13 ආගමිකත්වය සහ ආත්මිකත්වය


Transcript of Religiosity and Spirituality

ආගමික සහ ආත්මික වීම අතර වෙනස ගැන අපි යමක් සලකා බලමු. සමහර විට, ඔබ ඒ ගැන කවදාවත් සිතා නැති වන්නට පුළුවන, නමුත් එහි වෙනස තේරුම් ගැනීම අපට ඉතා වැදගත් වේ.

අපි දෙවියන් වහන්සේගේ වචනය තුළ කියවනු ලබනවා, "අන්තිම දවස්වලදී දේව භක්තියේ ස්වරූපය අල්ලාගෙන සිටින නමුත් එහි බලය ප්‍රතික්‍ෂේප කරන බොහෝ මිනිසුන් සිටිනු ඇත" (2 තිමෝ. 3:1, 5). උදාහරණයක් ලෙස තවත් කෙනෙකුට වස දීමට කැමති අයෙකුව ගන්න, ඔහු ඔහුට සම්පූර්ණ වස වීදුරුවක් දෙන්නේ නැත, නමුත් සමහර විට, මිනිසා මරා දැමීමට ප්‍රමාණවත් වස බිංදු දෙක තුනක් සමඟ කිරි වීදුරුවක් ලබා දෙයි. ඒ හා සමානව, සාතන්ට මිනිසුන්ව රැවටීමට අවශ්‍ය වූ විට, ඔහු පැහැදිලි වැරැද්දක් මිනිසුන්ට පෙන්වා දෙන්නේ නැත. ඔහු පාපය හා අධර්මිෂ්ඨකම දේශනා කිරීමට එන්නේ නැත. සාතන් ආලෝකයේ දූතයෙකු ලෙස පැමිණෙන බව බයිබලය පවසයි (2 කොරින්ති 11:14, 15). ඔහු පැමිණෙන බොහෝ ආකාර තිබේ; ඔහු සිංහයෙකු මෙන් ද මකරෙකු මෙන් ද සර්පයෙකු මෙන් ද පැමිණේ. ඔහු මේ ආකාරයෙන් පැමිණි විට අපට ඔහුව පහසුවෙන් හඳුනාගත හැකිය. ඔහුට අපව බිය ගැන්විය හැක නමුත් ඔහුට අපව රැවටිය නොහැක. සිංහයෙකු හෝ සර්පයෙකු හෝ මකරෙකු පැමිණෙද්දී ඔවුන්ගේ අරමුණු ගැන ඔබ දුටු විට ඔබ බිය වන්නේ නැත. නමුත් සාතන් ආලෝකයේ දූතයෙකු ලෙස පැමිණෙන විට සහ ඔහුගේ සේවකයන් ධර්මිෂ්ඨකමේ සේවකයන් වන විට ඔබ රැවටෙන්නට පුළුවන.

මනුෂ්‍යයන්ව සැබෑ දෙවියන්වහන්සේගෙන් සහ සත්‍යයෙන් නොමඟ යැවීමේ අරමුණ ඉටු කිරීම සඳහා සාතන් බොහෝ ආගම් නිර්මාණය කර ඇත. ඔහු ශුද්ධ ලියවිල්ලේ අප දකින දේට වඩා වෙනස් ක්‍රිස්තියානි ධර්මයේ අනුවාද ද නිර්මාණය කර ඇත. අපි නාමික ක්‍රිස්තියානීන් යන ප්‍රකාශය භාවිතා කරන්නේ කිතුනු පවුලක උපත ලද, ඔවුන් කුමන නිකායකට අයත් වුවද, නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි පුද්ගලික ඇදහිල්ලකට නොපැමිණි මිනිසුන්ට ය. එහෙත් මේ බොහෝ මිනිසුන්ට දේව භක්තියේ වේෂය තිබිය හැකිය. ක්‍රිස්තුස් වහන්සේ තම ගැළවුම්කාරයා ලෙස පිළිගත් අය පවා, ආගමිකත්වය සහ ආත්මිකත්වය අතර වෙනස හඳුනා ගැනීමට අපොහොසත් වුවහොත්, ආත්මික නොවී වඩවඩාත් ආගමිකව වර්ධනය විය හැකිය.

