12 - දේව වචනය අපගේ මනස අලුත් කරයි


Transcript of God's Word Renews Our Mind

ඕනෑම ගැටලුවක් සම්බන්ධයෙන් හෝ ගැටලුවකට විසඳුම සම්බන්ධයෙන් දෙවියන් වහන්සේගේ මනස තේරුම් ගැනීමට අපට හැකි නම් එය පුදුමයක් නොවන්නේද.

අපි දෙවියන් වහන්සේගේ වචන යෙහි රෝම 12:2 වෙත හැරෙමු. මෙහි ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ හදවත්වලට කතා කරන අතර, මට අවශ්‍යයි ඔබ ඉතා අවධානයෙන් සවන් දෙනවාට - දෙවියන් වහන්සේ ඔබේ හදවතට කතා කිරීමට උත්සාහ කරයි ; " නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවී, දෙවියන්වහන්සේගේ කැමැත්ත එනම් යහපත්වූ පිළිගත යුතුවූ සම්පූර්ණවූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස, සිත අලුත්කරගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න." දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අප අභ්‍යන්තරව පරිවර්තනය වීම බව මෙහිදී අපට පෙනේ. උන්වහන්සේ මෙහි කතා කරන්නේ අපගේ මනස අලුත් කිරීම ගැනය. අපි කලින් අධ්‍යයනයක දී උත්පත්ති1 ට යොමු වෙමින්, දෙවියන් වහන්සේගේ වචනය සහ ශුද්ධාත්මයාණන් අවුල් සහගත පෘථිවිය මත සැරිසරමින් එම අවුල් සහගත තත්ත්වයෙන් පිළිවෙල, ස්වරූපය, අලංකාරය, ආලෝකය සහ සෑම යහපත් දෙයක් ඇති කළේ කෙසේද යන්න සලකා බැලුවෙමු. අවසානයේදී, දෙවියන් වහන්සේ විසින්ම 'මෙය විශිෂ්ටයි, මෙය ඉතා හොඳයි' ලෙස පැවසූ සේක (උත්පත්ති1:26).

එය අපගේ ජීවිතය තුළද දෙවියන් වහන්සේ කිරීමට කැමති දේ පිළිබඳ බොඳවූ චිත්‍රයක් බව ඔබ දන්නෙහිද? එසේම; අපගේ අවුල් සහගත, අකාරුණික සහ අඳුරු ජීවිතය ගෙනශුද්ධාත්මයාණන්ට අප මත ක්‍රියා කිරීමට ඉඩදී;දෙවියන් වහන්සේගේ වචනය අප තුළට කිඳා බැසීමට සලස්වා අපව අභ්‍යන්තරව වෙනස් කිරීමට ඉඩ හැර, අවසානයේදී, උන්වහන්සේට අපගේ ජීවිත දෙස බලා 'විශිෂ්ට' යැයි පැවසිය හැකිය. වෙනත් වචන වලින් කිවහොත්, බොහෝ ආකාරවලින් තිත්තකම, ඊර්ෂ්‍යාව සහ නපුරෙන් පිරුණු කාලකණ්ණි, දූෂිත, පව්කාර සත්වයන් වූ අපි, දෙවියන් වහන්සේගේ වචනය සහ ශුද්ධාත්මයාණන් විසින් කෙතරම් රැඩිකල් ලෙස පරිවර්තනය වී ඇත්ද යත්, අපි ක්‍රීස්තුස්වහන්සේගේ ස්වභාවය ප්‍රකාශ කිරීමට පටන් ගන්නෙමු. අපේ මනස අලුත් වීම යනු එයයි. එය වෙනත් ආකාරයකින් පැවසුවහොත්, දෙවියන් වහන්සේට අවශ්‍ය වන්නේ අපගේ මනස උන්වහන්සේ සිතන ආකාරයට සිතීමට පටන් ගැනීමයි.

