10 - දෙවියන් වහන්සේගේ වචනය අපගේ ආහාරය වේ


Transcript of God's Word Is Our Food

සාතන්ට එරෙහි අපගේ සටනේදී ජයග්‍රාහකයින් වීමට අපට බලය ලබා දෙන සහ අනාගතයේ සෑම අවස්ථාවකටම මුහුණ දීමට අපට ශක්තිය ලබා දෙන දේව වචනය ගැන සිතීමට අපට අවශ්‍යය.

බයිබලය දෙවියන් වහන්සේගේ වචනයයි . එය ශුද්ධාත්මයාණන්ගේ ආනුභාවයෙන් මිනිසුන් විසින් ලියන ලද්දකි. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට පැමිණ නැවත ඉපදුණු කිතුනුවකුට එය ආත්මයට ආහාර වේ. ළදරුවෙකු ඉපදුණු විගසම කිරි ඉල්ලා කෑගසන්නාක් මෙන්, සැබෑ කිතුනුවකුට, ඔහු අධ්‍යාත්මිකව වැඩීමට නම්, ඔහුට මෙම දේව වචනයේ ආහාරය අවශ්‍ය වේ. දේවවචනය මුලින්ම කරන්නාවූ දේ ගැන කථා කරන පදයක් ඔබට පෙන්වීමට මට අවශ්‍යය. අපි 1 පේතෘස් 1:23 කියවන්නෙමු, "ඔබ නැවත ඉපදී ඇත්තේ දිරාපත් වන බීජයෙන් නොව, නොනැසී පවතින, එනම් දෙවියන් වහන්සේගේ ජීවමාන සහ කල්පවත්නා වචනය කරණකොටගෙනය." බොහෝ මිනිසුන්ට හැඟෙන්නේ, ඔවුන් තම ජීවිතය අවුල් කර ගත් විට, ඔවුන්ට නැවත වරක් මුල සිට තම ජීවිතය ගත කල හැකිනම් කියාය. ‘ඔබට නැවත ඉපදිය හැකියි’ කියා දෙවියන් වහන්සේ පවසන විට ඒ උන්වහන්සේ ඔබට ලබා දෙන නියමම අවස්ථාව වේ.

ඔබේ අතීත අසාර්ථකත්වයන් පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැතිව කුඩා ළදරුවෙකු ලෙස ඔබේ ජීවිතය නැවත ආරම්භ කළ හැකි වන්නේ යැයි සිතන්න. එය සියල්ල අතුගා දමනු ලැබේ. “නැවත ඉපදීම”(“born again”) යනු එයයි. ඔබේ අතීතය මැකී ගොස් ඔබ දෙවෙනි වරට උපදිනවා. ඔබට තිබූ ඒ ප්‍රාර්ථනාව, 'අනේ, මට මගේ ජීවිතය නැවත ආරම්භ කළ හැකි නම්' - දෙවියන් වහන්සේ පවසන්නේ, 'මට එය ඔබ වෙනුවෙන් ඉටු කළ හැකි' බවයි. අප ක්‍රිස්තුස් වහන්සේව අපගේ ජීවිතයට පිළිගන්නා විට සිදු වන්නේ එයයි. අපි දැන් දැක්ක පදයේ පවසනවා ඔබගේ භෞතික උපතත් ඔබගේ පියාගේ බීජයෙන් පටන් ගත්තා වගේ මේ අලුත් උපතද බීජයක් හරහා සිදු වෙනවා කියලා. ඒ ආකාරයෙන්ම මෙහි දී, ආත්මික වශයෙන්, දෙවියන් වහන්සේගේ වචනය ඔබව නව උපතකට ගෙන එන බීජයක් වැනි ය , කුමන ආකාරයෙන් ද? ඔබ එම වචනය විශ්වාස කළා, ක්‍රිස්තුස් වහන්සේ ඔබේ පව් උදෙසා මිය ගිය බව පැවසූ එම දේව වචනයට ඔබ ප්‍රතිචාර දැක්වූවා. ඔබ පව්කාරයෙක් බව පැවසූ දේව වචනය ඔබ පිළිගත්තා. ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ බව ඔබ විශ්වාස කළ අතර, ඔබ නැවත ඉපදුණා. ඔබ ඇදහිල්ල කරණකොටගෙන උන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේ ලැබුවේ, එය දෙවියන්වහන්සේගේ වචනයෙන් දෙන ලද පොරොන්දුව නිසාය. එම වචනය තුළින් ඔබ දෙවියන් වහන්සේ සමඟ නව සහභාගීකමකට පැමිණ ඇත.