ආගම්වාදය මනුෂ්‍ය දෙයක් වන අතර ආත්මිකත්වය දිව්‍යමය වේ - එය ස්වර්ගයෙනි. නිදසුනක් වශයෙන්, පැරණි ගිවිසුමේ ව්‍යවස්ථාවට කිසිවකු ආත්මික කිරීමට නොහැකි විය. පැරණි ගිවිසුමේ නීතියේ ප්‍රමිතීන්ට වඩා ඉහළට ගිය අය සිටියහ. මෝසෙස්, එලියා සහ යොහන් බෞතිස්ථ වැනි අය දෙවියන් වහන්සේගේ හදවත දැනගත් ආත්මික මනසක් ඇති අය වූහ. නමුත් ව්‍යවස්ථාවට කිසිවෙකු ආත්මික කිරීමට නොහැකි විය, මන්ද නීතියෙන් ඉල්ලා සිටියේ ඔබ බාහිරව යම් යම් ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බව පමණි. ඔබ දස පණත රක්‍ෂා කළා නම්, එනම් ඔබට වෙනත් දෙවිවරුන් නොසිටියේ නම්, ඔබ පිළිම වන්දනා නොකළේ නම්, ඔබ ස්වාමින් වහන්සේගේ නාමය නිකරුනේ භාවිතා නොකලේ නම්, ඔබ සබත් දින පැවැත්වූයේ නම්, ඔබේ පියාට සහ මවට ගෞරව කළේ නම්, කාමමිථ්‍යාචාරය, සොරකම් කිරීම, මිනීමැරීම හෝ බොරු සාක්‍ෂි දීම හෝ ඔබේ අසල්වැසියාගේ දෙයකට ආශා කිරීම නොකලේ නම්, ඔබ හරිය. බාහිරව නීතියට ඔබ ගැන වරදක් සොයාගත නොහැක. ඔබ චාරිත්‍රානුකූල නීතිය සම්බන්ධයෙන් සියලු ආඥා පිළිපැද්දේ නම්, ඔබ ඉතා හොඳ තත්වයක සිටින පුද්ගලයෙකු ලෙස පිළිගනු ඇත. ඔබ ඊශ්‍රායලයේ කැපී පෙනෙන යුදෙව්වෙක් වනු ඇත. නමුත් ඔබ ආත්මික විය යුතු නැත.

දැන් අදත් ඒ දේම වෙන්නට පුළුවන. පුද්ගලයෙකුට නිතිපතා රැස්වීම්වලට යා හැකි අතර යම් ක්‍රිස්තියානි නිකායක හෝ පල්ලියක බාහිර ඉල්ලීම්වලට අනුකූල විය හැකි අතර එහි හොඳ ස්ථාවරයක් තිබිය හැකිය. ඔහුට පල්ලියේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙකු හෝ වැඩිමහල්ලෙකු විය හැකි නමුත් ආත්මික විය යුතුම නැත. ඔහු ආගමික පමණක් විය හැකිය. එවිට ඔහු යේසුස්වහන්සේගේ කාලයේ සිටි පරිසිවරුන්ට සමාන වනු ඇත. ඔවුන් මිනිසුන්ගේ ඇස් හමුවේ බාහිරව නීතියේ සියලුම අවශ්‍යතාවලට අනුකූල වූ නමුත් ඔවුන්ගේ හදවත් තුළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට කැප නොවීය. ඔවුන් ආත්මික නොවීය. ඔවුන් දෙවියන් වහන්සේට කැප වූයේ නැත. ඔවුන් තම මුළු හදවතින්, ආත්මයෙන්, ශක්තියෙන් සහ මනසින් දෙවියන් වහන්සේට ප්‍රේම කළේ නැත. ඔවුන් මුදලට ප්‍රේම කළෝය (ලූක් 16:14). ඒ එක් උදාහරණයක් පමණි.