අපේ මනස අලුත් නොවූ විට, අප නැවත උත්පාදනය ලබා අපගේ පාප කමා කර තිබුණද, අප තවමත් ලෞකික මිනිසුන් සිතන ආකාරයටම සිතන්නට පුළුවන. අවාසනාවකට මෙය බොහෝ ඇදහිලිවන්තයන් සමඟ සත්‍ය වේ, මන්ද ඔවුන් වර්ධනය නොවන බැවිනි. ඔවුන්ගේ මනස මුදල්, රූමත් කාන්තාවන්, දේපළ, තනතුර සහ ගෞරවය සහ ඔවුන්ගේ සතුරන් දෙස බලන ආකාරය සහ අනෙක් සියල්ල ගැන හරියටම ලෝකයේ මිනිසුන් මෙන්ම සිතයි. නමුත් දෙවියන් වහන්සේ මේ සියල්ල වෙනස් ආකාරයකින් භාවිතා කරනසේක.

පරිවර්තනය වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වෙනස් වීමයි. එය සිදු වන්නේ කොහේද? එය අපගේ භෞතික පෙනුම තුළ සිදු නොවේ. දෙවියන් වහන්සේ අපව ශාරීරිකව යේසුස් වහන්සේ මෙන් කිරීමට කටයුතු කරන්නේ නැත. එය නිෂඵල දෙයකි. උන්වහන්සේ අපගේ අභ්‍යන්තර ස්වභාවය සහ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේගේ ස්වරූපයට වෙනස් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී. එය සිදු වන්නේ කෙසේද? උන්වහන්සේ එය කරන්නේ අපගේ මනස අලුත් කිරීම - අපගේ සිතීමේ ආකාරය වෙනස් කිරීම මගිනි. දෙවියන් වහන්සේගේ වචනය තුළින් උන්වහන්සේ සිතන ආකාරයටම උන්වහන්සේ අපව සිතන්නට සලස්වයි.

බයිබලයේ අපට දෙවියන්වහන්සේ සිතන ආකාරය තිබේ. දෙවියන්වහන්සේ සිතන ආකාරය දැනගැණීමට අවශ්‍ය නම් බයිබලය කියවන්න. දෙවියන් වහන්සේ මුදල් ගැන සිතන්නේ කුමක්ද, කාමමිථ්‍යාචාරය, සොරකම, අන් අයව රැවටීම, ඊර්‍ෂ්‍යාව, ආත්මාර්ථකාමිත්වය හෝ පරාර්ථකාමිත්වය, නිහතමානිකම හෝ උඩඟුකම හෝ ඕනෑම දෙයක් ගැන දෙවියන්වහන්සේ සිතන්නේ කුමක්ද යන්න ඔබට දැන ගැනීමට අවශ්‍ය නම්, බයිබලය කියවන්න. පිළිතුර එහි ඇත. යේසුස් වහන්සේ පොළොවට පැමිණි විට, උන්වහන්සේව හැඳින්වූයේ වාක්‍යාණෝ ලෙසිනි. වාක්‍යාණෝ මාංසවත් වූ බව අපට කියා ඇත. මෙයින් අදහස් කරන්නේ ඕනෑම දෙයක් ගැන, ඕනෑම විෂයයක් ගැන දෙවියන් වහන්සේ සිතන්නේ කුමක්ද යන්න ඔබට දැන ගැනීමට අවශ්‍ය නම්, ඔබ යේසුස් වහන්සේගේ ජීවිතය දෙස බැලිය යුතු අතර එවිට ඔබට පිළිතුර ලැබෙනු ඇත!