එවිට එය තවදුරටත් කියනවා, දැන් ඔබ අලුත උපන් බිළිඳෙකු වන අතර, ඔබේ හදවතට වැටී ඔබව පණ ගැන්වූ බීජයක් වැනි වූ එම දේව වචනයම - දැන් අලුත උපන් බිළිඳාට කිරි මෙන් වේ. 1 පේතෘස් 2:3 හි, එය පවසන්නේ, "අලුත උපන් බිලිඳුන් මෙන්, ඔබ ගැළවීම සම්බන්ධයෙන් වර්ධනය වන පිණිස, වචන වන අමිශ්‍රවූ කිරි සඳහා ආශා කරන්න." අලුත උපන් බිළිඳකු වර්ධනය විය යුතුය. දෙවියන් වහන්සේ අපව ස්වර්ගයට ගෙන යන පිණිස පමණක් අපගේ පාප වලට සමාව දී නැත. උන්වහන්සේට අවශ්‍ය වන්නේ මෙම පදයේ සඳහන් වන පරිදි, ගැලවීම සම්බන්ධයෙන්, අපගේ පළමු පියා වන ආදම්ගෙන් අපට උරුම වූ අපගේ ස්වභාවයේ ඇති සියලුම දූෂිත භාවයෙන් ක්‍රමානුකූලව ගැළවීමයි. ආත්මාර්ථකාමිත්වය, උඩඟුකම, තිත්තකම, ඊර්‍ෂ්‍යාව, දුෂ්ටකම සහ ඒ හා සමාන දේ. මේ හැම දේකින්ම අපි ගැලවිය යුතුය. අපි නැවත ඉපදුණු මොහොතේම ඒවා අතුරුදහන් නොවේ. අප නැවත ඉපදෙන විට එය අප තුළට පැමිණෙන නව ජීවිතයක් හා සමාන වන අතර, එම ජීවිතයට මෙම සියලු නරක පුරුදු ජය ගැනීමට දියුණු කළ හැකි ශක්තියක් ඇත. නමුත් එම ශක්තිය වර්ධනය වීම උදෙසා භාවිතා කළ යුතුය.

