WFTW Body: 

සභාව යනු ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන අතර සෑම සතියකම ඇදහිලිවන්තයින් එකට එකතුවන්නාවූ රැස්වීමක්ම නොවේ. අප ගොඩනගන්නේ එම ශරීරය මිස හුදු "ආගමික ක්‍රිස්තියානි කණ්ඩායමක්" නොවන බවට අප සහතික කරගත යුතුයි. ඕනෑම මනුශ්‍යයෙකුට ආගමික කණ්ඩායමක් සංවිධානය කළ හැක. කෙසේ වෙතත් ක්‍රිස්තු ශරීරය ගොඩනැගීම පිණිස දෙවියන්වහන්සේගෙන් අනුග්‍රහයත් ආලේපයත් අවශ්‍යවේ - එබැවින් මේ සඳහා දිනපතා අපවම ප්‍රතික්‍ෂේප කිරීම අපට අවශ්‍යය වන අතර, දිනපතා අප කැමැත්තට මැරී ශුද්ධාත්මයෙන් පිරී සිටීය යුතුය.

පරණ ගිවිසුම යටතේ ඊශ්‍රායෙල්වරු සමූහයක් මිස ශරීරයක් නොවුණි. බොහෝ විශාල සභාවන්ද අද දවසේ සමූහයන් මිස ශරීරයක් නොවන්නේය. සමහර කුඩා ගෘහ සභාවන් මඳක් හොඳය - ඒත් ඒවා විවිධ සමාජයන් මිස ශරීරයක් නොවේ. නමුත් යේසුස්වහන්සේ උන්වහන්සේගේ සභාව ගොඩනගනසේක.

ක්‍රිස්තුස්වහන්සේගේ පළමු ශරීරය මිනිසා දුටුවේ ගව ඔරුවක වැතිර සිටියදීය(ගවයින්ට කෑම දීමට භාවිතා කරන්නක්). එම නින්දිත උපතේ අවමානය, එඬේරුන් විසින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හඳුනාගත් ලකුණ විය. එය නැවතත් අවසානයේ අවමානයක් ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය කල්වාරියේදී අපරාධකරුවන්ගේ කුරුසියක එල්ලා තිබිණි. උපතේ සිට මරණය දක්වා ක්‍රිස්තුස් වහන්සේගේ පළමු ශරීරය ලෞකික ලෝකයෙන් මෙන්ම ආගමික ලෝකයෙන් ද නින්දා කිරීම මගින් විදහා දැක්විය.

අද දින ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ ඕනෑම සැබෑ ප්‍රකාශවීමක් ලෝකයෙන් සහ බබිලෝනීය ක්‍රිස්තියානි ප්‍රජාවගෙන් එම අවමානයම විඳිනු ඇත. අපේ ප්‍රාදේශීය සභාව මත 'ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව දරාගැනීමේ' එවැනි අවමානයේ ආවරණයක් නොමැති නම්, අපි සම්මුතිවාදීන් (සමාදානය උදෙසා සම්පූර්ණ සත‍්‍යය වෙනුවට සම්ප්‍රදායෙන් කොටසක්ද පිළිගැනීම) බවට පත්විය හැකි අතර , "බබිලෝනියේ කඳවුරෙන් පිටතට" නොගිය අය වෙමු (හෙබ්‍රෙ. 13: 13). කෙසේ වෙතත්, ක්‍රිස්තුස් වහන්සේගේ අවමානය සහ අපගේම පාපයේ හෝ අණුවනකමේ හෝ ඇල්මැරුණුකමේ ප්‍රතිඵලයක් නිසා ඇතිවන ඕනෑම අවමානයක් අතර විශාල වෙනසක් ඇත. අපි ඒ එකිනෙක වරදවා වටහා නොගත යුතුය.