ආගමික පුද්ගලයින්ට යාච්ඤා කිරීමට, දිනපතා බයිබලය කියවීමට, සර්ව රාත්‍රී නිරාහාර යාච්ඥා රැස්වීම්වලට සහභාගී වීමට, ඔවුන්ගේ ආදායමෙන් දසයෙන් කොටස දීමට, පත්‍රිකා ලබා දීමට හැකිය නමුත්, ඒ සියල්ල සමඟම, ඔවුන් මිනිසුන්ගෙන් ගෞරවය ලබා ගැනීමටත්, තමන් වෙනුවෙන් ජීවත් වීමටත්, මුදලට ආදරය කිරීමටත්, කේලාම් කීමේ ආශාවෙන් සිටීම යනාදී දේද කරයි. ඔවුන්ගේ ජීවිතයේ මේ පැති දෙක අතර පරස්පරතාවයක් ඇති බව ඔවුන්ට නොපෙනේ. මේ දෙක අතර සම්බන්ධයක් නැහැ වගේ පෙනේ. එක් පැත්තකින් දේව භක්තියේ ස්වරූපයක් ඇතත් අනෙක් පැත්තෙන් පුද්ගලයෙකු ආත්මාර්ථකාමී ජීවිතයකින් මුදවා ඔහු සැබවින්ම දේව භක්තිකයෙකු බවට පත් කරන අභ්‍යන්තර බලය එහි නොමැත. මේ උදාහරණ කිහිපයකි. ඔබ මිනිසුන්ගේ මතය ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නම්; දෙවියන් වහන්සේ ඔබ ගැන සිතන දෙයට වඩා මිනිසුන් ඔබ ගැන සිතන දේ තුළ, මගේ මිතුර, ඔබ හුදෙක් ආගමික විය හැකිය.

ඒකට මුහුණ දෙන එක හොඳයි. අපි කිසිවකුට අපහාස වන අයුරින් කිසිවක් නොකියමු, නමුත් අපගේ ජීවිත දේව වචනය තුලින් පිරික්සීමට නිරාවරණය කරන විට, අප ක්‍රිස්තියානිකම හුදෙක් මතුපිටින් පමණක් ඇති දෙයක් බව දේව වචනය අපට පෙන්වනු ඇත. අප එයට මුහුණ දීම හොඳය. ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණෙන විට සහ අප උන්වහන්සේ ඉදිරියෙහි සිටගන්න අවස්තාවට වඩා දැන් එය හඳුනා ගැනීම වඩා හොඳය. ඒ වනවිට එය ප්‍රමාද වැඩි වනු ඇත. අද දවසේ අපි ආගමික පමණක් බවත් ආත්මික නොවන බවත් හඳුනා ගන්නේ නම්, අපට ඒ සඳහා යමක් කළ හැකිය.

ආත්මික මිනිසෙක් සියලු මිනිසුන්ගේ මතයට වඩා තම ජීවිතය පිළිබඳ දෙවියන්වහන්සේගේ මතය ගැන උනන්දු වෙයි. ආත්මික මිනිසෙක් රැස්වීම්වලට සහභාගි වීමට වඩා දේවභක්තික ජීවිතයක් ගත කිරීමට උනන්දු වෙයි. ඔහුගේ රැස්වීම්වලට පැමිණීම දේවභක්තික ජීවිතයක් ගත කිරීම සඳහා ඔහුට උපකාරකයක් කිරීම පමණි, මන්ද දේවභක්තික ජීවිතය රැස්වීමකට වඩා වැදගත් ය. ඉරිදා උදෑසන රැස්වීම්වලදී දේශනා කරනවාද නැද්ද යන්නට වඩා දේව භක්තිකයෙකුට ඔහු තම බිරිඳ සහ දරුවන් සමඟ නිවසේදී හැසිරෙන ආකාරය ඉතා වැදගත් වේ. එහිදී ඔබට ඔබව ඇගයීමට ලක් කළ හැකිය.