ඔබ දන්නවා, කුඩා ළදරුවෙකු, ඔහු ඉපදුණු විට, ඔහුට කායසම්පන්න යෝධයෙකු වීමේ හැකියාව ඇත. නමුත් ඔහු ඔහුගේ කෑම නොකා කිරි නොබී හිටියොත් ඔහු වර්ධනය නොවේ. ඔහුට ආහාර දිය යුතුය, වර්ධනය පිණිස ඔහු ඔහුගේ ආහාර අනුභව කළ යුතුය. බොහෝ කිතුනුවන් කරන වැරැද්ද මෙයයි. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ පව්වලට සමාව ලැබුණු පසු, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබුණු පසු, එපමණයි යනුවෙනි. ඊට වඩා දෙයක් නැත යනුවෙනි. හොඳයි, තව බොහෝ තිබෙනවා. ඔබ ඉපදුනා පමණයි. දරුවෙකු මෙලොවට බිහි වූ පසු එය එපමණයි යැයි ඔබට පැවසිය හැකිද? ළදරුවාට වෙන යමක් නැද්ද? හොඳයි ඔබ එසේ දමා ගියොත් ඒ ළදරුවා මැරෙයි. ඇත්ත වශයෙන්ම, දරුවා ඉපදුණු වහාම කරන පළමු දේවලින් එකක් වන්නේ ඔහු හැඬීමයි. පළමු දිනයේ සිටම ඔහු කිරි සඳහා ආශා කරයි. පුදුම හැඬීමක් තිබෙනවා. කිරි ඉල්ලා කෑගසන ළදරුවන් ඔබ අසා ඇත. සැබෑ කිතුනුවකු දෙවියන්වහන්සේගේ වචනය උදෙසා අයදින්නේ එලෙසයි, දෙවියන්වහන්සේ තමන් වහන්සේගේ වචනය තුළින් තමාව පෝෂණය කරන ලෙසයි. දැන් දරුවා එලෙස හඬන්නේ නැත්තම් දරුවාට අසනීපයි, නැත්නම් මැරෙන්න ළඟයි කියලා කියන්න පුළුවන්. නිරෝගී ළදරුවන් සෑම විටම කිරි ඉල්ලා කෑගසනු ඇත. නිරෝගී කිතුනුවා යනු අලුත උපන් බිළිඳුන් මෙන් දෙවියන් වහන්සේගේ වචනයෙන් තමාට පෝෂණය කිරීම සඳහා කෑගසන අයෙකි. දෙවියන් වහන්සේගේ වචනය නැමැති කිරි සඳහා අප තුළ දැඩි ආශාවක් තිබිය යුතුය. දෙවියන් වහන්සේගේ වචනය අපට ගැලවීම තුළ වර්ධනය වීමට උපකාර වන කිරි මෙන්වේ.

බයිබලයේ ආරම්භයේදීම අපි මේ ගැන ලස්සන පින්තූරයක් දකිනවා. උත්පත්ති 1 හි පෘථිවිය අවුල් සහගත තත්වයක පවතින බව අපි කියවන්නෙමු. බයිබලය පවසන්නේ පෘථිවිය හැඩයක් නොමැති, හිස් සහ අඳුරු බවයි. දෙවියන් වහන්සේගෙන් ඈත්ව සිටින මනුෂ්‍ය වර්ගයාගේ තත්ත්වය ද එයයි. හැඩයක් රහිත, හිස් සහ අඳුරුය. නැවත ඉපදීමට පෙර අප සිටියේ එලෙසයි. දෙවියන් වහන්සේ මෙම අවුල් සහගත, හැඩයක් නැති, හිස්, අඳුරු ලෝකය වෙනස් කර එය මෙතරම් සුන්දර ලෝකයක් බවට පත් කළේ කෙසේද, උත්පත්ති 1 වන පරිච්ඡේදය අවසානයේ දෙවියන් වහන්සේ පවසන්නේ "මෙය ඉතා හොඳයි" කියාය. දෙවියන් වහන්සේ එය කළේ කෙසේද?

ඔබට පෙනෙනවා, මෙහිදී අප දැකිය යුතු ඉතා වැදගත් කරුණු දෙකක් වේ. පළමුවෙන්ම, "දෙවියන් වහන්සේගේ ආත්මය මේ පොළොව මතුපිට සැරිසැරූ සේක. "දෙවියන් වහන්සේගේ සියලු වැඩ ආරම්භ වන්නේ ශුද්ධාත්මයාණන් අවුල් සහගත තත්වයක් මත ගමන් කර එය මුදා ගැනීමට උත්සාහ කිරීම, ගැටලුව විසඳීමට උත්සාහ කිරීමෙනි. නමුත් එය පමණක් නොවේ. අපි දෙවන කරුණ කියවමු: දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ විය. දෙවියන් වහන්සේගේ ආත්මය සැරිසැරූ අතර දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ විය. මේ දෙක සැමවිටම එකට වැඩ කරයි - දෙවියන් වහන්සේගේ ආත්මය සහ දෙවියන් වහන්සේගේ වචනය. දේව වචනය පැවසුවේ කුමක්ද? "ආලෝකය ඇති වේවා" ඒ වචනය විය. දෙවියන් වහන්සේගේ මුවින් එම වචනය පිට වූ විගස ආලෝකය පැමිණියේය. නැවතත්, අපි දෙවියන් වහන්සේගේ වචනය කියවනවා, "ජල මැද විශාල ප්‍රදේශයක් වේවා", එවිට ස්වර්‍ගය මැවුණි. එවිට දෙවියන් වහන්සේ, "ජලය එක්රැස් වේවා, වියළි බිම දිස්වේවා" කියා පොළොව සෑදුවේය. එමනිසා, පළමු දින, දෙවන දින, තුන්වන දින දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ වූ සෑම අවස්ථාවකම යමක් සිදු වූ බව අපට පෙනී යයි. අවුල් සහගත දෙයක් වෙනස් විය.

