩ නොදිය යුතුයි. සියල්ලෝම තමන්ගේ පාප මනුශ්‍යයන්ට නොව දෙවියන් වහන්සේට පමණක් පාපොච්චාරණය කළ යුතුය. පාපය පාපොච්චාරණය කළ යුතු වන්නේ එය සිදුවූ සමූහය වටා පමණි. සිතුවිලි ජීවිතයේ පාප එනම් වෙන කෙනෙකු රිදවන්නැති නමුත් අපවම රිදවන අපගේ සිතුවිලිවල හටගන්නා පෞද්ගලික පාප දෙවියන් වහන්සේට පමණක් පාපොච්චාරණය කළ යුතුය. නමුත් තවත් අයෙකුව රිදවූ පාප දෙවියන්වහන්සේට මෙන්ම අනික් පුද්ගලයාටද පාපෝච්චාරණය කළ යුතුය. සභාවකට විරුද්ධව කළ පාප දෙවියන් වහන්සේට සහ සභා මෙහෙයේ දී පාපොච්චාරණය කළ යුතු ය. අපගේ මණස පවිත්‍රව හා දූෂ්‍ය නොවී පවත්වා ගන්නට නම් අප මෙම නියමයන් එසේම පැවැත් විය යුතුය.

සෑම විටම මැවිල්ල වෙනුවට මැවුම්කරු තෝ රාගන්න

දෙවියන් වහන්සේ වෙනුවට උන්වහන්සේගේ මැවිල්ල තෝරාගන්නා මනුෂ්‍යයා වහළෙක් බවට පත්වන්නේය. බොහෝ මනුෂ්‍යයින් දෙවියන් වහන්සේට වඩා මුදලට සහ පාපිෂ්ඨ සැපතට ප්‍රිය කරයි. මෙලෙස ඔවුන් මුදලට හා පාපිෂ්ඨ සැපතට වහළුන් වී ඔවුන්වම විනාශ කරගනී. යේසුස් වහන්සේ පැමිණියේ, මෙම වහල් කමෙන් අපව ගැළවීම පිණිසයි. සැබෑ පරිවර්ථනයක් එවැනි වහල් කමෙන් මනුෂ්‍යයා මුදවන්නේය. බොහෝ මනුෂ්‍යයන් අනුන්ගේ උපදේශයන් මතද වහල් වී ඇති බැවින් - ඔවුන්ට දෙවියන් වහන්සේට නිදහස්ව සේවය කරන්නට බැරිය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැවුවේ ඉහළ අහසේ පියාඹන රාජාළියකු මෙන් වීමටය. නමුත් සෑමතැනම අප දකින්නේ මනුෂ්‍යයා ඔහුගේ කෝපය හා තෘෂ්ණාව ජයගන්නට බැරි වහළෙකු හැටියටය. යේසුස් වහන්සේ පැමිණියේ නිකම්ම අපේ පාප කමාකරන්න පමණක් නොවේ, නමුත් අපගේ මාංශයේ ඇති සියළු තෘෂ්ණා සහ අභිලාෂයන් වලින් මුදවාලන්නටය. නිවෙස්වල බොහෝ ආරවුල් හටගන්නේ භූමික දේවල් නිසාය. මෙවැනි ආරවුල් හටගන්නේ ස්වාමිපුරුෂයා හා බිරිඳ දෙදෙනාම දෙවියන් වහන්සේවම තෝරාගන්නවාට වඩා මැවූ දේවල් තේරීම නිසාය - එබැවින් ඔවුන්ගේ තේරීමේ ප්‍රතිවිපාක ඔවුන් නෙළාගන්නෝය. ඔවුන් මාංශයට වපුරා නපුර නෙළා ගන්නෝය. දෙවියන් වහන්සේ වෙනුවට දෙවියන්වහන්සේගේ මැවිල්ල තෝරාගත් ඒව ගේ තේරීම ඔබ ප්‍රතික්‍ෂේප කිරීමෙන් ඔබේ නිවස අතිශයින්ම ප්‍රීතිමත් නිවසක් විය හැකි ය. “ස්වාමිනි මාගේ මමත්වය, මාගේ ජීවිතයේ කේන්ද්‍රය වන්නට මට අවශ්‍ය නැත, මාගේ ජීවිතයේ සියළු දේම ඔබවහන්සේ තුළ කේන්ද්‍ර වීමට මට අවශ්‍ය යැයි ස්වාමින් වහන්සේට පවසන්න.

යේසුස් වහන්සේ දෙන්නට පැමිණි අධිකතර ජීවනයට මාර්ගය මෙයයි.