WFTW Body: 

ගණන් කථාවේ 13වන පරිච්ජේදයේ ඉශ්‍රායෙල්වරු දෙවියන් වහන්සේ පොරොන්දු වු කානාන් දේශයේ මායිම වන පාරාන් කාන්තාරයේ වු කාදෙෂ් බර්නෙයා නම් තැනට පැමුණු බව අපි දකින්නෙමු. ඊජිප්තුවෙන් පිටත් වී දැන් වසර 2ක් ගතවී තිබූ අතර ( ද්වීතීය කථාව 2: 14), දෙවියන් වහන්සේ ඔවුනට ගොස් දේශය තමන් සතු කරගන්නා ලෙස කී සේක. ඉශ්‍රායෙල්වරු දේශය සෝදිසි කරන පිණිස ඔත්තුකරුවන් දොළහක් යැවූහ.

ඔවුන් දොළොස් දෙනාම ආපසු පැමිණ කියා සිටියේ එම දේශය සැබවින්ම ආශ්චර්යමත් (අසිරිමත්) දේශයක් බව ය. කෙසේ වෙතත් ඉන් දහ දෙනෙකු කියා සිටියේ “නමුත් එහි ඉතා බලවත් යෝධයන් සිටින බැවින් අපට ඔවුන් ජයගත නොහැකි බවයි” (ගණන් කථාව 13: 27,28,29 ).

එහෙත් ඔවුන්ගෙන් දෙදෙනෙක්වූ - කාලෙබ් සහ යෝෂුවා - එයට උත්තර දෙමින් : අපි ඔත්තුකරුවන් ලෙස සෝදිසි කර බැලුවාවු දේශය ඉතා හොඳ දේශයකි. ස්වාමින් වහන්සේ අප කෙරෙහි ප්‍රසන්න ව සිටී නම්, කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. මෙම යෝධයෝ ජය ගන්නට ස්වාමින් වහන්සේ අපට උපකාර කරන සේක ( ගණන් කථාව 14: 6-9). නමුත් 600,000 ක්වූ ඉශ්‍රායෙල්වරු බහුතරයට ඇහුම්කන් දුන්හ.

මෙයින් අප ඉගෙන ගන්නේ කුමක් ද? ප්‍රථමයෙන් ම බහුතරය අනුගමනය කිරීම භයානකය - මක්නිසාද බහුතරය නිරන්තරයෙන්ම වැරදිය. “ජීවනයට ඇති මාර්ගය පටුය එය සොයාගන්නන් ඉතා ස්වල්ප යැයි” යේසුස් වහන්සේ කීසේක. බහුතරය තවමත් පළල් මාර්ගයේ විනාශය කරා ගමන් කරයි. එම නිසා ඔබ බහුතරය අනුගමනය කරන්නේ නම්, නිසැකවම ඔවුන් සමඟ පළල් මාර්ගයේ විනාශය කරා යන්නේ ය. විශාල සභාවක් ආත්මික සභාවක් යැයි කිසිසේත් නොසිතන්න. යේසුස් වහන්සේගේ සභාවේ සිටියේ සාමාජිකයන් 11ක් පමණකි. නායකයන් දසදෙනෙකු එක් දෙයක් කියූ විට සහ දෙදෙනෙකු එයට හාත්පසින්ම විරුද්ධ දේ කියන කළ ඔබ ගන්නේ කාගේ පැත්තද? දෙවියන් වහන්සේ යෝෂුවා සහ කාලෙබ් යන දෙදෙනාගේ පැත්තේ ය.

අවිශ්වාසය සහ සාතන් සිටියේ අනෙක් දස දෙනාගේ පැත්තේ ය. නමුත් ඉශ්‍රායෙල්වරු මෝඩ ලෙස බහුතරය අනුගමනය කළෝය - ඔවුනට ඉදිරි වසර 38 ට කාන්තාරයේ කරක් ගසන්නට සිදු වූවේ එම නිසා ය. දෙවියන් වහන්සේ සිටියේ කාගේ පැත්තේද කියා දැන ගැනීමට ඔවුන්ට ආත්ම විමසීමේ දීමනාව නොතිබුණි ! දෙවියන් වහන්සේ සහ එක් කෙනෙකු සැමවිටම බහුතරයක් වන බැවින් මාගේ ස්ථාවරය සැමවිටම එසේ තැබීමට මට අවශ්‍ය ය. නික්මයාම 32 හි දෙවියන් වහන්සේ මෝසෙස්ගේ එනම් එක් මිනිසෙකුගේ පැත්තේ සිටි බව අප දකින්නේ සියලුම ඉශ්‍රායෙල්වරුන් රන්වස්සාට නමස්කාර කරන විටදීය. නමුත් එදා සියළුම ගෝත්‍ර දොළහෙන්, ලෙවී ගෝත්‍රයට පමණක් එය දකින්න ලැබුණි. එහෙත් දැන් දෙවියන් වහන්සේ යෝෂුවා සහ කාලෙබ් සමඟ සිටිය දී, ලෙවී ගෝත්‍රයට පවා එය හදුනා ගන්නට නොහැකි විය !

මේ සියල්ලෙන් අද අපිට පාඩම් තිබේ. කිතුණු ප්‍රජාව සාමාන්‍යයෙන් ලෞකිකත්වයෙන් හා සම්මුතියකට එළැඹීමෙන් (එනම් සත්‍යය වෙනුවට බහුතරය උදෙසා සම්ප්‍රදාය පිළිගැනීමෙන්) පිරී ඇත. දෙවියන් වහන්සේගේ වචනයේ සත්‍යථාව වෙනුවෙන් කිසිදු සම්මුතියක් නොමැතිව ස්ථාවරයක සිටින සුළු පිරිසක් දෙවියන් වහන්සේ විවිධ ස්ථානවලින් නැගිටුවන සේක. ඔබ හට ආත්ම විමසීමේ දීමනාව ඇත්නම් දෙවියන් වහන්සේ එම සුළු පිරිස සමඟ සිටින බව හදුනා ගත හැකි අතර ඔබ බහුතරයට විරුද්ධව ඔවුන් සමඟ නැඟී සිටිනු ඇත. ඔබ ඔවුන් සමඟ පොරොන්දු දේශයට ඇතුළුවේ.

දෙවියන් වහන්සේ කා සමඟ සිටින්නේද යන වග ඔබ හදුනා ගන්නේ කෙසේද? ඔහු ඇදහිල්ලේ භාෂාව කථා කරන්නේ ය. යෝෂුවා හා කාලෙබ් ඇදහිල්ලේ භාෂාව කථා කළෝය: “අපට ජය ගත හැක.” කෝපය, කාම තෘෂ්ණාව, ඊරිෂ්‍යාව, මැසිවිලි නැඟීම, යනාදි යෝධයෝ අපට ජය ගත හැක. අපිට සාතන් ජය ගත හැක. දෙවියන් වහන්සේ ඌව අපගේ පය යට පොඩි කරන සේක. දෙවියන් වහන්සේ තමා සමඟ සිටින මිනිසාගේ භාෂාව මෙයයි.