WFTW Body: 

වසර ගණනාවක් පුරා ඔබට සභාව තුළ ලැබී ඇති ආත්මික ආහාර ඔබ අගය කර ඇත්නම්, ඔබ ඔබේ සභාව ඉතා ඉහළින් අගය කරනු ඇත. එක් ආහාර වේලක් සඳහා ඔබට ආරාධනා කරන අයට ඔබ කෙතරම් ස්තූතිවන්ත වනවාදැයි සලකා බලන්න. සභාව තුළ දී වසරක් පාසා නිරන්තරයෙන් ඔබ ලැබුවාවූ ආත්මික ආහාර ගැන කොතරම් ස්තුති වන්ත විය යුතුද? නැතහොත් මෙම කාරණය වෙනත් ආකාරයකින් සලකා බලන්න. ඔබේ දරුවන් රැකබලා ගත්තාවූ, ඔවුන්ව අනතුරෙන් ආරක්‍ෂා කලාවූ, අසනීප වූ විට ඔවුන්ව රැකබලා ගත්තාවූ, ඔවුන් අධෛර්‍යමත් වූ විට ඔවුන්ව ධෛර්‍යමත් කලාවූ සහ ඔවුන් හොඳ ලකුණු ලබා ගන්නා පිණිස ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට උදව් කලාවූ අයෙක් සිටියේ යැයි සිතමු. මේ පුද්ගලයා මේ සියල්ල කළේ දිනක් හෝ දෙකක් පමණක් නොව වසර ගණනාවක්තිස්සේ යැයි සිතමු. ඔබ ඔහුට කෘතඥ නොවන්නේද? අවම වශයෙන් මෙයාකාරවත් ඔබ ඔබේ සභාව ගැන ස්තුතිවන්ත වෙනවාද? ඔබේ දරුවන්ව ආරක්‍ෂා කිරීම ගැන අවම වශයෙන් මෙයාකාරවත් ඔබ ඔබේ සභාවට ස්තුතිවන්ත වෙනවාද? බොහෝ ඇදහිලිවන්තයන් ආත්මිකව වර්ධනය නොවීමට එක් හේතුවක් නම් ඔවුන් සභාව තුළ ලැබී ඇති දේ ගැන ස්තුතිවන්ත නොවීමයි. සභාවෙන් වැටී ගොස් සිටින අය නම්, වසර ගණනාවක් තිස්සේ පල්ලියේ නිදහසේ ලැබී ඇති සියල්ල ගැන මුළුමණින්ම කෘතඥ නොවූ අයයි.

