14 ස්වාමින්වහන්සේ උදෙසා උපරිමයද නැත්නම් අවමයද?


Transcript of Maximum Or Minimum For The Lord

අපගේ අවසාන අධ්‍යයනයේදී අපි ආගමිකව සහ ආත්මිකව පැවතීම අතර වෙනස දෙස බැලුවෙමු. සැබෑ කිතුනුවකු වීමට එය ඉතා වැදගත් ක්‍ෂේත්‍රයක් වන නිසා අපි ඒ ගැන තවදුරටත් සිතන්නට කැමැත්තෙමු.

අපි කවුරුත් සේවකයෙකු එනම් - කඩයක හෝ කම්හලක වැඩ කරන සේවකයෙකු සහ එකම වෙළඳසැලක හෝ කම්හලක තම පියා වෙනුවෙන් වැඩ කරන පුතෙකු අතර වෙනස දන්නෙමු. ඔවුන්ගේ කාර්‍යය කෙරෙහි ඔවුන්ගේ ආකල්පය මූලික වශයෙන් වෙනස් වනු ඇත. සේවකයෙක් වැටුප් සඳහා වැඩ කරනු ඇත. ඔහු නිශ්චිත පැය ගණනක් වැඩ කරයි. ඔහුට ඊට වඩා වැඩි කාලයක් වැඩ කිරීමට සිදුවුවහොත් ඔහු අතිකාල දීමනා බලාපොරොත්තු වේ. ඔහු වසර අවසානයේදී ප්‍රසාද දීමනාවක් අපේක්‍ෂා කරයි. වසරක් හෝ දෙකක් ගත වූ පසු, ඔහු වැටුප් වැඩිවීමක්ද අපේක්‍ෂා කළ හැකිය. නමුත් පුතෙක් එයට වෙනස්ය. ඔහු වැඩ කරන පැය ගණන අනුව ඔහු සිතන්නේ නැත. කාර්‍යාලයේ හෝ කඩයේ හෝ කම්හලේ වැඩිපුර වැඩ අවශ්‍ය විය හැකි අතර සේවකයෝ පිටත්ව ගිය පසු පුතා බොහෝ වේලාවක් සතුටින් එහි රැඳී සිටියි. එමෙන්ම කර්මාන්ත ශාලාව මූල්‍යමය වශයෙන් දුෂ්කර කාලයකට මුහුණ දෙන්නේ නම්, පුතා තම පියා ඔහුට මුදල් ලබා දීම ගැන අපේක්‍ෂා නොකරයි. කුමක්ද වෙනස?

සේවකයාගේ ආකල්පය සහ පුත්‍රයාගේ ආකල්පය අතර වෙනස තුළ අපට පැරණි ගිවිසුමේ ජීවන රටාව සහ නව ගිවිසුමේ ජීවන රටාව අතර වෙනස දැකිය හැකිය. ඔබගේ බයිබලය කොටස් දෙකකට බෙදා ඇති බව ඔබ දන්නවා: පැරණි තෙස්තමේන්තුව සහ නව තෙස්තමේන්තුව හෝ එය පැරණි ගිවිසුම සහ නව ගිවිසුම ලෙසද හැඳින්වේ. දැන් මේවා අපි අද කාලේ වැඩිපුර පාවිච්චි කරන වචන නෙවෙයි. තෙස්තමේන්තුව, ගිවිසුම - ඒවා නීතිමය වචනවලට සමානයි. ඉතා සරල භාෂාවෙන් කියන්නේ නම් එය දෙපාර්ශවයක් අතර ගිවිසුමකි.