ක්‍රිස්තුස් වහන්සේ ගැන මෙසේ ලියවී තිබුණි " උන්වහන්සේට රුවවත් ශෝභනකමවත් නැත...උන්වහන්සේ අවමන් ලද අතර වැදගත් කොට නොසැලකුනි"(යෙසායා 53:2,3). උන්වහන්සේගේ මහිමය බොහෝ මනුශ්‍යයන්ගන් සැඟවී උන්වහන්සේගේ අභ්‍යන්තර ජීවිතය තුල - අනුග්‍රහයෙන් සහ සත්‍යයෙන් පූර්ණව තිබුණි (ශු:යොහාන් 1:14). අපගේ සභාවන් වුවද ලෝකයට හා බබිලෝනීය ක්‍රිස්තියානි ප්‍රජාවට සිත් ඇදගන්නා සුළු නොවිය යුතුය. සභාව, එය තුළට දේවභක්තික දිවියක් බලාපොරොත්තුවෙන් එන අයට පමණක් සිත් ඇදගන්නා සුළු වියයුතුය. මණ්ඩප කූඩාරම ඇතුලතින් අලංකාර තිරරෙදි වලින් යුක්තවිය. නමුත් පිටත ආවරණය දූවිලි සහ කුණු වලින් වැසුනු තද දුඹුරු පැහැති බැටළු සමෙන් යුක්ත විය. සියලු අලංකාරය කූඩාරමේ ඇතුලත අභ්‍යන්තර තිරවල විය. ක්‍රිස්තුස්වහන්සේගේ මණාලිය ද "ඇගේ අභ්‍යන්තර දිවිය මහිමාන්විතය"(ගීතා: 45:13). එබැවින් "ඇගේ අභ්‍යන්තර මහිමය මත අවමානයේ ආවරණයක් වන්නේය"(යෙසායා 4:5).

සභා නායකයින්ට විශාල වගකීමක් තිබෙන්නේ මෙතැන දීය. ඔවුන් සභාව ඉදිරියට ගෙන යන ආකාරය තීරණය කරනු ඇත්තේ, සභාව, මිනිසුන් විසින් ගෞරවයට පාත්‍ර නොවූ යේසුස් වහන්සේට සමාන වේද යන්න මත හෝ එය, ලෝකයෙන් ප්‍රශංසාවට හා ගෞරවයට පාත්‍ර වනු ඇත්ද යන්න මතයි. අප ලෝකයෙන් හෝ අනෙක් ලෞකික හෝ මාංසික ක්‍රිස්තියානි අයගෙන් හෝ ප්‍රශංසාව සොයන්නේ නම් අප නිසැකවම බබිලෝනිය ගොඩනැඟීමෙන් අවසන් කරන්නෙමු. අප පොදු කිතුනු ප්‍රජාව තුල ප්‍රසිද්ධියටත් පිළිගැණීමටත් පත්ව ඇත්නම් අපට ක්‍රිස්තුස්වහන්සේගේ අඩිපාර සම්පූර්‍ණෙයන්ම මග හැරී ඇති බව සහතිකය.

"මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩා කොට නුඹලාට විරුද්ධව සියළු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා *ආශිර්වාද ලද්දෝය. ප්‍රීතිවෙයල්ලා ඉතා සන්තෝෂ වෙයල්ලා ; මක්නිසාද ස්වර්ගයේ නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගත වකතෘවරුන්ටත් ඔවුන් එළෙසම පීඩා කළෝය"යි යේසුස්වහන්සේ පැවසූ සේක(ශු:මතෙව් 5:11,12). ශතවර්ෂ 20 ට පෙර හෙරෝද් සහ ඔහුගේ සෙබළුන් යේසුස්වහන්සේගේ පළමු ශරීරය, ළදරු යේසුස්ව නැසීමට, මහත් උනන්දුවකින් සිටියෝය. එසේම බොහෝ ස්ථානවල ක්‍රිස්තු ශරීරය ආරම්භ වීම විනාශ කිරීමට අද දවසේ බොහෝ දෙනා උනන්දුවෙන් සිටී. දෙවියන්වහන්සේගේ හඬට සංවේදී වීමෙන් හා දෙවියන්වහන්සේ තමන්ට පැවසූදේට ඉක්මණින් කීකරු වීමෙන් යෝසෙප් එම ළදරුවා ආරක්‍ෂා කළේය(ශු:මතෙව් 2:13,15). ක්‍රිස්තුස්වහන්සේගේ සභාවේ වගකීම් ඇති අපටද යෝසෙප් මෙන් විය යුතුය. අප "ඇහුම්කන් දෙන්නන්" විය යුතුය - ශුද්ධාත්මයාණන් පවසන දේට ඇහුම්කන් දෙන්නන්, සහ ඉක්මණින් අපට පැවසූ දේට කීකරු වෙන්නන් විය යුතුය. අප ඇහුම්කන් නොදී කීකරු නොවුනහොත් අප ප්‍රදේශයේ ක්‍රිස්තුස්වහන්සේගේ සභාව යම් ආකාර වලින් අලාභයට පත්වනු ඇත - එවිට අවසන් දවසේදී ඒ ගැන අප වගකිව යුත්තන් වනු ඇත. මෙම කාරණයේදී අපට අපගේ වගකීම් බැරෑරුම් ලෙස ගත යුතුවේ, මන්ද අපගේ භාරයට පත්කෙරුනු සෑම ආත්මයක් සඳහාම අප දෙවියන්වහන්සේට ගණන් දියයුතුව ඇත (හෙබ්‍රෙව් 13:17).