එහිදී දේව වචනය ලිඛිත ස්වරූපයෙන් පමණක් නොව මිනිස් ස්වරූපයෙන් ද ප්‍රකාශ වේ. පරණ ගිවිසුමේ සහ අලුත් ගිවිසුමේ වෙනස මෙයයි. පරණ ගිවිසුමේ ඔවුන් සතුව දෙවියන් වහන්සේගේ වචනය ලිඛිත ස්වරූපයෙන් තිබුණි. ගල් පුවරු දෙකක දස පනත ලියා තිබූ අතර ව්‍යවස්ථාව හම්පත් බොහෝමයක ලියා තිබුණි. නමුත් යේසුස් වහන්සේ පැමිණි විට දේව වචනය මනුෂ්‍ය ස්වරූපයෙන් අප සතු විය. දෙවියන් වහන්සේගේ වචනය මිනිස් ස්වරූපයෙන් කියවීම දෙවියන් වහන්සේගේ වචනය පදම් කළ හම්පත් වල හෝ පොතක කියවීමට වඩා පහසුය.

දෙවියන්වහන්සේට අවශ්‍ය වන්නේ අප සෑම කෙනෙකුම මනුෂ්‍ය ස්වරූපයෙන් ලියා ඇති දේව වචනය නිරූපණය කරන්නන් කිරීමයි. එසේ වන්නේ කොහොමද? - දෙවියන්වහන්සේ අපගේ සිතීමේ ක්‍රමය අලුත් කිරීම තුලිනුයි. එවිට අපි උන්වහන්සේ සිතන ආකාරයට සිතීමට පටන් ගන්නෙමු. අපි උන්වහන්සේ සිතන ආකාරයට සිතන්නට පටන් ගත් විට, උන්වහන්සේ ක්‍රියා කරන ආකාරයටම අපි ක්‍රියා කිරීමට පටන් ගන්නෙමු. අපගේ මුළු අභ්‍යන්තර ජීවිතය, අපගේ බාහිර හැසිරීම් පාලනය කරන බව ඔබට පෙනෙනවා නේද, මේ ලෝකයේ ආකාරයට සමාන නොවන්න' කියා දෙවියන් වහන්සේගේ වචනය පවසන්නේ ඒ නිසාය.

දැන් අපි කුඩා ළදරුවන් ලෙස ලෝකයට ඉපදෙන විට, අපට විශේෂිත සිතීමේ ක්‍රමයක් නොමැත. අලුත උපන් බිළිඳා ලෞකික නොවන්නේ ඔවුනට ලෞකික චින්තනයක් නොමැති බැවිනි - ඔවුන් ඉපදුනා පමණි. එහෙත්, ඔවුන් වර්ධනය වන විට, ඔවුන්ගේ ස්වභාවය වර්ධනය වේ - ආදම්ගෙන් උරුම වූ එම දුෂ්ට දූෂිත ස්වභාවය අවට ලෝකය දකිමින් වර්ධනය වේ; මිනිසුන් ආත්මාර්ථකාමී ලෙස ජීවත් වන ආකාරය; බොරු කියන මිනිස්සු ගෙන් අපව වටවී ඇති ආකාරය. එම දරුවා වර්ධනය වන විට, ඔහුගේ සිතීමේ ආකාරය හරියටම ලෝකයේ අනෙක් සියල්ලන් මෙන් වේ. ආත්මාර්ථකාමී, තමාගේමදේ සොයන, ආඩම්බර, උඩඟු, වඩා හොඳ අන් අයට ඊර්‍ෂ්‍යා කිරීම සහ ඒ වැනි බොහෝ දේ. එබැවින් එය අනුන්ට හානි කරයි, අනුන්ට රිදවයි.