ගිවිසුමක් යනු කුමක්දැයි අපි කවුරුත් දනිමු. යම් පුද්ගලයෙක් දේපලක් විකුණන විට හෝ සේවකයෙකු කුලියට ගත් විට, ඔවුන් ගිවිසුමක් අත්සන් කරයි - මිලදී ගන්නා පුද්ගලයා සහ විකුණන පුද්ගලයා අතර හෝ ස්වාමියා සහ සේවකයා අතර. ඒ ගිවිසුම තමයි මේ පරණ ගිවිසුමේ සහ අලුත් ගිවිසුමේ පින්තූරය. දෙවියන් වහන්සේ පැරණි ගිවිසුමේ කාලයේදී ඊශ්‍රායෙල් වරු තුළින් මිනිසා සමඟ ගිවිසුමක් ඇති කර ගත් සේක. නමුත් යේසුස්වහන්සේ පැමිණි විට (උන්වහන්සේව නව ගිවිසුමේ මැදිහත්කරු ලෙස හැඳින්වේ), දෙවියන් වහන්සේ මිනිසා සමඟ නව ගිවිසුමක් ඇති කර ගත් සේක.

ඉතා සරල වචන වලින් කිවහොත්, පැරණි ගිවිසුම යටතේ මිනිසා සේවකයෙකු මෙන් විය. ඔබ දන්නවා සේවකයෙකුට තම ස්වාමියාව, 'පියා' යනුවෙන් හැඳින්විය නොහැකි අතර, පැරණි ගිවිසුමේ යුදෙව්වන්ට කිසි විටෙකත් දෙවියන් වහන්සේට 'පියා' යැයි කිව නොහැකි විය, මන්ද ඔවුන් සේවකයන් වූ බැවිනි. ඔවුන්ට උන්වහන්සේව, 'ස්වාමීනි,' 'දෙවියන්වහන්සේ', සහ 'බලවත් ස්වාමීනි' ඒ සියල්ලෙන් ඇමතීමට හැකි නමුත්, ඔවුන්ට 'පියාණෝ' යනුවෙන් හැඳින්වීමට නොහැකි විය. නමුත් යේසුස්වහන්සේ පැමිණි විට, තම ගෝලයන්ව උන්වහන්සේ වටා රැස් කර, 'අලුත් ගිවිසුම යටතේ යාච්ඤා කරන ආකාරය මම ඔබට උගන්වන්නෙමියි පැවසූ සේක. ඔබ යාච්ඤා කරන විට, 'ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි,' යනුවෙන් පවසන්න. මෙයින් අදහස් කරන්නේ කුමක්ද? - එනම් මෙය වනාහි අලුත් ගිවිසුමකි.

අපි දැන් දෙවියන් වහන්සේගේ පුතුන් හා දූවරුන් මෙන් වීමට යන අතර දෙවියන් වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය තවදුරටත් ස්වාමියා සහ සේවකයෙකු මෙන් නොවනු ඇත. එය මිතුරෙකුගේ මෙන්ද නොවනු ඇත - මිතුරෙකු සේවකයෙකුට වඩා ස්වාමියාට උසස් ය. එය මිත්‍රත්වයට වඩා වැඩි දෙයක් වනු ඇත. ආබ්‍රහම්ව හැඳින්වූයේ දෙවියන්වහන්සේගේ මිතුරා ලෙසයි. ඒත් මිතුරෙකුගෙයි පුත්‍රයෙකුගෙයි අතර වෙනස ඔබ දන්නවා ඇත. ධනවතෙක් ‘මේ මගේ යාළුවා’ කියා යම් කෙනෙකු පෙන්වා පවසා ඉන්පසු තවත් කෙනෙකු පෙන්වා ‘මේ මගේ පුතා’ යැයි කීවොත් උරුමය ඇත්තේ කාටදැයි ඔබ දන්නෙහිය. පියාගෙන් සියල්ල ලබා ගැනීමට යන්නේ කවුද? - මිතුරා නොව, පුත්‍රයාය. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙකු වීම දෙවියන් වහන්සේගේ සේවකයෙකු වීමට වඩා උතුම් ය. එය දෙවියන්වහන්සේගේ මිතුරෙකු වීමටද වඩා උතුම්‍ ය.