ලූක් 17: 15 හි ලාදුරු රෝගීන් දසදෙනෙකු සුව කරනු ලැබූ බව අපට කියවීමට තිබේ. නමුත් ඔවුන්ගෙන් එක් කෙනෙක් පමණක් ස්වාමීන් වහන්සේට ස්තුති කිරීමට හා දෙවියන් වහන්සේව ගෞරවයට පත්කිරීමට ආපසු පැමිණියේය. ඔවුන්ට අවශ්‍ය වූ විට ඔවුන් සියල්ලෝම හඬ ඔසවා දයාව ඉල්ලා සිටියෝය. නමුත් ඔවුන් සුව වූ පසු, නවදෙනෙකු තමන්ට ලැබුණු ප්‍රයෝජනය ගැන මුළුමණින්ම කෘතඥ නොවූහ. ස්තුති දීමේ හඬ එසෙව්වේ එක් අයෙකු පමණි. ස්වාමීන් වහන්සේට ස්තුති කිරීමට කිසි විටෙකත් කරදර නොවූ ඉශ්‍රායෙලයේ සුව වූ තවත් දහස් ගණනක් ද සිටින්නට ඇත. නමුත් මේ සමරිතානු මිනිසා ආපසු පැමිණ ස්වාමින් වහන්සේට ස්තුති කළේය. ඔහු ස්වාමින් වහන්සේට මේ වගේ දෙයක් පැවසුවා විය හැකිය, “ස්වාමීනි, අනාගතයේදී මගේ ජීවිතය මොනතරම් වෙනස් ජීවිතයක් වනු ඇත්ද, දැන් ඔබ මා ස්පර්ශ කර ඇත. මට නගරය ඇතුළට යන්න පුළුවන්. මට මගේ පවුල වෙත ආපසු යා හැකිය. ඔබ මගේ ජීවිතයට ප්‍රීතිය ගෙනාවා. මෙම ආශීර්වාද කිසිවක් සුළු කොට තැකීමට මට අවශ්‍ය නැත. "මම ඔබට සෑම අතින්ම ණයගැතියි. මගේ ජීවිතයට ඔබවහන්සේ දුන් සියලු ආශීර්වාදවලට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි". මේ මිනිසාගේ ස්තුතිවන්ත භාවය යේසුස් වහන්සේ අගය කළ සේක ඉන්පසු උන්වහන්සේ ඔහු හට ඊටත් වඩා යමක් දුන් සේක. ඔහුගේ ඇදහිල්ල තමා ගලවාගත් බව උන්වහන්සේ ඔහුට කීසේක. එම පවිත්‍රවූ ලාදුරු රෝගියාට ස්වාමින් වහන්සේගෙන් සුවවීමට වඩා වැඩි යමක් ලැබුණි. ඒ වන විටත් ඔහුට සුවය ලැබී තිබුණි. නමුත් ඔහු ඒ ගැන ස්තුති වන්ත වූ නිසා ඔහුට ගැලවීමද ලැබුණි. මට මේ සමරිතානුවරයා ස්වර්ගයේදී මුණගැසෙන බව, මට විශ්වාසයි. නමුත් එහි සිටිය අනෙක් නව දෙනාගෙන් කිසිවෙකු මට හමුවනු ඇත්දැයි, මට විශ්වාස නැත. ස්වාමීන් වහන්සේට ස්තුති කිරීමට ඔබ නැවත පැමිණෙන විට අනෙක් අයට ලැබෙන දෙයට වඩා වැඩි යමක් ඔබට ලැබේ.

ස්වාමීන් වහන්සේ මේ පොළොවෙහි උන්වහන්සේගේ ශරීරය වන උන්වහන්සේගේ සභාව මධ්‍යයේ සිටින සේක. ස්වාමින් වහන්සේගේ ශරීරය අගය කිරීමෙන් අපි දැන් අපගේ කෘතඥභාවය ස්වාමීන් වහන්සේට පෙන්වමු. ඔබ සභාවේ වටිනාකම තේරුම් නොගෙන එය අගය නොකරන්නේ නම්, පාඩු විඳින්නේ ඔබම මිස සභාව නොවේ. සභාව අගය කළ සහ සභාවෙන් ලැබුණු දෙයට ස්තූතිවන්ත වූ අයට දෙවියන් වහන්සේ බොහෝ සෙයින් ආශීර්වාද කර ඇත.

යේසුස් වහන්සේ තම ගෝලයන්ගේ පක්‍ෂපාතිත්වය ඉතා ඉහළින් අගය කළ සේක. වරක් උන් වහන්සේ සිය ගෝලයන්ට පැවසුවේ, ඔවුන් සියල්ලෝම උන් වහන්සේ අත්හැර යන්නට ගියත්, උන් වහන්සේ තනි නොවන බවයි, මන්ද උන් වහන්සේගේ පියාණන් වහන්සේ උන් වහන්සේ සමඟ සිටින බැවිනි ( යොහන් 16: 32). උන්වහන්සේට එම ගෝලයන් අවශ්‍ය නොවීය. නමුත් උන්වහන්සේ ලූක් 22: 28 හි ඔවුන්ට පැවසුවේ ඔවුන් තමා ළඟ සිටීම ගැන ඔවුන්ට ස්තුතිවන්ත වන බවයි. උන්වහන්සේ මහිමයේ ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටීමට කිසිවෙකු අවශ්‍ය නොවීය. නමුත් උන්වහන්සේට ඔවුන්ගේ සහයෝගය අවශ්‍ය නොවූවත්, ඔවුන්ගේ පක්‍ෂපාතිත්වය උන්වහන්සේ අගය කළ සේක. උන්වහන්සේ ඔවුන්ට මෙසේ කී සේක: එය හරියට “ඔබ මේ පැරණි යුදෙව් ක්‍රමයෙන් පිටතට පැමිණ මිදි වත්‍කරන පැරණි හම් භාජනය අත්හැර දමා ඇත. මනාලියගේ ආත්මය සහ වෛෂ්‍යාවගේ ආත්මය අතර වෙනස ඔබලා දැක ඇති අතර, ඔබලා පිටතට පැමිණ මා වෙනුවෙන් කුමන මිලයන් හෝ ගෙවීමට කැමැත්තෙන් මාගේ පැත්තෙන් සිටියෝය”.