මුළු පෘථිවියම එක දවසකින් වෙනස් වූයේ නැත. එයට දින හයක් ගත විය, දෙවියන් වහන්සේ කාලය ගත කරන නිසා නොවේ. දෙවියන් වහන්සේට එය මොහොතකින් වෙනස් කළ හැකි විය. උන්වහන්සේට එක වචනයකින් මුළු පොළොවම එක මොහොතකින් ලස්සන කරන්න තිබුණා. නමුත් උන්වහන්සේ බයිබලයේ මුල් පිටුවේ අපට යමක් ඉගැන්වීමට උත්සාහ කරයි, එනම් දෙවියන් වහන්සේ අපගේ ජීවිත තුළ සෙමින්, දිනෙන් දින, දිනෙන් දින සෑම දිනකම ක්‍රියා කරන බව. සෑම දිනකම, අප තුළ ඇති අවුල් සහගත බව ඉවත් කිරීමට, අන්ධකාරය ඉවත් කිරීමට, හැඩය නැතිකම ඉවත් කිරීමට, අපගේ ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේ මෙන් නොවන දේ ඉවත් කිරීමට උන්වහන්සේට අවශ්‍ය වේ. නව ගිවිසුමේ, 2 කොරින්ති 4:16 හි අපි කියවන්නේ, "අපගේ අභ්‍යන්තර මිනිසා දිනෙන් දින, දිනෙන් දින අලුත් වෙමින් පවතී." පළමු දිනයේ වෙනසක් විය යුතුය, දෙවන දිනයේ වෙනසක් විය යුතුය, තුන්වන දිනයේදී ... සහ, අපගේ ජීවිත කාලය පුරාවට, දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අපව ටිකෙන් ටික වෙනස් කිරීමටයි, අපගේ ජීවිතයේ අවසානයේදී, දෙවියන් වහන්සේට 'ඉතා හොඳයි, මේ මිනිසා තුළ මගේ කාර්‍යය සම්පූර්ණ කිරීමට මට හැකි වීයැයි' පැවසිය හැකි දවසක් එනතුරු.

දැන් කණගාටුදායක දෙය නම්, බොහෝ කිතුනුවන් සමඟ, එය එසේ සිදු නොවේ, මන්ද ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රතිචාර නොදක්වන බැවිනි. ඔබට පෙනෙන්නේ, උත්පත්ති 1 හි, දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ වූ විට, පෘථිවිය ප්‍රතිචාර දැක්වූ අතර යමක් සිදු විය. එබැවින්, ඔබ දෙවියන් වහන්සේගේ වචනයට ප්‍රතිචාර දක්වන්නේ නම්, එය ඔබගේ හදවතට එන පරිදි, ඔබේ ජීවිතයේ යමක් නියත වශයෙන්ම සිදුවනු ඇත. ඔබ එම වචනය පිළිගන්නේ නම්, ඔබ එම වචනය විශ්වාස කරන්නේ නම්, ඔබ එම වචනයට කීකරු වුවහොත්, යමක් නියත වශයෙන්ම සිදුවනු ඇත. ඔබ උත්පත්ති 1 හි කියවා ඇති ආකාරයටම, සෑම දිනකම යමක් සිදු විය, දෙවියන් වහන්සේ එය හොඳ යැයි පැවසූ සේක. ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත සෑම දිනකම, ඔබගේ ජීවිතයේ යම් වෙනසක් ඇති කිරීමට නියමිත දේව වචනයක් ඔබගේ හදවතට ලබාගත යුතුය යන්නය. ඒ නිසාම ඔබට සෑම දිනකම ලැබිය යුතු වැදගත්ම දෙය වන්නේ ඔබේ ආහාරයට වඩා දේව වචනයයි.