නිතරම වගේ අප පාවිච්චි කරන්නා වූ කියමනක් වන්නේ "අහවලා තමයි ස්වාමීන් වහන්සේගේ සේවකයා". එවිට නොදැනුවත්වම යටි හිතින් අප අර පැත්තකින් සිටින දෙවියන්වහන්සේගේ පුත්‍රයෙක් පමණක් වන කෙනාට වඩා දෙවියන් වහන්සේගේ සේවකයා කියන තැනැත්තා වඩා වැදගත් යැයි සිතමු. එය සැබැවින්ම සත්‍යය ද? ඔබ මගේ නිවසට පැමිණෙන විට, මම ඔබට දෙදෙනෙකු හඳුන්වා දී 'මේ මගේ සේවකයා, සහ අනෙක් තැනැත්තා පෙන්වා මේ මගේ පුතා' යැයි පැවසුවහොත්, මගේ නිවසේ වඩා වැදගත් යැයි ඔබ සිතන්නේ කවුද? දෙවියන්වහන්සේගේ පුත්‍රයෙකු වීමට වඩා ස්වාමින්වහන්සේගේ සේවකයෙකු වීම උතුම්ද? මේ සියල්ල ශුද්ධ ලියවිල්ලෙන් නොවන අපගේ මනසෙහි ඇති වැරදි සංකල්ප වේ. ඇත්ත වශයෙන්ම, දෙවියන් වහන්සේගේ පුත්‍රයා වගකිවයුතු පුත්‍රයෙකු නම් ඔහු සේවකයෙකුද විය යුතුය.

යේසුස් වහන්සේ පැමිණියේ අපව හුදෙක් වහල්භාවයෙන් ගලවා ගැනීමට බවත් අපව පුත්‍රයන් බවට පත්වන්නට අවශ්‍ය බවත් අප හඳුනා ගත යුතුය. ආගමික සහ ආත්මික වීම අතර වෙනස අපට එහිදී පෙනෙනවා ඇත. ආගමික පුද්ගලයා හැසිරෙන්නේ හරියටම සේවකයෙකු ලෙසය. ආත්මික පුද්ගලයෙක් පුතෙකු මෙන් හැසිරෙනු ඇත. අපි එය වෙනස් වචන දෙකකින් පවසමු. සේවකයෙකු තම යුතුකම් ඉටු කිරීම සඳහා කළ යුතු අවමය කුමක්දැයි සිතනු ඇත, නමුත් පුතෙකු - වගකිවයුතු පුතෙකු තම පියා සතුටු කිරීමට හෝ පියාට උපකාර කිරීමට කළ හැකි උපරිමය ගැන සිතයි. මෙම පද දෙක තුළ - අවම සහ උපරිම, ඔබට පැරණි ගිවිසුම සහ නව ගිවිසුම අතර, වහලෙකු වීම සහ පුත්‍රයෙකු වීම අතර වෙනස දැකිය හැකිය.

කන්ද උඩ දේශනාව ලෙස සුප්‍රසිද්ධ දේශනාව යේසුස්වහන්සේ දේශනා කරන විට, උන්වහන්සේ තම ගෝලයන්ට ආඥාවන් පිටුපස ඇති එහි ආත්මය ඉගැන්වීමට උත්සාහ කළේ එබැවිනි. නිදසුනක් වශයෙන්, පැරණි ව්‍යවස්ථාව යටතේ, ' මිනී නොමරව ' යනුවෙන් ඔබට පවසා ඇති බව උන්වහන්සේ පැවසූ සේක. එය යහපත්‍ ය. අවශ්‍ය අවමය කුමක්ද? - ඔබ මිනීමැරුමක් නොකරන්න. එහෙත්, දෙවියන් වහන්සේ ඉල්ලා සිටි උපරිමය එයද? නිසැකවම නැත. පියා සතුටු කිරීමට එම විෂයේදී - එම ක්‍ෂේත්‍රයේ අවශ්‍ය උපරිමය කුමක්ද?

