WFTW Body: 

1. අපව ධර්මිෂ්ඨ කරන පිණිස යේසුස් වහන්සේ පාපය වූ සේක :
“අප ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තා වූ ක්‍රිස්තුස් වහන්සේ ව පාපය වෙන්ට (එනම්, පාපය තමන් පිටට ගන්ට) දෙවියන් වහන්සේ සැළැස්වූ සේක” (2 කොරින්ති 5: 21). ක්‍රිස්තුස් වහන්සේ තුළ අප දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බවට පත්වන පිණිස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා පාපය බවට පත්විය. මෙය යුක්ති සහගත කිරීමක් (මෙතෙක් කිසිදු පාපයක් නොකෙරුවා මෙන්) වන අතර, දෙවියන් වහන්සේගේ ශුද්ධ ප්‍රමිතීන් සපුරාලීමට තරම් ධර්මිෂ්ඨයන් බවට පත්විය නොහැකි බව තේරුම් ගැනීමට තරම් නිහතමානි (යටහත්) අයට එය දෙවියන් වහන්සේ නොමිළේ දෙන ත්‍යාගයකි. අනුග්‍රහයෙන් පමණක් අප ධර්මිෂ්ඨයන් කරණු ලබන අතර, බයිබලය පවසන පරිදි “එය අනුග්‍රහයෙන් නම්, එය තවදුරටත් ක්‍රියාවන්ගේ පදනම මත නොවේ. එසේ නොවුවහොත් අනුග්‍රහය තව දුරටත් අනුග්‍රහය නොවේ (රෝම 11: 6). යේසුස් වහන්සේ අපගේ පාපවලට ද ඬුවම දැරුවා පමණක් නොව, උන්වහන්සේ ඇත්ත වශයෙන් ම පාපය වූසේක. අහස පොළොවට ඉහළින් තිබෙන්නාක් මෙන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම පොළොවෙහි සිටින ශුද්ධ ම මිනිසාගේ ධර්මිෂ්ඨකමට වඩා උසස් ය (යෙසායා 55: 8,9). පාපයක් නොමැති දේවදූතයන් ට පවා දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලිය නොහැක, නමුත් උන්වහන්සේ ඉදිරියෙහි ඔවුන්ගේ මුහුණු ආවරණය කළ යුතු ය (යෙසායා 6: 2,3). පියාණන්ගේ මුහුණ දෙස සෘජුව බැලිය හැක්කේ ක්‍රිස්තුස් වහන්සේට පමණි. එම නිසා දෙවියන් වහන්සේ අපව ක්‍රිස්තුස් වහන්සේ තුළ තබ යි. එවිට අපට කිසිම බියකින් තොරව උන්වහන්සේ ඉදිරියට පැමිණිය හැකිය - මන්දයත් අප ක්‍රිස්තුස් වහන්සේ තුළ පවතින බැවිණි. දෙවියන් වහන්සේ අපව යුක්ති සහගත කරන්නේ (මෙතෙක් කිසිදු පාපයක් නොකෙරුවා මෙන්) අපව ක්‍රිස්තුස් වහන්සේ තුළ තැබීමෙන් හා ක්‍රිස්තුස් වහන්සේ ම මෙන් ධර්මිෂ්ඨ යැයි පිළිගැනීමෙනි. දෙවියන් වහන්සේ ඉදිරියේ අපව පරිපූර්ණ ලෙස පිළිගැනීම ගැන අපට දැන් ප්‍රීති විය හැක, මන්ද අප ක්‍රිස්තුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම බවට පත්ව ඇත.