ඔබේ ඉරිදා උදෑසන පණිවිඩය සඳහා ඔබේ දේශනාව සූදානම් කිරීමට ඔබ ඉතා ප්‍රවේසම් වන නමුත් නිවසේදී ඔබේ බිරිඳට කතා කරන ආකාරය ගැන සැලකිලිමත් නොවන්නේ නම්, ඔබ බොහෝ විට ආත්මික නොව ආගමික වේ. යම් ආකාරයක දේව භක්තියක් ඇති අය ඔවුන් ඉතා ශුද්ධ මිනිසුන් ලෙස කීර්තියක් ලබා ඇත, නමුත් ඔවුන් සැබවින්ම ආත්මික නොවේ. යමෙක් නිරාහාරව සිට යාඥා කොට දසයෙන් කොටස දීමෙන් සෑහීමකට පත්වේ ද, නමුත් ඔහු දවස පුරා තම කතාව පාලනය කර ගත හැකි ද නොහැකි ද යන්න ගැන වද නොවන බව පෙනේ නම්, මුදලට ලොල්වීම ගැන බාදාවට පත් නොවේ නම්, ඔහු ආගමිකය. පුද්ගලයෙකුට එවැන්ජලිස්ත සේවය කෙරෙහි උනන්දුවක් දැක්විය හැකිය - නැතිවූ අය වෙත ළඟා වීම, එය ඉතා හොඳ දෙයක් සහ ඉතා අවශ්‍ය දෙයකි, නමුත් ඔහු ඒ සමඟම පුද්ගලික පවිත්‍රභාවය ගැන උනන්දුවක් නොදක්වන්නේ නම්, ඔහු හුදෙක් ආගමිකය. ආත්මික මිනිසෙක් මේ දෙකම ගැන උනන්දු වනු ඇත.

ආගමික මිනිසුන් සම්බන්ධ වන මෙම බොහෝ ක්‍රියාකාරකම් ඉතා හොඳ නමුත් ප්‍රශ්නය වන්නේ ප්‍රමුඛතා ය. මිනිසෙකු ආත්මිකබවට පත්කරන්නේ ප්‍රමුඛතාවයන්ය. ආගමික පුද්ගලයෙකු බොහෝ විට ලිඛිත වචනය ගැන උනන්දු වන බව ඔබට පෙනේ - නීතියේ ලිපිය. බයිබලය පවසන්නේ ".... ව්‍යවස්ථාවේ වචනාර්ථය මරණයට පත් කරයි, නමුත් ආත්මය ජීවය ගෙන දෙයි" (2 කොරින්ති 3:6). එනම්, දෙවියන් වහන්සේගේ වචනය,එහි ආත්මය තේරුම් නොගෙන, අකුරට අනුව ගතහොත් ජීවය ගෙන එන්නේ නැත, එය ඔබව මරා දමනු ඇත. ඔබ ඒ ගැන සිතුවාද? අපි මෙය සමස්ත පදයේ සන්දර්භය තුළ, විශේෂයෙන් පළමු කොටසෙහි තේරුම් ගත යුතුය; "අපි අලුත් ගිවිසුමක සේවකයෝ වෙමු, වචනාර්ථයට නොව පරමාර්ථයටයි, මක්නිසාද චචනාර්ථය මරාදමන නමුත් ආත්මය(පරමාර්ථය) ජීවය දෙන බැවිනි."

මතකද එක් වරක් යේසුස් වහන්සේ 'ඔබට මගේ මස් කන්නත්, මගේ ලේ බොන්නත් වෙනවා' කියා පැවසූ විට, යේසුස් වහන්සේ මිනීමස් කෑම දේශනා කරනවා යැයි සිතා ගොඩක් අය අමනාප වුණා. අපි මෙය ශු:යොහාන් 6 හි කියෙව්වා. ඔවුන් කොතරම් අමනාප වූවාද කිවහොත් ඔවුන් ඉවත්ව ගිය අතර ඔවුන් තවදුරටත් උන්වහන්සේ සමඟ ඇවිද ගියේ නැත. ඔවුන් පිටත්ව යාමට පෙර යේසුස් වහන්සේ ඔවුන්ට අවසන් වචනයක් කීසේක. උන්වහන්සේ ඔවුන්ට පැවසුවේ, "මා ඔබට කතා කරන වචන ආත්මය සහ ජීවනය, මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත" (ශු:යොහාන්. 6:63). ඉතින්, යේසුස්වහන්සේ කතා කළ දෙය ආත්මිකයි.