නමුත් ක්‍රිස්තුස් වහන්සේ අප ඇතුලතට පැමිණෙන විට, නැවත ඉපදුණු ඇදහිලිවන්තයා කෙරෙහි උන්වහන්සේගේ ආශාව වන්නේ ඒ සියල්ල වෙනස් කිරීමයි. අලුත් උපතක් යනු නැවතත් සම්පූර්ණයෙන්ම අලුතෙන් උපන් බිළිඳෙකු මෙන් වීමයි. දැන් අපි මෙම නව ජීවිතයට වර්ධනය වීමට ඉඩ දිය යුතු අතර අපගේ සිතීමේ ක්‍රමය, මෙම නව ජීවිතය විසින් අත්කර ගැනීමට ඉඩ දිය යුතුය, එවිට අප දෙවියන් වහන්සේ සිතන ආකාරයට සිතීමට පටන් ගන්නෙමු. ක්‍රමක්‍රමයෙන්, අපි අපේ සිතුවිලි - සිතීමේ රටා වෙනස් වීමට ඉඩ දෙන විට, අපි ජීවන තත්වයන්ට මුහුණ දෙන විට, එම ගැටලුවලට දෙවියන් වහන්සේගේ පිළිතුර අප දන්නා බව අපට පෙනී යනු ඇත.

දැන්, ඔබ ඔබේ ජීවිතයේ අර්බුදකාරී තත්වයකට පැමිණි විට, ඔබ 'අනේ දෙවියනේ මම කුමක් කරන්නද, මට ඔබේ කැමැත්ත දැන ගැනීමට අවශ්‍යයි' යැයි පවසයි. ඔබ ජීවිතයේ සන්ධිස්ථානයකට පැමිණ ඇත. ඔබ මෙම තීරණය හෝ එම තීරණය ගත යුතුය, නමුත් කුමක් කළ යුතු දැයි ඔබ නොදනී. හොඳයි, මෙන්න එය රෝම 12: 2 හි පවසන්නේ එවැනි තත්වයක් තුළ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපට දැනගතහැකි බවයි. දැන්, ඔබ එම සන්ධිස්ථානයට හෝ එම අර්බුදයට පැමිණීමට පෙර වසරවලදී, ඔබ සිතන ආකාරය වෙනස් කිරීමට දෙවියන් වහන්සේගේ වචනය හරහා ශුද්ධාත්මයාණන්ට ඉඩ දුන්නේ නම්, ඔබේ ජීවිතයේ එම අර්බුදකාරී අවස්ථාවෙහිදී ඔබට "හොඳ දෙය කුමක්දැයි ඔප්පු කිරීමට හැකි වනු ඇත. දෙවියන් වහන්සේගේ පිළිගත හැකි සහ පරිපූර්ණ කැමැත්ත" (රෝම 12:2). එහෙත්, ඔබ නොසැලකිලිමත් කිතුනුවකු වී නම් සහ දෙවියන් වහන්සේගේ මාර්ගයට ඔබේ සිතුවිලි වෙනස් කිරීමට ඉඩ නොදුන්නේ නම්, ඔබ ඔබේ ජීවිතයේ එම අර්බුදයට පැමිණෙන අතර කුමක් කළ යුතු දැයි නොදනී. ඔබට උපදෙස් ඉල්ලා වැඩිමහල් දේවභක්තික සහෝදරයෙකු වෙත දිව යාමට සිදුවනු ඇත, සමහර විට ඔහු ඔබට හොඳ උපදෙස් ලබා දෙන්නට පුළුවන.

නමුත් එය පැරණි ගිවිසුමේ ක්‍රමය බව ඔබ දන්නවාද? පැරණි ගිවිසුමේ දෙවියන් වහන්සේගේ කැමැත්ත දැන සිටි එකම මිනිසා අනාගතවක්තෘවරයා වේ, ඔහු සැබෑ අනාගතවක්තෘවරයෙකු නම්. ඔවුන් ඉතා දුර්ලභ වූ අතර සමහර විට, සියවස් ගණනාවක් පුරා, සැබෑ අනාගතවක්තෘවරයෙකු නොසිටිනු ඇත. නමුත් අවට සැබෑ අනාගතවක්තෘවරයෙකු සිටියේ නම්, ඔබට ඔහු වෙත ගොස් විශේෂිත අවස්ථාවක කුමක් කළ යුතු දැයි විමසීමට සිදුවනු ඇත. රජවරුන්ට පවා අනාගතවක්තෘවරුන් වෙත යාමට සිදු විය. ඔබ හෝ රජු ඔහුගෙන් ඉල්ලා සිටියේ නම් එවිට අනාගතවක්තෘවරයා දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයාගෙන රජුට හෝ ඔබට පවසනු ඇත.

