WFTW Body: 

දෙවියන්වහන්සේ සමග ගමන් කළාවූ මනුශ්‍යයන් දෙදෙනෙක් ගැන අප සලකා බලමු - ඒනොක් සහ නෝවා.

උත්පත්ති 5 දී, "ඔහු නැසුනේය" යන ප්‍රකාශය අට වතාවක් අපට කියවීමට ලැබේ. නමුත් එම පරිච්ජේදයේ හරියටම මැදදීම, කිසිසේත් මිය නොගිය කෙනෙකු ගැන අපට කියවීමට ලැබේ!! ඒ ඒනොක්ය. ඔහු දෙවියන්වහන්සේ සමඟ ගමන් කළ අතර දෙවියන්වහන්සේ ඔහුව පන පිටින් ස්වර්ගයට ගෙන ගිය සේක. එය මරණය මධ්‍යයේ නැවත නැඟිටීමේ ජීවිතය පිළිබඳ රූපාදර්ශයකි. ඒනොක් යනු නැවත නැඟිටීමේ බලයෙන් ජීවත් වූ, මරණය ජයගෙන ස්වර්ගයට ගෙන යනු ලැබූ මිනිසෙකි - ආත්මික මරණය මධ්‍යයේ ජීවත්වෙන දේවභක්තික සභාවේ රූපාදර්ශයකි, නැවත නැඟිටීමේ බලයෙන් ජයගෙන අවසානයේදී ඔසවා ගනු ලැබේ.

ඒනොක් ඔහුගේ දිවියේ පළමු අවුරුදු 65 ක කාලය තුළ අභක්තික මනුශ්‍යයෙකු වන්නට ඇත. නමුත් 65 දී ඔහු පුත්‍රයෙකු ලැබීය. දිව්‍යමය හෙළිදරව් කිරීමකින් ඔහු පිරිමි දරුවාට "මෙතුසෙලා" යයි නම් තැබුවේය. "මෙතුසෙලා" හි අර්ථය " ඔහුගේ මරණයේදී ජලය පිටතට පැමිණෙනු ඇත" යන්නය. එයින් පෙන්වන්නේ ඔහුගේ පුත්‍රයාගේ උපතේදී දෙවියන්වහන්සේ ඒනොක්ට එළිදරව්වක් දුන් බවයි. දෙවියන්වහන්සේ ඔහුට පැවසුවේ එම පුත්‍රයා මැරෙනවිට ලෝකය ජලගැල්මකින් විනිශ්‍චයට පත්වන බවයි. එම විනිශ්චයේ හෙළිදරව්ව මුලින්ම ලැබුනේ ඒනොක්ට මිස නෝවාට නොවේ. එබැවින් ඔහු තම පුත්‍රයා මෙතුසෙලා ලෙස නම් කළේය.

දැන් ඔබ දරුවෙකු ලබන විට, ඔහු කොපමණ කාලයක් ජීවත්වේදැයි ඔබ නොදනී. එබැවින් මෙතුසෙලා ලෙඩ වෙන හැම වාරයකදීම විනිශ්චය ලඟ දැයි ඒනොක් සිතන්නට ඇති. "ඔහුගේ මරණයේදී ජලගැල්මක් එයි" යන අර්ථය ඇති නමක් තිබෙන ළදරුවෙකු ගැන ඔබට සිතන්නට පුළුවන්ද? ඔහුව අමතන හැම වාරයකදීම ඔබට විනිශ්චය ගැන මතක් කර දීමක් සිදුවනු ඇත. එබැවින් දෙවියන්වහන්සේගේ මරණය ගැන ඇති බය ඒනොක්ව දෙවියන්වහන්සේ සමග ගමන් කරවීම සිදු කල අතර සදාකාලයේ දේවල් කාලයේ දේවලට වඩා වැදගත් බව වටහා ගත්තේය. සෑම දිනක් බැගින් මීලඟ අවුරුදු 300 පුරාවට ඒනොක්ව දෙවියන්වහන්සේ සමඟ ගමන් කිරීමට සැලැස්වූ සන්ධිස්ථානය එයයි.

බයිබලය පවසනුයේ "ලෝකය පහව යනු ඇත" (1 යොහාන් 2:17 ). අප එය විශ්වාස කරනවා නම් ඒනොක් කලාක් මෙන් අපද සදාකාලයේ දේවල් කාලයේ දේවලට වඩා වැඩියෙන් වැදගත් බව වටහා ගනු ඇත.

දෙවියන් වහන්සේ මිනිසා සමඟ ඇති දැඩි ඉවසීම, මෙතුසෙලාට වෙනත් ඕනෑම මිනිසෙකුට වඩා වැඩි කාලයක් ජීවත් වීමට ඉඩ දී තිබීම තුළින් පෙනේ - අවුරුදු 969. අවුරුදු 969 ක කාලය තුළ මිනිසුන් මෙතුසෙලාගේ නම ඇසෙන හැමවිටම පැමිණෙන්නට තිබෙන විනිශ්චය ගැන ඔවුන් ඇසුවෝය. නමුත් මිනිසුන් පණිවිඩය ප්‍රතික්‍ෂේප කළෝය. මෙම විනිශ්චය ගැනවූ පණිවිඩය දේශනා කළේ නෝවා පමණක් නොවේ. ඒනොක්ද අවුරුදු 300 ක් එය දේශනා කල අතර මෙතුසෙලා ඔහුගේ නම තුළින් තවත් අවුරුදු 669 ක් එය දේශනා කළේය.