අප උන් වහන්සේගේ පැත්තෙ සිටගත් බවත් උන් වහන්සේ ගැන ලැජ්ජා නොවූ බවත්, උන් වහන්සේ අපව තැබූ සභාවට අප ආදරය කළ බවත්, ඒ උදෙසා අපවම ලබා දුන් බවත්, අප අනෙක් බොහෝ අය මෙන් සභාව විවේචනය නොකළ බවත්, ස්වාමීන් වහන්සේට අවසාන දවසේදී අපහට පැවසීමට හැකි වේ යැයි මම බලාපොරොත්තු වෙමි. සහෝදරවරුනි, සහෝදරියනි සභාව තුළ අපටත් අපේ දරුවන්ටත් ඇති ඉමහත් ආරක්‍ෂාව අගය කරමු. හදිසි අනතුරු, අන්තරායන් සහ පාපවලින් සභාව ඔබව කොතරම් දුරට ආරක්‍ෂා කර ඇත්දැයි තරුණ ඔබට වැටහෙන්නේ නැත. සභාවේ ඇති දැඩි ප්‍රමිතීන්, ඔබ මුලාවී ලෝකයට ගොස් ඔබවම විනාශ කර ගැනීමෙන් ආරක්‍ෂා කළේ කෙසේදැයි ඔබ තේරුම් ගන්නේ, ඔබ ස්වාමින් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටින විට පමණි. මීට වසර ගණනාවකට පෙර සභාවේ දී ඔබ අසා ඇති දෙයක් බොහෝ කලකට පසු ඔබව අනතුරෙන් ආරක්‍ෂා කළේ කෙසේදැයි එම දවසේදී ඔබට පෙනෙනු ඇත. සභාවේ දී ඇසූ දේ නිසා ඔබේ දරුවන් කොපමණ අනතුරු වලින් බේරී ආරක්‍ෂා වී ඇත්ද යන්නද ස්වාමීන් වහන්සේ ඔබට ඒ දවසේදී පෙන්වනු ඇත. එහෙත්, මේ හා තවත් බොහෝ ආශීර්වාද තිබියදීත්, අප සියල්ලන්ම සභාව අගය කොට ඇත්තේ කෙතරම් අල්ප වශයෙන්ද?

ඔබ අන් අයට ආශීර්වාදයක් වන තැනට ඉදිරියට යාමට ඔබට අවශ්‍යද? එසේනම් පළමුවෙන්ම, ස්වාමීන් වහන්සේ ඔබ උදෙසා කළ දේ ගැනත් උන්වහන්සේ ඔබට දී ඇති සභාව ගැනත් උන්වහන්සේටත් ස්තුති කිරීමට ඉගෙන ගන්න. සභාව ගැන එතරම් තැකීමක් නොමැතිව ඉන්න එපා. අපගෙන් බොහෝ දෙනෙක් තම දෙමාපියන් මියගියාට පසුව දෙමව්පියන්ගේ සැබෑ වටිනාකම වටහා ගත් දරුවන් හා සමානය. ප්‍රමාද වීමට පෙර සභාව තුළ එකිනෙකාට ස්තුතිවන්ත වීමට දැන් ස්වාමින් වහන්සේ අපට උගන්වනු ලබාවා.