නව ගිවිසුමේ, බයිබලය පවසන්නේ, 'ඔබ සැමට තම සෙසු පුරවැසියන්ට 'ස්වාමීන්ව හඳුනාගන්න' කියා ඉගැන්විය යුතු නැත කියාය, “මක්නිසාදයත්, සියල්ලන්ම කුඩා අය සිට ශ්‍රේෂ්ඨයා දක්වා මා පෞද්ගලිකව, හඳුනනු ඇත" (හෙබ්‍රෙව් 8:11). අනාගතවක්තෘ කෙනෙක් ගාවට යන්නෙ නැතුව අපිට ඇතුලෙන් දෙවියන්වහන්සේගේ හිත දැනගන්න පුලුවන් විම අපිට තියෙන එක වරප්‍රසාදයකි (මන්ද ශුද්ධාත්මයාණන්වහන්සේම දැන් අපේ හදවත් වල වැඩසිටින බැවිනි). ඉතින් දැන් දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයා ගැනීමට අනාගතවක්තෘවරයෙකු වෙත හෝ දේවගැතිවරයෙකු වෙත හෝ වැඩිමහල්ලෙකු වෙත යාමට ඔබට අවශ්‍ය නැත. අප රෝම 12: 2 තුළ දකින්නාවු දෙය නම් 'ඔබේ මනස අලුත් කර ඇත්නම්, ඔබට දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රත්‍යක්‍ෂ කළ හැකිය' යන්නය. මෙය අපූරුයි, ඔබට දෙවියන් වහන්සේ සමඟ සෘජු දුරකථන අංකයක් ලබා ගත හැකිය - දෙවියන් වහන්සේ සමඟම සෘජු සම්බන්ධතාවයක්.

ඔබ දෙවියන් වහන්සේ සෙවීම පටන් ගැනීමට අර්බුදයක් පැමිණෙන තෙක් බලා නොසිටීම ඉතා වැදගත් වේ. සමහර ඇදහිලිවන්තයන් දෙවියන් වහන්සේ වෙත හැරෙන්නේ අර්බුදයක් ඇති විට පමණි. දේවල් සුමටව සිදු වීමට පටන් ගත් විට, ඊළඟ අර්බුදය තෙක් දෙවියන් වහන්සේ සමඟ සමීපව ගමන් කිරීම ගැන ඔවුන්ට සියල්ල අමතක වේ. නැවතත් ඔවුන් දෙවියන් වහන්සේ වෙත හැරේ. ඔව්, එවැනි ඇදහිලිවන්තයන් වර්ධනය නොවනු ඇත. අර්බුදයක් තිබුණත් නැතත්, ප්‍රශ්න තිබුණත් නැතත්, විශේෂයෙන්ම අළුත් ගිවිසුමෙන් එන දෙවියන් වහන්සේගේ වචනයේ ඉගැන්වීම්වලට බලපෑම් කිරීමට අපගේ මනස විවෘත කිරීමේ පුරුද්ද අප වර්ධනය කර ගත යුතුය. එවිට අප විවිධ දේ කෙරෙහි දෙවියන් වහන්සේගේ ආකල්පය දෙවියන් වහන්සේ සිතන්නේ කෙසේද, කුමක්ද යන්න තේරුම් ගැනීමට පටන් ගනිමු.