මිනිමැරීම පැමිණෙන්නේ කොහෙන්ද? එය කෝපය නිසා පැමිණේ. ඉතින් යේසුස් වහන්සේ පැවසුවේ, "මම ඔබට කියන්නේ "කෝප නොවන්න" කියායි. "උන්වහන්සේ කියන්න උත්සාහ කළේ කුමක්ද? උන්වහන්සේ කියන්නට උත්සාහ කළේ, 'මිනී නොමරන්න' යන ආඥාව ඔබ මෙනෙහි කළහොත්, එය අවම බව ඔබට වැටහෙනු ඇත.' ඔබ එය මෙනෙහි කරන්නේ නම්, පියා සතුටු කිරීමට මාර්ගය සොයා ගනු ඇත. ‘මට කළ හැකි උපරිමය කුමක්ද’ යන්න ඔබේ ආකල්පය නම් එය ‘සහෝදරයා එක්කවත් කාත් එක්කවත් තරහා වෙන්න හොඳ නැහැ’ කියන එක ඔබට වැටහේවි. එවිට මම පියා සතුටු කර ඇත. මම ප්‍රාණඝාතනයෙන් පමණක් වැළකුණෙමි නම් මම පියා සතුටු කර නොමැත.

දැන් ආගමික පුද්ගලයෙක් නම් වචනාර්ථයෙන් ව්‍යවස්ථාව පිළිගෙන ඔහු පවසන්නේ ‘හොඳයි මම ඒක පැවැත්වූවා’ කියලාය. ආගමික පුද්ගලයන් පරිසිවරුන් බවට පත් වන අතර, පරිසිවරු ක්‍රමානුකූලව සත්‍යයෙන් ඈත් වෙති. ක්‍රිස්තියානි ධර්මයේ සෑම නිකායකම ඔබට පරිසිවරුන් හමුවනු ඇත - වචනාර්ථය පමණක් සමගින් සම්ප්‍රදායන් පිළිගෙන ඇති සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ජීවිතයට වඩා තම විශේෂිත කණ්ඩායමේ එම බාහිර සම්ප්‍රදායන් පැවැත්වීමට වැඩි උනන්දුවක් දක්වන පුද්ගලයින්. 2 තිමෝති 3:5 හි අපට පවසන අප පරෙස්සම් විය යුතු දේවභක්තියේ ස්වරූපය මෙයයි.

බලන්න, උඩඟු සහ අහංකාර මිනිසුන් සමඟ ඔබ ඔබේ ඇසුර පවත්වා ගන්නේ නම්, ක්‍රමයෙන් ඔබට ඔවුන්ගේ ආත්මයෙන් ටිකක් ඇතුල් වනු ඇත. ඔබ නිරන්තරයෙන් මිනීමරුවන් සමඟ ඇසුරු කරන්නේ නම්, ඔබට ඔවුන්ගේ ආත්මය ඇතුල් වනු ඇත. ඒ ආකාරයෙන්ම මදක් දැහැමි මිනිසුන් ඇසුරු කළොත් ඔවුන්ගේ ආත්මය ඔබට ඇතුල් වනු ඇත. එබැවින්, 2 තිමෝහි 3:5 හි අපට දේව භක්තියේ ස්වරූපයක් පමණක් ඇති මිනිසුන්ගෙන් වැළකී සිටින්නැයි පවසන්නේ, එය ජීවිතය තුළ අපව ආරක්‍ෂා කිරීම පිණිසය. ශුද්ධාත්මයාණන් අපට අනතුරු අඟවන්නේ වචනාර්ථය පමණක් පවත්වන බාහිරව ධර්මිෂ්ඨ මිනිසුන් සමඟ වැඩි කාලයක් ගත නොකරන ලෙසයි. එවැනි ආගම්වාදය දෙවියන් වහන්සේව කිසිසේත් සතුටු නොකරයි. පුත්‍රයෙකු වෙන්න, වගකීම් දරන පුත්‍රයෙකු වෙන්න.