2. අපව ධනවත් කරන පිණිස යේසුස් වහන්සේ දුප්පත් වූ සේක :
ස්වාමින් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ සැම ධනවන්ත වන පිණිස, ඔබ සැම උදෙසා දිළිඳුවූ සේක” (2 කොරින්ති 8: 9). යේසුස් වහන්සේ කුරුසියේ දුප්පත් වූවේ, අප පොහොසත් වන පිණිසය - හෝ වෙනත් වචනයකින් කිවහොත්, අපගේ ජීවිතවල “කිසි හිඟයක් නොමැති වන” පිණිසය. දෙවියන් වහන්සේ පොරොන්දු වී ඇත්තේ අපට උවමනා සියළු දේ දෙන්නට නොව, නමුත් අපට අත්‍යවශ්‍ය සියළු දේ දෙන්නටය (පිලිප්පි 4: 19). තම දරුවන්ට අවශ්‍ය හෝ ඉල්ලන සියල්ල නැණවත් දෙමව්පියන් නොදෙන නමුත් ඔවුන්ට දෙන්නේ අත්‍යවශ්‍ය සියළු දේ පමණි. දෙවියන් වහන්සේ සමඟ ද එය එසේය. පැරණි ගිවිසුමෙහි ව්‍යාවස්ථාවට කීකරුවූවන්ට භූමික සම්පත් පොරොන්දු විය. නමුත් නව ගිවිසුම යටතේ, දෙවියන් වහන්සේ පොරොන්දු වන්නේ අප මුලින් ම උන්වහන්සේගේ රාජ්‍යයත් ධර්මිෂ්ඨකමත් සොයන්නේ නම්, උන්වහන්සේ ඊටත් වඩා හොඳ දෙයක් අපට ලබා දෙන බව ය: මේ පොළොවේ අපට ජීවත්වීමට අත්‍යවශ්‍ය සියල්ල (මතෙව් 6: 33, සහ 2 පේත‍්‍රැස් 1: 4). අප ධනවත් වන පිණිස - යේසුස් වහන්සේ දුප්පත් වූ සේක. එම නිසා අපගේ ජීවිතයේ කිසිම හිඟයක් ඇතුව අප කිසිසේත් ජීවත් විය යුතු නැත. අප උදෙසා ද අපගේ දරුවන් උදෙසා ද - අප කිසි විට අනාගතය ගැන බිය විය යුතු නැත. යේසුස් වහන්සේ අපට සහ අපගේ පවුලේ සාමාජිකයින්ට අත්‍යවශ්‍ය සෑම භෞතික අත්‍යවශ්‍යථාවයක් ම කුරුසියේ මිළදී ගෙන ඇති බැවින්, ප්‍රේමනීය සහෝදර සහෝදරිය ඔබගේ සියළු බියවලින් නිදහස් වන්න. යේසුස් වහන්සේ දැනටමත් කුරුසියේ ඔබ වෙනුවෙන් දුප්පත් වී ඇත. ඔබේ ජීවිතයේ නිරන්තර මූල්‍ය හිඟයකින් තව දුරටත් ඔබට ජීවත්වන්නට අවශ්‍ය නොවේ. ඔබට අත්‍යවශ්‍ය සියල්ලම සෑමවිටම ලබා ගත හැක. ශුභාරංචියේ ඔබගේ ජන්ම උරුමය අත්පත් කරගන්න.

3. අපව ආශිර්වාදයක් කරන පිණිස යේසුස් වහන්සේ ශාපයක් වූ සේක :
ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක. මෙසේ කළේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ආබ්‍රහම්ගේ ආශීර්වාදය අන්‍යජාතීන් වන අප කෙරෙහි පැමිණෙන පිණිසත්, ඇදහිල්ල කරණකොටගෙන අප විසින් ආත්මයාණන්වහන්සේ නමැති පොරොන්දුව ලබාගන්නා පිණිසත්‍ ය. (ගලාති 3: 13,14). ශුභාරංචියේ සුභ-ආරංචිය නම්, යේසුස් වහන්සේ මේ වන විටත් අප උදෙසා ශාපයක් වී ඇති හෙයින්, ව්‍යවස්ථාවේ ශාපයන්ගෙන් කිසිවක් තව දුරටත් අපව ස්පර්ශ කළ යුතුවන්නේ නැත. එය පමණක් ම සුභ-ආරංචියක් වනු ඇතත්, එහි තව බොහෝ දේ ඇත. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කළ ආශිර්වාදය අපට ඒ (ශාපය) වෙනුවට තිබිය හැකිය. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ආශිර්වාද කළ ආකාරය මෙසේ උත්පත්ති 12 : 2,3 හි විස්තර කර ඇත : “මම ඔබට ආශිර්වාද කරමි...... එලෙස ඔබ ආශිර්වාදයක් වී. ..... ඔබ තුළ පොළොවේ සියලු පවුල් ආශිර්වාද ලබණු ඇත”. ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙහි අප උදෙසා ශාපයක් වීම තුළින් අප වෙනුවෙන් මිළදී ගත් ආශිර්වාදය මෙයයි. උන්වහන්සේට අවශ්‍ය වන්නේ අපට ආශිර්වාද කර අපගේ මුළු ජීවිත කාලය පුරාම මිහිපිට අපට මුණගැසෙන සෑම පුද්ගලයෙකුටම ආශිර්වාදයක් වීමටය. මෙම ආශිර්වාදය (පදය පවසන ලෙස) ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබීම තුළින් අපට පැමිණේ. යේසුස් වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේ විස්තර කළේ අප ඇතුළාන්තයෙන් ජනිත වන දිය උල්පතක් සහිත ළිදක් මෙන් අපව ආශිර්වාද කර (යොහාන් 4: 14), පසුව අප තුළින් පිටතට ජල ගංගාවන් මෙන් ගළායෑමෙන් අන් අයට ආශිර්වාදයක් වන ලෙසටය. (යොහාන් 7: 37-39). අද දින පාපයේ හා අසාර්ථකත්වයේ ජීවත්වන නරකම පව්කාරයාට පවා ස්වාමින් වහන්සේගේ පොරොන්දුව නම් : “අතීතයේ ඔබ ශාපයක් ව සිටියත්, ඉදිරි කාලවලදී ඔබට අන් අයට ආශිර්වාදයක් වන්නට පුළුවන” (සෙකරියා 8: 13). දෙවියන් වහන්සේගේ කැමැත්ත වන්නේ “පොළොව මත හමු වන සෑම පවුලකට ම අපි ආශිර්වාද‍යක් විය යුතුය යන්න ය.”