යේසුස්වහන්සේ පාළුකරයේදී මුහුණ දුන් පළමු පරීක්‍ෂාව ඔබට මතක ඇති. උන්වහන්සේ දින හතළිහක් නිරාහාරව සිටි අතර, යක්‍ෂයා යේසුස් වහන්සේ වෙතට අවුත්, 'මේ ගල් රොටි බවට පත් නොකරන්නේ මන්ද? ඔබට බඩගිනියි; නොකෑවොත් මැරෙයි.' එක ඇත්ත. ඔබ දින හතළිහක් ආහාර නොගෙන එසේ සිටියහොත් ඔබ මිය යාමට ඉඩ ඇත. නමුත් යේසුස්වහන්සේ සාතන්ට පිළිතුරු දුන්නේ, කෑම කනවාට වඩා දේව වචනය ලබා ගැනීම වැදගත් බවයි. මම මෙහි මතෙව් 4:4 විස්තරකර ඇත. ඔබ එම වචනය කියවා තිබේද? 'මිනිසා ජීවත් වන්නේ රොටිවලින් පමණක් නොව, දෙවියන් වහන්සේගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකින්ම ය.' උන්වහන්සේ පැවසූ දෙය නම්: ආහාර අනුභව කිරීමට වඩා දෙවියන් වහන්සේගේ වචනය ලබා ගැනීම වඩා වැදගත් බවයි.

දැන් කිතුනුවන් කී දෙනෙක් තම ශරීරයට ආහාර ලබා ගැනීමට වඩා දෙවියන් වහන්සේගේ වචනය තම ආත්මයට, ප්‍රාණයට ලබා ගැනීම වඩා වැදගත් යැයි විශ්වාස කරනවාද? ශරීරය සඳහා ආහාරවල වටිනාකම අපි කවුරුත් දනිමු; ආහාර නොමැතිව අප වර්ධනය නොවන බව අපි දනිමු. ඒ වගේම අපි කෑම රසවිඳිනවා, හොඳ කෑම රසවිඳිනවා. බොහෝ ක්‍රිස්තියානීන් දෙවියන්වහන්සේගේ වචනය එලෙස රස විඳින්නේ නැත්තේ ඇයි? ඒ කුඩා දරුවන් සේම ඇතැම් විට එහි වටිනාකම තේරුම් නොගත් නිසාය. කුඩා දරුවන්ට ආහාරවල වටිනාකම තේරෙන්නේ නැහැ. ඔබ ඔවුන්ට කන්න කියනවා, ඔවුන් කන්නේ නැහැ. ඔබ ඔවුන්ට කිරි බොන්න කියනවා, ඔවුන් කිරි බොන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට තාත්තටයි අම්මටයි එයාලට බල කරන්න වෙනවා. බොහෝ කිතුනුවන් සම්බන්ධයෙන්ද එය එසේමය. නමුත් දෙවියන් වහන්සේගේ වචනයට ඔබව වර්ධනය කළ හැකි බව ඔබ තේරුම් ගත් පසු; ඔබව ශක්තිමත් කළ හැකිය; ඔබට සාතන්ව ජය ගත හැක, ඔබ එයට යටත් වුවහොත්, ඔබේ ජීවිතය අවුල්සහගත තත්ත්වයෙන් අලංකාරයට පරිවර්තනය වනු ඇත. ඔබ අද සිට එම පුරුද්ද ආරම්භ කළහොත් එය ඔබේ මුළු ජීවිතයම වෙනස් කළ හැකිය. අද දින තීරණයක් ගන්න, දෙවියන් වහන්සේගේ වචනය කියවීමට, එය විශ්වාස කිරීමට සහ සෑම දිනකම කීකරු වීමට.

©Zac Poonen – [email protected]
01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)