බයිබලය පවසන්නේ අප උන්වහන්සේගේ වචනය මෙනෙහි කළ යුතු බවයි. එමෙන්ම එම දේව වචනය මනුෂ්‍ය ස්වරූපයෙන් නිරූපණය වූ යේසුස් ක්‍රිස්තුස්ගේ ජීවිතය දෙසද අපි බලමු. එබැවින්, ශුද්ධාත්මයාණන් වහන්සේට ශුද්ධ ලියවිල්ලෙන්, යේසුස් වහන්සේගේ අලංකාරය සහ මහිමය සහ උන්වහන්සේ මිහිපිට ජීවත් වූ ආකාරය අපට පෙන්වීමට අප ඉඩ දෙන්නේ නම්, දෙවියන් වහන්සේ කෙබඳුද යන්න පිළිබඳව අපට අවබෝධයක් ලැබෙනු ඇත. යේසුස් වහන්සේ පොළොවට පැමිණි එක් අරමුණක් වූයේ පියාණන්ව පැහැදිලි කිරීම බව බයිබලය පවසයි (යොහන්1:18). ඉතින්, ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය දෙස බලන විට, පියාණන් වන දෙවියන් වහන්සේ කෙබඳුදැයි ඔබ දැනගන්නවා ඇත. ඔබ ශුද්ධ ලියවිල්ල කියවන විට, ශුද්ධාත්මයාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ යේසුස් වහන්සේ ජීවත් වූ ආකාරය, විවිධ අවස්ථාවන්ට යේසුස්වහන්සේ ප්‍රතිචාර දැක්වූ ආකාරය, විවිධ තත්වයන් තුළ යේසුස් වහන්සේ හැසිරුණු ආකාරය සහ, ක්‍රමානුකූලව, දෙවියන් වහන්සේ කෙබඳුද යන්න පිළිබඳ අපගේම මනසින් එම පැහැදිලි කිරීම අපට ලැබේ. අප උන්වහන්සේට යටත් වුවහොත්, මේ ආකාරයට ශුද්ධාත්මයාණන් වහන්සේ අප සිතන ආකාරය වෙනස් කරනසේක.

ක්‍රමක්‍රමයෙන්, පව්කාර පුද්ගලයා වන ඔබ සහ මම ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වෙනස් වේ. ඉන්පසුව, දිනක, අපි අර්බුදයකට මුහුණ දෙන විට, අපි විශේෂිත ගැටලුවකට පැමිණි විට, යේසුස්වහන්සේ මෙයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද, යේසුස් වහන්සේ හැසිරෙන්නේ කෙසේද, යේසුස් වහන්සේ ගන්නා තීරණය කුමක්ද යන්න අපි ඉක්මණින්ම දැන ගන්නෙමු? එවිට අපි එම තීරණයම ගන්නෙමු, එය නිවැරදි වනු ඇත. මම ඔබට ආරාධනා කරන්න කැමතියි, ඔබ මීට පෙර කවදාවත් එය නොකළේ නම්, අද සිට ඔබේ මනස විවෘත කර දෙවියන් වහන්සේගේ වචනය කියවීමට සහ එය මෙනෙහි කිරීමට, ශුද්ධාත්මයාණන්ට ශුද්ධ ලියවිල්ලේ යේසුස් වහන්සේගේ මහිමය ඔබට පෙන්වීමට ඉඩ සලසන පුරුද්දක් වර්ධනය කරගන්න. උන්වහන්සේ එක් එක් ප්‍රස්ථාවන් තුළදී ක්‍රියා කළ ආකාරය, උන්වහන්සේ තම සතුරන් සමඟ හැසිරුණු ආකාරය, මිනිසුන් සමඟ හැසිරෙන ආකාරය, උන්වහන්සේ තමන් වහන්සේව හසුරුවාගත් ආකාරය ඔබට දැක ගත හැකිය. 'දෙවියන් වහන්සේගේ ආත්මයාණෙනි, එම සමානත්වයට මා වෙනස් කරන්න' කියා යාච්ඤා කරන්න. එවිට ඔබ අනාගතවක්තෘවරයෙකු හෝ දේවගැතිවරයෙකු වෙත නොයා විවිධ තත්වයන් තුළ දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයා ගනු ඇත.

©Zac Poonen –[email protected]

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)