එලෙසම, යේසුස් වහන්සේ කාමමිථ්‍යාචාරය ගැන කතා කරන විට, පැරණි දේව නියමය යටතේ, කාමමිථ්‍යාචාරයෙන් වැළකීම යනු - කායික ක්‍රියාව බව උන් වහන්සේ වදාළ සේක. එය නිසැකවම පාපයක් විය, නමුත් දෙවියන් වහන්සේ ඉල්ලා සිටි උපරිමය එයද? නැත, එය අවම විය. උපරිමය කුමක්ද? පුත්‍රයා දෙවියන්වහන්සේගේ එම ආඥාව දෙස බලා එය මෙනෙහි කර, 'හොඳයි එය දෙවියන්වහන්සේ ඉල්ලා සිටින අවමයයි' කියා පවසනු ඇත. එය හරියට සේවකයා පවසන්නා සේ, 'හොඳයි මම උදේ 9 සිට සවස 5 දක්වා වැඩ කළා. මගේ පැය අටේ වැඩ මුරය ඉවර වුණාම මම ගෙදර එනවා.' නමුත් පුතෙකුට රාත්‍රී 9 දක්වා හෝ රාත්‍රිය පුරාවටම සිටිය හැක, වැඩ කිරීමට තිබේ නම්. ඉතින් 9 සිට 5 දක්වා ආකල්පය පවසන්නේ, 'මම කාමමිථ්‍යාචාරය කරන්න ඕනේ නැහැ, එච්චරයි' කියලා. නමුත් පුතාගේ ආකල්පය මොකක්ද එයට පිටුපසින් තිබෙන දෙයයි? - 'මම කිසිවෙකු කෙරෙහි මගේ ආකල්ප හෝ සිතුවිලි අපිරිසිදු කර නොගත යුතුය. විරුද්ධ ලිංගයේ අය කෙරෙහි වන සිතිවිලිවල පාරිශුද්ධ භාවයක් තිබිය යුතුයි.' යේසුස් වහන්සේ එය කොතරම් දුරට අවධාරණය කළ සේක් ද යත්, “ඔබේ ඇස ඔබට බාදා කරන්නේ නම්, එය උදුරා දැමීම වඩා හොඳය” කියා පැවසූ සේක.

දැන් කාටද ඒක තේරෙන්නේ? තම ජීවිතය තුළින් තමාගේ පියා සම්පූර්ණයෙන්ම තෘප්තියට පත් විය යුතුයැයි එකහෙළා ආශා කරන, තම පියා සතුටු කිරීමට අතිශය උවමනාවකින් ක්‍රියාකරන පුත්‍රයෙකුට පමණි. සැබවින්ම ආත්මික විය හැකි වන්නේ එවැනි කෙනෙකුට පමණය. ඔහු උත්සාහ කරන්නේ ව්‍යවස්ථාවේ වචනාර්ථය පමණක් නොව ශුද්ධ ලියවිල්ලේ ඇති ආඥා පිටුපස ඇති ආත්මය තේරුම් ගැනීමටය.

බයිබලයේ පවසන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ සම්බන්ධය මනාලියක මනාලයෙකු හා සමාන බවයි. මෙය සැබෑ ක්‍රිස්තියානි ධර්මයයි - එය විවාහයකි, එය ආගමක් නොවේ. එය පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති සම්බන්ධතාවයකි. එය පොතකට නමස්කාර කිරීම නොවේ; එය පුද්ගලයෙකුට එක්සිත් වීමයි - යේසුස් ක්‍රිස්තුස් නැමැති පුද්ගලයාට එක්සිත් වීමයි. ආගමික අය පොත පතට වඳිනවා. ඔවුන්ට වඩාත්ම වැදගත් දෙය බයිබලයයි. දැන් බයිබලය මට ඉතා වැදගත් නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වඩා වැදගත් නොවේ. මට යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සහභාගිකම නොතිබුනේ නම්, බයිබලය මට මළ පොතක් වනු ඇත. එය ජීවත්වේ මක්නිසාද යේසුස් වහන්සේට ඒ තුළින් මට කතා කළ හැකි බැවිනි.