ඔබට ශුද්ධ ලියවිල්ලේ වචනය - වචනාර්ථය ගෙන, අවසාන විස්තරය දක්වා එයට කීකරු විය හැකිය, එලෙස කිසිසේත්ම ආත්මික නොවී ආගමික පුද්ගලයෙකු වියහැකිය. එය ව්‍යවස්ථාවේ වචනාර්ථය පවත්වනවාට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. පුද්ගලයෙකු ආත්මික වීමට දෙවියන් වහන්සේ කෙරෙහි - උන්වහන්සේගේ වචන කෙරෙහි හෘදයංග ආකල්පයක් අවශ්‍ය වේ. අපගේ ජීවිතයේ ඉලක්කය විය යුත්තේ ආත්මික වීම මිස පුරාණ ඵරිසිවරුන් මෙන් ආගමික පුද්ගලයෙකු වීමට නොවේ. ඔවුන් වඩාත් උනන්දු වූයේ මිනිසුන් ඉදිරියේ තමන්ව සාධාරණීකරණය කිරීමට සහ තමන් පෙනී සිටින දේ නිවැරදි බවත් කරන දේ නිවැරදි බවත් මිනිසුන්ට ඔප්පු කිරීමටය. ආත්මික මිනිසා සැබැවින්ම මිනිසුන් ඔහු ගැන සිතන දේ ගැන කරදර වන්නේ නැත.

මිනිසුන් උන්වහන්සේ ගැන සිතන්නේ හෝ පවසන්නේ කුමක්ද යන්න ගැන කල්පනා කරමින් යේසුස්වහන්සේ කිසිවිටෙක ජීවත් නොවූසේක. උන්වහන්සේ ජීවත් වූයේ පියාණන්ව සතුටු කිරීමට පමණි. ආත්මික පුද්ගලයෙක් දෙවියන් වහන්සේගේ මතය ගැන සැලකිලිමත් වේ. ආගමික අයට බොහෝ විට ඔවුන් ගැන කවුරුන් හෝ පැවසූ ප්‍රශංසා වචන ගැන වසර ගණනාවක් මෙනෙහි කළ හැකිය. අනෙක් අතට ආත්මික පුද්ගලයෙක් මිනිසුන්ගෙන් සාක්‍ෂි ලබාගැනීම ප්‍රතික්‍ෂේප කරයි. තමන්ගෙ හිතේ තියෙන දූෂිතබව අනිත් මිනිස්සු දන්නෙ නැතිබව ඔවුන් දනී . මිනිසුන්ගේ ප්‍රශංසාව කිසිත් නොවන දෙයකටත් වඩා වටිනාකමින් අඩු බව ඔවුහු දනිති. එබැවින් ඔවුන් ජීවත් වන්නේ දෙවියන් වහන්සේගේ මතය සඳහාය, ඔවුන් ජීවත් වන්නේ උන් වහන්සේ සතුටු කිරීමටය.

අපගේ ජීවිතයේ ඉලක්කය දෙවියන් වහන්සේ සතුටු කිරීම නම්, එය පහසු නැත, අපට සටනක් කර 'ස්වාමීනි, මට මිනිසා සතුටු කිරීමට අවශ්‍ය නැත, මට අවශ්‍ය වන්නේ ඔබ සතුටු කිරීමට' යැයි පැවසිය යුතුය. එය අපගේ අධිෂ්ඨානශීලී ඉලක්කය නම්, දෙවියන් වහන්සේගේ ආත්මය අපට සැබෑ ලෙස ආත්මික වීමට මාර්ගය පෙන්වා දෙන බව අපට පෙනී යනු ඇත. එවිට අපට දේව භක්තියේ බාහිර ස්වරූපය පමණක් නොව අභ්‍යන්තර බලය ද ලැබෙනු ඇත.

©Zac Poonen –

[email protected]
01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)