මෙතුසෙලාගේ ජීවිතයේ අවසාන අවුරුදු 120 දී නෝවාද දෙවියන්වහන්සේ සමඟ ගමන් කළ අතර විනිශ්චය ගැන දේශනා කලේය. ගංවතුර පිළිබඳ තොරතුරු දෙවියන් වහන්සේ පසුව නෝවාට පැහැදිලි ලෙස හෙළි කළ පරිදි ඒනොක් සහ මෙතුසෙලා දැන සිටියේ නැත. නමුත් ජලගැල්මක් සමඟ සම්බන්‍ධවූ යම් ආකාරයක විනිශ්චයක් මෙතුසෙලා මියයන විට එන්නට යන බව ඔවුන් දැන සිටියෝය.

යූද් අපට පවසන්නේ ඒනොක් විනිශ්චය ගැන තම කාළයේ සිටි සියළුම අභක්තික මිනිසුන්ට විරුද්ධව දේශනා කළ වගයි (යූද් 14,15 ). ඒනොක් අනාගත වක්තෘවරයෙකුවූ අතර දෙවියන්වහන්සේ සමඟ ගමන් කළේය. ඒනොක් ඉපදෙන විට, ආදම් අවුරුදු 622 ක් වයස් ගතව සිටි අතර වයස 930 දී මිය ගියේය (උත්පත්ති 5:5 – 23). එම නිසා ඒනොක් අවුරුදු 308 ක් තිස්සේ ආදම්ව දැන සිටිය යුතුයි. ඒනොක් නිතරම ආදම්ගෙන් ඔහු ඒදන් උයනේදී දෙවියන්වහන්සේ සමඟ ගමන් කරමින් සිටි කාලයේ විස්තර ඇසූ සැටි මට සිතාගත හැකියි. එසේම දෙවියන්වහන්සේ සමඟ තමන්ම ගමන් කිරීම ගැන මහත්වූ ආශාවක් ඒනොක්ට තිබෙන්නට ඇති. යමෙකුට ඒදන් උයනෙන් පිටතදීද දෙවියන්වහන්සේ සමඟ ගමන් කළ හැකි බව ඔප්පු කරන පළවෙනියා බවට ඒනොක් පත්විය. පාපය ලෝකයට පැමිණීමෙන් පසුව පවා මිනිසාට දෙවියන් වහන්සේ සමඟ ගමන් කළ හැකිය.

මාගේ ජීවිතයේදී මට බොහෝ දේශකයින් හමුවී තිබේ නමුත් දෙවියන්වහන්සේ සමග ගමන් කරන අය හමුවූවේ ඉතා ස්වල්පයකි. නමුත් මගේ කුඩා කාලයේ සිටම දෙවියන් වහන්සේ සමඟ මම ම ගමන් කිරීමේ ආශාව මගේ හදවතේ ඇති කළේ ඒ ස්වල්ප දෙනාය.

මෙතුසෙලාගේ මුණුබුරා වූවේ නෝවාය. එසේම නෝවා මෙතුසෙලා සමඟ අවුරුදු 600 ක් ජීවත් විය. ඒනොක් දෙවියන්වහන්සේ සමඟ ගමන් කළ ආකාරය ගැන ඔහු මෙතුසෙලා ගෙන් බොහෝ වාරයක් අසන්නට ඇති. නෝවාගේ හදවත තුලට ඔහු විසින්ම දෙවියන්වහන්සේ සමග ගමන් කිරීමේ ආශාවක් පැමිණියේය. නෝවාද දෙවියන්වහන්සේ සමඟ ගමන් කළ බව උත්පත්ති 6:9 අප කියවන්නෙමු. නෝවා දෙවියන්වහන්සේ සමඟ ගමන් කරනවිට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ විනිශ්චය කිරීමේ අරමුණ ඔහුට හෙළිදරව් කළසේක.

දෙවියන් වහන්සේ සමඟ ගමන් කළ පළමු පුද්ගලයන් දෙදෙනාට (ශුද්ධ ලියවිල්ලෙහි) දෙවියන් වහන්සේ හෙළිදරව් කළේ පාපයට එරෙහි විනිශ්චයේ සත්‍යතාවයයි. එබැවින් ඒනොක් සහ නෝවා තමන්ව කිසි කෙනෙක් විශ්වාස නොකළත් විශ්වාසවන්තව එම පණිවිඩය දේශනා කළෝය. එතැන්සිට දෙවියන්වහන්සේගේ සෑම සැබෑ ප්‍රොපේතවරයෙකුම එම පණිවිඩයම දේශනා කර ඇත: දෙවියන්වහන්සේ ඇදහිලිවන්තයන් සහ නොඇදහිළිවන්තයන් තම පාප ගැන විනිශ්චය කරනු ඇත.

බයිබලයේ සඳහන්වන පළමු දේශකයින් දෙදෙනා ඒනොක් සහ නෝවාය එසේම ඒ දෙදෙනාම දෙවියන්වහන්සේ සමඟ ගමන් කළෝය. එතැන් සිට සෑම දේශකයෙකුම දෙවියන්වහන්සේ උදෙසා එලෙසම කරත්වා.