ක්‍රිස්තුස් වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය නම්, තම මනාලයා සමඟ ගැඹුරින් ආදරය කරන භූමික මනාලියක හා සමාන වීමයි. ක්‍රිස්තුස් වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය ගැන බයිබලය එලෙස කථා කරයි, පසුව යම් දිනක, ක්‍රිස්තුස්වහන්සේ පැමිණ ඇය සමඟ විවාහ වනු ඇත. විවාහ ගිවිසගෙන සිටින මනාලියකගේ නියම චිත්‍රය වන්නේ, තම මංගල දිනය එනතුරු බලා සිටින, තම මනමාලයාට අනුරූප කිරීමට, දුරකථනයෙන් හා මනාලයාට ඇහුම්කන් දීමට ආශාවෙන්, විවාහ දිනය දක්වා ඔහු සමඟ කාලය ගත කිරීමට කැමැත්තෙන් සිටින ආකාරයයි. එම කාලය තුළ ඇය ජීවත් වන්නේ කෙසේද? ඇය උනන්දු වන්නේ ඇගේ මනාලයාගේ මතය ගැන පමණි. ලෝකයේ අන් කිසිවෙක් ඇය ගැන කුමක් සිතුවත් ඇය කම්පා නොවේ. ඇයට තම මනාලයා සතුටු කිරීමට අවශ්‍ය වන අතර ඇය එය අවම වශයෙන් කරන්නේ නැත.

එකිනෙකාට ගැඹුරින් ආදරය කරන විවාහ ගිවිසගත් යුවළක් ගැන සිතන්න. ඔවුන්ට එකිනෙකා සමඟ කාලය ගත කිරීමට අවස්ථාවක් ලැබුණු විට, ඔවුන් ගත යුතු අවම කාලය ගැන සිතනවාද? ඔර්ලෝසුව බලලා ‘හරි, අපි විනාඩි දහයක් ගත කළා, ඇති’ කියලා කියනවද? නැත, ඔවුන්ට හැඟෙන්නේ පැය පහක්වත් ප්‍රමාණවත් නොවන බවයි! ඔවුන් එකිනෙකාට ලිපි ලියන විට, එකිනෙකා සමඟ ගැඹුරින් ආදරය කරන විවාහ ගිවිසගත් යුවළකගේ ලිපි කොපමණ දිග වන්නට යන්නේ ද?, - පිටු භාගයක් වේද? මෙසේ කියන්නට යන්නේ ද? 'හොඳයි දැන් ඇති, මම ඔබට කිව්වා මම හොඳින් ඉන්නවා කියලා, ඔබත් හොඳින් ඉන්නවා කියලා බලාපොරොත්තු වෙමි' නැත, ඔවුන් පිටු 25 ක් ලියා ඊළඟ දවසේ තවත් පිටු 25 ක් ලිවිය හැකිය! මෙසේ වන්නේ ආදරය නිසාය.

සැබෑ අධ්‍යාත්මිකත්වය ක්‍රිස්තුස් වහන්සේ සමඟ ඇති ප්‍රේමනීය සම්බන්ධතාවයක ප්‍රතිඵලයකි. අනෙක් අතට, ආගමිකත්වය යනු ස්වාමියාගේ සේවකයෙකු මෙන් ක්‍රිස්තුස් වහන්සේ සමඟ හුදෙක් චාරිත්‍රානුකූල සම්බන්ධතාවයකි. අපි ආත්මික වීම ඉලක්ක කර ගනිමු.

©Zac Poonen – [email protected]

01 - නපුරේ ආරම්භය
සැක් පූනන්
(Now Playing)
03 - තේරීමේ බලය
සැක් පූනන්
(Now Playing)
07 - පසුතැවිලිවීම
සැක් පූනන්
(Now Playing)
08 - ඇදහිල්ල
සැක් පූනන්
(Now Playing)
(Now Playing)